නත්තල දොර ළඟ එනවා දුප්පත්කම වැලපෙනවා
සීතල දෙසැම්බර් හෙවත් උඳුවප් මාසයේ උදාව ලෝකයේ වැඩි පිරිසක් ආසාවෙන් බලා සිටින කාලයක්. වැඩිහිටි, කුඩා හැමෝම එකිනෙකාට ආදරෙන්, කරුණාවෙන්, දයාවෙන් සතුට බෙදාහදාගන්නා මේ මාසය පුරාම දකින්නට ලැබෙන්නේ ප්‍රීතිමත් වටපිටාවක්. එහෙත් ආර්ථික ප්‍රශ්න නිවෙසේ දොරින් ඇතුළටම ඇවිත් කර මුලටම ළඟා වී සිටින මේ මොහොතේ සතුටින් හිතේ හැටියට නත්තල සමරන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පු`ඵවනි. එහෙත් නත්තලේ සැබෑ අර්ථය දන්නවා නම් අපට මේ අමාරු අවස්ථාවත් ප්‍රීතිමත් ලෙස සමරන්න අපහසු වෙන්නේ නැහැ. එසේ නම් මෙවර නත්තල හරිම විදියට සමරන්නේ කොහොමද? විශේෂයෙන් රටේ පවතින අයහපත් කාලයට අනුව නත්තලේ සතුට විඳින්නේ කොහොමද කියා දැනගන්න කිතුනු බැතිමතුන් මෙන්ම නත්තලට ආදරය කරන වැඩි පිරිසක් කැමති ඇති. ඒ පිළිබඳ සටහනකි මේ,
මොකක්ද මේ ආධ්‍යාත්මයේ මංගල්‍යය?
අදහස් දැක්වීම-
|
නත්තල කියා කියන්නේ ආධ්‍යාත්මයේ මංගල්‍යයක්. නත්තලට බාහිරින් අප පෙන්වන සිතුම් පැතුම්වලට වැඩියෙන් ඇතුළාන්තය යහපත් විය යුතුයි. මිනිසුන් විදියට අපි මෙලොවින් පසු නැවත ඉපදීමකට ප්‍රාර්ථනා කරනවා. එම සංකල්පය තුළ මේ භවයෙන් පසු ලබන ජීවිතය යහපත් කරගැනීම වෙනුවෙන් මේ ලෝකයේදී අප කළ යුතු යහපත් ගුණ දහම් ගොඩනඟා ගැනීමයි ආධ්‍යාත්මය කියා අපි හඳුන්වන්නේ. ඒ නිසාම නත්තල කියන්නේ අපේ ඒ ඇතුළාන්තයේ තිබෙන ලස්සන ගති පැවතුම් යහපත් ගතිපැවතුම් බවට පත්කර ගැනීමක්.
නත්තලේ තිබෙන එක් යථාර්ථයක් වන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යකු වීමයි. ඊට අනුව සර්වබලධාරී දෙවියන් වහන්සේ කියන්නේ මෙලොව සියලුම ශක්තීන් අබිබවා යන මහා බලසම්පන්න දෙවි කෙනෙක්. එසේ නම් මේ ලෝකයේ කිසිම කෙනකුට දෙවියන් වහන්සේ හා සමාන වන්නට බැහැ. දෙවියන් යනු මහා බලපරාක්රමයෙන් තේජමානව ජීවත්වෙන කෙනෙක්. උන් වහන්සේට අවශ්‍ය වන්නේ මිනිසුන්ව පාපයෙන් මුදවා ගන්න. උන් වහන්සේ ඒ සඳහා උපක්‍රමයක් යොදනවා. සර්වබලධාරී දෙවියන් වහන්සේ තම පුත්‍රයා මනුෂ්‍ය වේශයෙන් මෙලොවට එවනවා. මනුෂ්‍ය සිරුරක් සහිතව මෙලොව ජීවත් වීමට ඔහු පැමිණෙනවා. ඒ වෙන කවුරුන් නොව අපගේ ක්‍රිස්තූස් වහන්සේයි. එතුමා මනුස්සයෙක් ලෙස ඉපදිලා එදා මෙලොව සිටි දුප්පත් දුර්වලම මිනිසුන් සමග ජීවත්වෙලා ඒ මිනිසුන්ගේ ජීවිතය බෙදා හදාගෙන ඒ අයට යහපත කියා දුන්නා. ඒ මිනිසුන්ගේ ජීවිත ගොඩනඟන්නට කුරුසයක එල්ලී මිය ගිහින් තමන්ගේ ජීවිත පරිත්‍යාගය තුළ ජනතාවට විමුක්තිය උදාකර දෙන්න කටයුතු කළා. ඒ අනුව යහපත් ලෙස මෙලොව ජීවත් වී මියගිය පසුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ප්‍රවිශ්ටවීමේ මඟ කියාදී ජීවිතය කියන දේ අපට උරුමකර දීමට උන්වහන්සේ කටයුතු කළා.
නත්තලේ සැබෑ අරුත කුමක්ද?
දෙවියන් වහන්සේ දුර්වල මනුස්සයෙක් ලෙස අප අතරට පැමිණෙන්නේ මනුස්සයාට තිබෙන ආදරය නිසයි. මේ නත්තලේදී අපි ඒ අරුත ජීවත් කරන්න ඕනෑ. මෙලොව ජීවත්වන අප විවිධ තරාතිරම්වල ජීවත් වෙනවා. සමහරු ඉතා ඉහළ පෙළැන්තිවල ජීවත් වෙනවා. ඒ අතර මහා පොහොසතුන්, ප්‍රඥාවන්තයින්, උගතුන්, ඉහළ තනතුරු, තාන්නමාන්න දරන්නන්, ආදී ලෙස ඉතා ඉහළින් ජීවත්වෙනවා. මේ ඉහළ සමාජයේ සිටින අය තමන්ට වඩා පහළ සමාජ මට්ටම්වල සිටින අය ආදරයෙන් පිළිගන්න ඕනෑ. අපි මොනතරම් ඉහළ තනතුරුවල සිටියත් එතැනින් පහළට බැස ඒ ජනතාවට ආදරය කරන්න ඕනෑ. ඒ ජනතාව තුළ තිබෙන්නෙත් අපි වගේම මනුෂ්‍යත්වයක්. අපි හා සමාන ගරුත්වයක් ඒ අයටත් තිබෙනවා කියන එක සෑමවිටම පිළිගන්න ඕනෑ. නත්තලේ සැබෑ බැහැපත්වීම ලෙස හඳුන්වන්නේ එයයි.
එහෙත් ඉහළ සමාජවල සිටින බොහෝ පුද්ගලයින් පහළ ස්තරවල සිටින මිනිසුන් එතරම් ගණන් නොගැනීමක් සමාජයේ දකින්නට ලැබෙනවා. සමහර වෙලාවට මේ අය දුගී දුප්පත් ජනතාව දෙස බලන්නේ සතුන්, සිවුපාවන් දෙස බලන විදියට. එහෙත් දෙවියන් වහන්සේ දේවත්වය අතහැරලා මනුෂ්‍ය විලාසයෙන් මෙලොවට පැමිණියා වගේ අපිත් දුර්වල මිනිසුන් වෙත ගිහින් ඒ අයට ආදරය කරුණාව පතුරවමින් ඒ අයවත් ඉහළ තැනට එහෙමත් නැතිනම් තමන්ගේ තත්ත්වයට රැගෙන එන්න වෙර වීර්ය දරන්න ඕනෑ. මොකද දෙවියන් වහන්සේ තමන්ගේ පුතණුවන්ව මෙලොවට එවලා සිදුවුණු ඒ ජීවිත පූජාව තුළින් එම ජනතාව දෙවියන් කරා ඔසවා තැබුවා. එසේ නම් අපිත් බැහැපත්වීම එනම් පුංචි මිනිසා අතරට ගිහින් ඔවුන් තමන්ගේ උසස් මට්ටමටම ඔසවා තැබීමට කටයුතු කරන්න ඕනෑ. තමන් මේ සමාජයේ ඉහළින් වැජඹෙන තනතුරුවල ජීවත්වෙන අයෙකු නම් පහළ පන්තියේ මිනිසාත් එතැනට රැගෙන එන්න කටයුතු කරන්න ඕනෑ. තමන්ගේ උගත්කමින් ඒ අයව පෝෂණය කරන්න ඕනෑ. මෙයයි සැබෑ නත්තලේ ලස්සනම පණිවුඩය.
දෙවියන් වහන්සේ තමන්ගේ පුතණුවන් මෙලොවට බිහි කරන්න තෝරා ගත්තේ දුගී පැල්පතක්. එසේ නම් මේ නත්තලේ සැබෑ හිමිකරුවන් වන්නේ දුගී දුප්පත් ජනතාවයි. එහෙත් ඉහළ සමාජයේ සිටින බලවතුන්, ධනවතුන් ඉහළ සමාජ පන්ති මේ නත්තල මහා උත්කර්ෂවත් විදියට ඉහළින්ම සමරනවා. විශාල සැරසිලි ආදිය සිදුකරනවා. දහස් ගණන් මුදල් වියදම් කරමින් විශාල සැණකෙළි පවත්වනවා. නත්තල් උත්සව සමරනවා. ඉතින් මුලින් සඳහන් කළ දුගී දුප්පත් ජනතාවට කෝ මේ සාද සැණකෙළි? නත්තලේ සැබෑ අයිතිකරුවන් වූ ඔවුන් කොහේද? හුඟක් දෙනකුට ඒ අය අමතක වෙලා. එසේ නම් දුගී දුප්පත් ජනතාවට සැලකීම මේ නත්තලේ අනිවාර්ය කරුණක්බව මුලින්ම අවබෝධ කරගන්න ඕනෑ. දුගී දුප්පත් ජනතාව අමතක කරන නත්තලක් සැබෑ අරුත්බර නත්තලක් වන්නේ නැහැ.
එසේ නම් සැබෑ නත්තල යනු තමන්ට ලැබෙන තෑගි බෝග, කෑම බීම, ඇඳුම් පැලඳුම් හැකි පරිදි නැතිබැරි, දුගී දුප්පත් ජනතාවත් සමග බෙදා හදාගෙන නත්තල සැමරීමයි. ඔවුන්ට නිකන්ම කෑම පාර්සලයක් ගිහින් දෙනවාට වඩා මේ පවුල අසරණ වී සිටින්නේ ඇයි? අසනීප අයෙක් සිටිනවාද? යන්න සොයා බලා ඔවුන් සුවපත් කරන්න, ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීම වෙනුවෙන් හැකි උදවුවක් කරන්න උත්සාහ කරමින් නැති බැරි සියලුදෙනා සමග එක පවුලක් විදියට සමානාත්මතාවයෙන් නත්තල සමරන්න උත්සාහ කරන්න ඕනෑ. නත්තලේ සැබෑ සතුට ඇත්තේ එතැනයි.
සටහන - නයනා උදයංගනී
Leave a comment