නෝනයි මහත්තයයි පබසරයි ගෝනයි වුණු හැටි - සිනෙති සහ සහන්

සිරි පැරකුම් සිනමාපටයේ කළු එතනාගේ චරිතයෙන් කරළියට ආ සිනෙති සිනමාව තුළ වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් රුවැත්තියකි. පසුගිය කාලය තුළ පුංචි තිරයේ නාට්‍ය ගණනාවකම ඇයව දැකගන්නට ලැබුණත් සිනෙති ප්‍රේක්ෂකයින්ට නිතර මුණ ගැහෙන්නේ සිනමාවෙන්. මේ දිනවල සිනෙති ඔබේ සිනමා ප්‍රේක්ෂකාගාරයට එන්නේ සිංහබාහු සිනමා පටය හරහා.  මේ සිංහබාහු සිනමාපටයේ එන පබසරා ගැන සිනෙති අවදි කළ හඬයි.

  • කොහොමද පබසරාට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ හැම සිනමා ශාලාවකින්ම අපිට ආරාධනා කරනවා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එන්න කියලා. ඉතින්  සිංහබාහු චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා අපි ලංකාව වටේම යනවා. මේ දවස්වල ජිවිතේ ගෙවෙන්නේ සිංහබාහුත් එක්කම තමයි. 

  • ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිනමාපටයක ඉතින් සිනෙතිට  ඉඩක් ලැබෙනවානේ, සිංහබාහුත් ඒ වගේ ලැබුණු අවස්ථාවක්ද?  

මම සිනමාවට එන්නෙත් සෝමරත්න මාමාගේ සිරි පැරකුම් චිත්‍රපටයෙන්. එතැනින් පස්සේ සෝමේ මාමලා කරපු හැම නිර්මාණයකම මට අවස්ථාව ලැබිල තියෙනවා. ඒ හැම අවස්ථාවක්ම මට ලැබුණේ ඒ ඒ චරිතවලට මාව සුදුසු වුණු තැන් වලදි විතරයි.
පබසරා කියන චරිතයට රේණුකා නැන්දායි සෝමේ මාමායි මට කතා කතා කරලා කිව්වා මෙහෙම චරිතයක් තියෙනවා ඔයා ඒ චරිතයට සුසුදුයි කියලා හිතනවා කියලා.  කාව්‍ය දෙබස් තියෙන්නේ මුලින්ම පුහුණුවීම් කරලා බලමු කියලා තමයි කිව්වෙ.  සෝමේ මාමාගේ කලින් චිත්‍රපට වල මම කරපු චරිතවලට වඩා සිංහබාහු චිත්‍රපටයේ පබසරා කියන්නේ සංකීර්ණ චරිතයක්.  සිනමාව ඇතුළෙ මවකගේ චරිතයක් මම මීට කලින් කරලා තිබුණෙ නැහැ. පබසරා කියන්නෙ මගේ ජීවිතේට අත්දැකීම් ගොඩක් දුන් චරිතයක්. මේ චරිතය මම දකින්නේ හරිම ගෞරවනීය චරිතයක් විදිහටයි.

  • පබසරා වෙනුවෙන් ඔබට විශේෂයෙන් කියලා හැඩගැහෙන්න වුණාද?

සිංහබාහු මගෙන් අරගන්නේ කිරි දෙන වයසෙදිම නිසා  දරු දුක නිරූපණය කරන්න මට ගොඩාක් පුහුණුවීම් කරන්න වුණා. හැම වෙලාවෙම මට ඉන්න වුණේ දුක්මුසු මුහුණින්.  ඒ වගේම සිංහබාහුගේ කුඩා අවදියෙදි කිරිදෙන දර්ශණයන් සත්‍ය ආකාරයෙන්ම නිරූපණය කරන්න සිද්ධ වුණා.   මටත්  හානියක් නොවන අයුරින් ඒක කරමුද කියලා  සෝමේ මාමා අහුව්වාම ඒ දර්ශනය කෘත්‍රිමව නිරූපණය කිරීම මේ නිර්මාණයට කරන අසාධාරණයක් කියලා මටත් හිතුණා. ඇත්ත ජීවිතේ මම මවක් නොවන නිසා ඒක ලොකු අභියෝගයක් වුණා. දරුවා උණුහුමට තුරුලු කරගනිද්දි ඇත්තටම මගේ ඇස්වලට කඳුළු ආවා.

  • සිංහයා පබසරාව ගෝනාට  භාරදෙන වෙලාවේ මොකද හිතුණෙ?

ඇත්ත ජීවිතේ අකිල අයියා මාව මගේ සැමියා සහන්ට භාර දුන්න මොහොත මතක් වුණා.  අකිල අයියා නිසා තමයි මම සහන්ව හඳුනගන්නෙ.  අකිල අයියා තමයි මාවයි සහන්වයි එකතු කිරීමේ නියමුවා වෙන්නෙ. අවසානයේ  ෆිල්ම් එකෙත් ඒකම වුණා. මට තියෙන ලොකුම සතුට සැමියා සහන්  එක්කම එකට මේ චිත්‍රපටයේ රඟපාන්න ලැබීම.

  • ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබ සිංහබාහු නරඹද්දි මොකද හිතුණෙ?

මුල් අවස්ථාවෙදිම මට ඇඬුණ, චිත්‍රපටයට හරි මං අම්මා කෙනෙක් වුණානේ කියලා වගේ හැඟීමක් ආවා. සමහර තැන්වලදි මට හරියට දුක හිතුණා. මගේ අම්මාත් චිත්‍රපටය බලපු පළමු අවස්ථාවෙම ඇඬුවා.   මට හිතෙනවා මම ඒ චරිතයට සාධාරණයක්  ඉෂ්ට කළා කියලා.  

  • සිනමාව නිසා සිනෙතිට දැන් ටෙලි නාට්‍ය මගහැරෙනවද?

වැඩිපුරම අවස්ථා ලැබෙන්නෙ චිත්‍රපටිවලට. හොඳ චරිතයක් ලැබුණොත් ටෙලි නාට්‍ය කරනවා. මෙගා නාට්‍යවලට නම් මගේ ලොකු කැමැත්තක් නැහැ.  මොකද එක තැනකට කොටු වෙන නිසා. කොටස් අඩු නාට්‍යවල හොඳ චරිතයක් ලැබුණොත්  දායක වෙනවා. පහුගිය දිනවල මීමැස්සා කියලා ටෙලි නාට්‍යයකට දායක වුණා.

  • නිරූපණය කළ චරිත අතරේ තාමත් විශේෂයෙන් ආදරය කරන චරිතයක් තියෙනවද?

මම කරපු හැම චරිතයකටම ආදරෙයි. හැබැයි මම කොච්චර චරිත කළත් සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනට ලැබෙන  ආදරය තාමත් එ් විදිහමයි. සිංහබාහු ප්‍රචාරණ කටයතුවලට ගියත් සිරිපැරකුම් එකේ කළු එතනට රඟපාපු කෙනා කියලා තමයි කියන්න. ඇත්තටම මම අද මේ තැන ඉන්නේ කළු එතනා චරිතය නිසා. සරිගම ඕළුවත් අමතක කරන්න බැහැ. ඕළුටත් ප්‍රේක්ෂකයෝ තාම ආදරෙයි. හැබැයි මගේ ජීවිතේ වෙනස් වෙන්නේ සිරි පැරකුම් චිත්‍රපටයෙන්. මොකද මම පාසල් කාලේ ඉඳලාම ආස කළේ විදේශ රටක ජිවත් වෙන්න. ඒ නිසාම මම ඉගෙන ගත්තෙත් භාෂා විෂයන්. ඒත් උසස් පෙළ ලියලා අවසන් වුණු ගමන් මට සිරිපැකුම් චිත්‍රපටය ලැබුණා. ඒකත් එක්ක මගේ ජීවිත කතාව වෙනස් වුණා.

  • සිනෙතිගේ රංගනයට සැමියාගෙන් සීමා මායිම් වැටිලා නැද්ද?

ආදරය කරන කාලෙදිවත් මට රඟපාන්න එපා කියලා තහංචි දාලා නැහැ. ඔහු මගේ කලා කටයුතුවලට උපරිම නිදහස දෙනවා. විවාහයෙන් පස්සෙ මම කොහොමත් මුල් තැන දුන්නේ පවුල් ජිවිතේට.

මේ දිනවල ඔබ ආදරය කරන තවත් චරිතයක් තමයි  සිංහ සේනාවේ ප්‍රධාන සෙන්පතියා ,ගෝනා,  ඔහු සහන් මානගේ. සහන් කියන්නෙත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්  වගේම රංගන ශිල්පිනී සිනෙති අකිලාගේ ආදරණීය සැමියා. මේ සහන් සමග අපි කළ කතාබහ.  

  • ඉතින් කොහොමද සහන් ජිවිතේ?   

ජීවිතේ හොඳින් ගලාගෙන යනවා. මේ දවස්වල නම් මගෙයි සිනෙතිගෙයි  ජීවිතේ ගෙවෙන්නේ සිංහබාහු ප්‍රචාරණ කටුයුතු එක්ක.

  • ගෝනාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සිනමා හෝල්වලට ගියහම ප්‍රේක්ෂකයන්ගෙන් ගෝනා කියන චරිතයට ලැබෙන්නේ හිතාගන්න බැරි ප්‍රතිචාරයක්. ඇත්තටම මම ඒ වගේ ආදරයක් ප්‍රතිචාරයක් විඳින්නේ ප්‍රථම වතාවට.

  • සිංහබාහු සහන්ගේ කීවෙනි චිත්‍රපටයද?

මේ මෙම දායක වන පස්වැනි චිත්‍රපටය. ප්‍රධාන කාණ්ඩයේ චරිතයක් කරන දෙවන අවස්ථාව. මීට පෙර‘ විලන්’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයකට දායක වුණා. රඟපෑ චිත්‍රපට අතුරින් සිංහබාහු මගේ ජීවිතේට ගොඩක්ම විශේෂයි.

  •  ඒ තරම්ම සිංහබාහු  විශේෂ වෙන හේතුව

සෝමේ මාමාගේ චිත්‍රපටයකට මම සම්බන්ධ වෙන පළමු අවස්ථාව මේක. එකක් සෝමේ මාමා සහ රේණුකා නැන්දා කරන නිර්මාණයකට දායක වෙන්න මට ලොකු ආසාවක් තිබුණා.  හැබැයි මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවෙම නැහැ. ගෝනා ගේ චරිතයට හරියනම කෙනා ඔයා කියලා මට කතා කළාම හිතාගන්න බැරි සතුටක් දැනුණා.

  • චරිතය වෙනුවෙන්ම විශේෂ හැඩගැසීමක් වෙන්න වුණාද?

ගෝනා කියන චරිතය මට  ලැබෙන්නේත් මගේ දේහධාරී ශරීර අංග ලක්ෂණ නිසා සහ සෝමේ මාමා මං ගැන යම් අධ්‍යනකත් ඉඳලා තියෙනවා. සෝමේ මාමා මට චරිතය භාරදෙද්දි හිටියට වඩා ශරීරය ගෝනා කියන චරිතයටම හදාගන්න වුණා. මාස දෙකහාමාරක් ඇතුළත මම ඇඟ හදාගත්තා.

  • සිනෙති එක්ක එකට රඟපාන්න ලැබුණ අවස්ථාව කොහොමද දැනුණෙ?

බිරිඳ එක්ක රඟපෑම කාලයක් තිස්සෙම හිතේ තිබුණු බලාපොරොත්තුවක්. ඒක මාරම සතුටක්. ඇයටත් මටත් ඒක වෙනස්ම අත්දැකීමක් වුණා.

  • රඟපෑම නිසා ජිම් රස්සාව අතෑරලද?

අපෝ නෑ. කලා කටයුතු කරගෙන යනගමන් ජිම් එකත් කරගෙන යනවා.
ජිම් එකෙන්ම පරස්ථ‍ාව කරගත්තාට පස්සේ දැන් සිනෙති ජිම් යන එක නතර කරලද?
මුලින්ම සිනෙති ජිම් එකට එක්ක එන්නේ අකිල අයියාමයි සිරිපැරකුම් චිත්‍රපටය වෙනුවෙන් ඇඟ හදාගන්න. ඒ දැන හඳුනගැනීම තමයි විවාහයකින් කෙළවර වුණේ. ඉස්සර ජිම් එකට ආසාවෙන් ආවට දැන් නම් සිනෙතිව ජිම් එකට ඇදන් යන්න හරිම අමාරුයි.  මොකද දැන් ජිම් එකේ බලන්න ගිය කෙනො ගෙදරනේ.

ඡායාරූප - ඉන්දික මල්ලවාරචිචි

පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව.... Read Previous

පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව....

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක් Read Next

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක්

Realted Post

Leave a comment