නව වසරට අතීතය තියල යන්න - Madani Malwattage

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළ තලයක සිටින ඇය දක්ෂ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. ⁣පසුගිය කාලයේ අවසන් වූ වියළි ටෙලි නාට්‍යය සහ තත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය ඔස්සේ නැවතත් කතාබහට ලක්වූ ඇය මාදනී මල්වත්තගේ ය. මේ ඇයගේ අලුතුම තොරතුරුයි. 

  • මේ දවස්වල මොනවද කරන්නෙ ?

මගේ නාට්‍යය ඇකඩමිය  ජනවාරි  මාසයේ ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ දවස්වල  ඒ වැඩ සඳහා කාර්යබහුල වී සිටිනවා. ඒ වගේම  වේදිකා නාට්‍ය හා  ටෙලි නාට්‍ය  කිහිපයකත්  වැඩ කරමින් සිටිනවා.

  • වඩාත්ම  ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය මොකක් කියලද හිතන්නෙ?

තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ  රූපවතී   කියන   චරිතයට  ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම  වියළි ටෙලි නාට්‍යයේ  චරිතයටත්  හොඳ ප්‍රතිචාර ලැබුණා.

  • ක්ෂේත්‍රයේ රැඳී සිටිද්දී  පැමිණි අභියෝගවලට මුහුණ දුන්නේ කොහොමද?

ඉස්සර නම්  රංගන  ශිල්පිනියක් වෙනවා කියන්නේ  බොහොම බැරෑරුම් කාරණාවක්. ක්ෂේත්‍රයට පිවිසීමට පෙර රංගනය පිළිබඳ හැදෑරිය යුතුයි,  රංගනය පිළිබඳ අවබෝධ කරගත යුතුයි. ලෝකයේ වර්ග කරලා තිබෙනවා  කරන්න අමාරුම රැකියා දහයක්.  ඒ අතරට රංගනයද එක්වෙනවා. අනිකුත් රැකියා වගේ නොවෙයි  රංගනය  ශාරීරිකව සහ මානසිකව සැහැල්ලුවෙන් කළ යුතු දෙයක්.  ක්ෂේත්‍රය තුළ  අවබෝධයෙන්  ගමනක් යනවා නම්, ඒ වගේම  මෙහි   පසුබිම දන්නවා නම්  කාටවත් බලෙන් කිසිම දෙයක් කරන්න බැහැ. තමන් දක්ෂයි නම්  තමයි යා යුතු මාර්ගය දැනුවත් නම්  කිසිම කෙනෙකුගෙන් බාධාවක් කරදරයක්   පැමිණෙන්නේ නැහැ.  ඉතින්  මම මේ ගමන යන්නෙ ගොඩාක් අවබෝධයෙන්  එනිසා  මේ වනතෙක්  මට කිසිම කරදරයක් බාධාවක් පැමිණිලා නැහැ.

  • කාන්තාවක් ස්වාධීන වීම ගැන මොකද හිතෙන්නේ?

කාන්තාවකට  තමන්ගේ වැඩ කටයුතු  බාධාවකින් තොරව  කර ගැනීමට  පසුබිම  අද වන විට  සෑදී තිබෙනවා.  ඉස්සර නම්  කාන්තාව  පිරිමියාට යටත්ව ජීවත් වුණා. නමුත් අද වන විට  කාන්තාව  හැම අංශයකින්ම  ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ වගේම නුවණින්  දක්ෂකමින්ද  කාන්තාව  ඉහළ තැනක සිටිනවා.  ඒ වගේම  කාන්තාව  අභියෝගවලට මුහුණ දීලා  ප්‍රශ්න විසඳාගෙන  ඉදිරියට යන්න  ගොඩක් දක්ෂයි. ඉතින් මේ වන විට  කාන්තාව  ඉදිරියෙන්.   ඇයට ස්වාධීනත්වය  ඉතාම වටිනවා.

  • ජිවිතේ ගැන මොකද හිතෙන්නෙ?

මගේ ජීවිතයේ  කුඩා කාලයේ සිටම  කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ.  හරි සතුටින් ජීවිතය ගත කළා. රංගනයේදි අපිට ස්ථිර ආදායමක් නැහැ. කාන්තාවක් විදියට මං කවදාවත් පසුබට වෙන්නෙ නැහැ. ඒ වගේම  ක්ෂේත්‍රය තුළ මට අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද කියලා මට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ වගේම නුසුදුසු දේවල්  ප්‍රතික්ෂේප කරන්න මට අයිතිය තිබෙනවා.  අපේ රටේ සදාචාරයට සංස්කෘතියට ගැළපෙන දේවල් කරන්න මම අවබෝධ කරගෙන ඉන්නෙ.  

  • අලුතින් රංගන ක්ෂේත්‍රයට එන්න හිතන යුවතියන්ට මොකද කියන්නේ?  

තමන්ට ගැළපෙන,  තමන්ගේ අභිමානය රැකගන්න පුළුවන්,  පවුලේ ගරුත්වය රැකගන්න පුළුවන්   නිර්මාණ තෝරා ගෙන  අවබෝධයෙන් වැඩ කරන්න. එවැනි තත්ත්වයක්  තමන් විසින්ම ඇති කරගත යුතුයි. ඒ වගේම තමන් කරන වැඩේට අවංක වෙන්න.  

  • කාර්යබහුලත්වයත් සමග නිවසේ වැඩ කටයුතු කරගන්නෙ කොහොමද?

එහෙම ලොකුවට  දේවල් කරන්න අවශ්‍ය නැහැ.  පුතා තේමිය රත්නායන. මගේ පුතා දැන් ලොකුයි.  දැන් වයස අවුරුදු 21යි. ඔහුත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි.  ගීත කිහිපයකුත් පටිගත කළා. කුඩා කාලයේ  වගේ ඔහුගේ පස්සෙන් ඉඳලා  හැමදේම කරන්න අවශ්‍ය නැහැ. ඔහුගේ මාර්ගය හදාගෙන  ඔහු හොඳ ගමනක් යනවා කියලා මට හිතෙනවා.  ඉතින් ඒ නිසා  මම නිදහස් ඒ දේවල්වලින්.  ගෙදර හැම දෙයක්ම හොඳින් බැලන්ස් කරගෙන යනවා.

  • නව වසරට අපි මොනවද අරගෙන යන්න ඕනෑ

අතීතය අරගෙන යන්න එපා.  වෙච්ච දේවල් ගැන පසුතැවිලි නොවී  ඉදිරි වැඩකටයුතු  කොහොමද කරන්නේ කියලා  සැලසුම් කරගන්න. අඩුපාඩු හදාගෙන නිවැරදි කරගන්න.  සැලසුමක් ඇතිව ජීවිතය ඉදිරියට යන්න. එවිට  ජීවිතයට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 

 

ගිලිහුන සෙනෙහස සොයා  ’’වයිෆ්’’ වැඩ අරඹයි ! Read Previous

ගිලිහුන සෙනෙහස සොයා ’’වයිෆ්’’ වැඩ අරඹයි !

සහජීවනයෙන් හා කෘතවේදීත්වයෙන් වර්ණ ගැන් වූ  සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා ! Read Next

සහජීවනයෙන් හා කෘතවේදීත්වයෙන් වර්ණ ගැන් වූ සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා !

Realted Post

Leave a comment