නැති බැරිකම තිබුණත් දරුවන්ගේ කෑම වේල ගැන හිතන්න
අද අපි මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ දරුවන්ගේ පෝෂණය ගැන වැඩියෙන් කතා කරන්නට සිදු වී ඇත. වේගයෙන් වර්ධනය වන කුඩා දරුවන්ට වයසට සරිලන නිසි පෝෂණයක් නොලැබුණහොත් දරුවාගේ වර්ධනය නිසි ලෙස සිදු නොවෙයි. ඒවාගේම පෝෂණ ඌනතා නිසා හටගන්නා රෝගාබාධවලට ලක්වීමේ අවදානමක්ද ඇත.
දරුවාගේ වර්ධනය හොඳින් සිදුවෙනවාද?
දරුවෙකුගේ වර්ධනය හොඳින් සිදුවෙනවාද නැද්ද යන්න දැන ගැනීමට ඇති මූලිකම මිනුම වන්නේ උස සහ බරයි. දරුවාගේ පෝෂණය නංවාලීම සඳහා සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇති වැඩසටහනට අනුව අපේ රටේ සියලුම දරුවන්ගේ උස හා බර මැන බැලීමට මේ වන විට පියවර ගෙන ඇති නිසා ඒ සම්බන්ධයෙන් මවුපියන්ගේ සහය ලබා දීමද ඉතා වැදගත් වෙයි.
කුඩා දරුවාගේ ආහාර වේල
අදහස් දැක්වීම :
|
දරුවාගේ වර්ධනය ගැන කතා කිරීමේදී දරුවාගේ ආහාරවේල ඉතා වැදගත් ය. වර්ධනය වන දරුවාගේ දෛනික ආහාරවේල නිසි වේලාවට ලබා දිය යුතු වගේම නිසි ආකාරයට එය පිළියෙල කළ යුතුය. එනම් ආහාරවේල සමබල විය යුතුයි. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, වලට අමතරව සිරුරට ආරක්ෂාව සපයන එළවළු, පලතුරු හා මේදය දරුවාගේ ආහාරවේලේ අඩංගු විය යුතුය. අද පවතින්නා වූ ආර්ථික දුෂ්කරතා මැද දරුවාට සමබල ආහාරවේලක් අඩු වියදමින් සකස් කර ගත යුත්තේ කෙසේද යන්න බැලීම ඉතා වැදගත් වෙයි.
උදේට හොඳම ආහාරය බත්
කාබෝහයිඩ්රේට් ලැබෙන අපගේ ප්‍රධාන ආහාරය වන්නේ බත්ය.
උදේ කාලයේදී ද දරුවෙකුට දිය යුතු හොඳම දේ බත් ය. දරුවන්ට පිටි සහිත ආහාර ලබා දීමේදී පාන්පිටිවලින් සාදන ලද ආහාර වර්ග දීමට ඇතැම් මවුවරුන් කටයුතු කරති. එහෙත් අද පාන්පිටි නිෂ්පාදනවල මිල අධික නිසා දරුවාගේ ආහාරවේලේ කාබෝහයිඩ්රේට් අවශ්‍යතාව බත්වලින් සපුරාලීම වඩාත් යෝග්‍ය වෙයි.
ලොකු-පොඩි මාළුවල පෝෂණයේ වෙනසක් නෑ
දරුවාගේ ආහාරවේලට අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් එකතු විය යුතුය. විශේෂයෙන් දරුවාට ගුණදායී ප්‍රෝටීන් අත්‍යවශ්‍ය වෙයි. එනම් මාළු, මස්, බිත්තර වැනි ආහාරවලින් ලැබෙන ප්‍රෝටීන් අවශ්‍ය වෙයි. එහෙත් මේවා අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්රමාණයකිනි. එහෙත් අපේ මවුවරුන් සිතන්නේ මෙම ආහාර වර්ග විශාල ප්‍රමාණයකින් දරුවාගේ ආහාරවේලට එක් කළ යුතු යැයි කියාය. එය වැරැදිය. දරුවෙකුට එක් ආහාරවේලකට කුඩා මාළු කෑල්ලක්, හාල්මැස්සන් කීපදෙනෙක් එක් කිරීම ප්‍රමාණවත් වෙයි. ඒවාගේම ඕනැම මාළු වර්ගයක ඇති ගුණාත්මකභාවය සමානය. ප්‍රෝටීන් මට්ටමද එකමය. එහෙත් බොහෝ දෙනා සිතන්නේ ලොකු මාළුවල ගුණාත්මකභාවය වැඩි අතර හාල්මැස්සන්, වැව් මාළුවල ගුණාත්මකභාවය අඩුබවය. ඒ සිතුවිල්ල ද වැරැදිය. මේ සෑම වර්ගයකින්ම ලැබෙන ප්‍රෝටීන් එක සමානය. ඒ නිසා දරුවාගේ ආහාරවේලේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම සඳහා අඩු වියදමකින් ගත හැකි මාළු වර්ග සහ ආදේශක තෝරා ගැනීම වරදක් නොවේ.
බිත්තර භාගයක් හෝ දෙන්න
බිත්තර ඉතාමත්ම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයකි. දරුවෙකුට දිනපතා බිත්තර 1/2 ක්වත් ලබා දෙනවා නම් එය ඉතා වැදගත් වෙයි.
මේ කාලයේදි ශාකවලින් ලබා ගත හැකි ප්‍රෝටීන් ගැනත් විශේෂයෙන් අවධානය යොමු කළ හැකිය. සුළු ප්‍රමාණයන්ගෙන් වුවත් කඩල, කවුපි, මුංඇට වැනි ඇට වර්ග එක එළවළුවක් වෙනුවට දරුවාට ලබා දීම ඉතා වැදගත් වෙයි.
පියලි ඇට වර්ගවල ප්‍රෝටීන් විශාල ප්‍රතිශතයක් ඇත. ප්‍රෝටීන් බහුල ආහාර වශයෙන් මස්, මාළු, බිත්තර ආදිය සැලකුවත් ඒ සියල්ලන්ටම වඩා පියලි ඇට වර්ගවල හෙවත් මාංශ භෝගවල ප්‍රෝටීන් බහුලව අඩංගු වෙයි.
දරුවාට අවුරුදු 2ක් වෙනතුරු මවුකිරි
දරුවෙකුට මාස 06 සිට අමතර ආහාර ලබා දිය යුතුය. මෙහිදී මවුකිරි ලබා නොදිය යුතු යැයි නොපැවසේ. අමතර ආහාර ලබා දිය යුත්තේ මවුකිරි ලබා දෙන ගමන්මය. මෙසේ අමතර ආහාර ලබාදීම ආරම්භ කළ පසු දරුවාගේ බරෙහි වෙනස්වීමක් සිදු විය හැකියි. ඊට හේතුව අමතර ආහාර ගැනීමේදී එක්වරකට විශාල ප්‍රමාණයකින් ආහාර නොගැනීමයි. ඒ නිසා මේ කාලයේදී පෝෂණය ගැන විශේෂ උනන්දුවක් වගේම අවදානමක් ඇති නිසා මේ කාලයේ හරියටම මාස 06 දී අමතර ආහාර ලබා දිය යුතු වෙයි. අමතර ආහාර ලබා දීමේදී මුලින්ම එය බත්වලින් ආරම්භ කළ යුතු අතර ඉන්පසු ක්‍රමයෙන් අනෙකුත් ආහාර වර්ග බතට එක් කළ යුතුයි.
මවුකිරිවලින් දරුවාට මේ කාලයේදී ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයද ඉතා වැදගත් ය. ඒ නිසා දරුවාට අවුරුදු දෙකක් පමණ වනතුරුවත් අමතර ආහාරවලට අමතරව ඊට සමගාමීව මවුකිරිද ලබා දිය යුතු වෙයි.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති සම්මන්ත්රණයකිනි.)
සුබෝධිනී පෙරේරා
Leave a comment