නිදහසේ රස්සාව කරන්න නිදහසක් නැති අපේ කාන්තාවෝ

 

හිතේ නිදහසේ රැකියාවක් කරන්න අපේ රටේ කාන්තාවට නිදහසක් තියෙනවද? විශේෂයෙන් අපේ රටේ විවාහක කාන්තාවකට ඒ නිදහස තිබෙනවද කියන එක නම් විශාල ගැටලුවක්. ඒ නිසාම මෙරට කාන්තාවෝ වැඩි දෙනෙක් විවාහයෙන් පසුව රැකියාවට සමුදෙනවා. එහෙත් අධ්‍යාපනයෙන් උසස් තැනක සිටින අපේ රටේ ශ්‍රම බලකායේ මූලික තැනක් හිමිවන කාන්තාවන්ගෙන් රටට එම දායකත්වය නොලැබීම රටේ දියුණුවට මූලිකවම බලපාන හේතුවක්. අධ්‍යාපනය හා කරට කර පිරිමින් හා කාන්තාවන් සිටීම ආඩම්බරයට හේතුවක් වුවත්, මේ වන විට වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ඒ පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ උගත් කාන්තාවන් වැඩිදෙනකුගෙන් රටට අවශ්‍ය ශ්‍රමදායකත්වය නොලැබී යන බවයි. එයට හේතුව කුමක්ද? කාන්තාවෝ රැකියාවක් කිරීමට කැමැත්තක් තිබුණත් ඔවුන්ට ඒ සඳහා යොමුවීමට බැරි හේතුව කුමක්ද? මේ කතාබහ ඒ ගැනයි. 


වෙරිටේ රිසර්ච් ආයතනය සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස කාන්තාවෝ රැකියාවට සමුදීම සිදුවන කාරණා සහ නැවතත් නිදහසේ ඔවුන්ට රැකියාවට එකතුවීමට හැකිවන මාර්ගය පිළිබඳ එම ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂණී අබේසිංහ අදහස් දැක්වූයේ මෙලෙසය.  

 

අදහස් දැක්වීම :
වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා
සුභාෂණී අබේසිංහ


සීමාවක් නැති වැඩ 
සැමියාගේ සේවා කාලය පැය අටකට සීමා වුවත් රැකියාවක් කරන බිරිඳකගේ සේවා කාලය නම් බොහෝ දුරට පැය අටකට සීමා වන්නේ නැහැ. ඇයගේ සේවා කාලය පැය දාසයක් පමණ කිව්වොත් නිවැරදියි. ලැබෙන වැටුපට වඩා කායික සහ මානසික දෙවිදියටම ඇයට විශාල වෙහෙසක් දරන්න සිදුවෙනවා. විශේෂයෙන් පවුලට දරුවන් එකතුවීමත් සමග මවට තිබෙන වැඩ රාජකාරී තවත් සංකීර්ණ වෙනවා. රැකියාව කරලා නිවෙසට පැමිණි පසු එක තප්පරයකවත් නිදහසක් නොබලා අනෙක් අතට ගෙදර රාජකාරී ආරම්භ කිරීම හුඟක් කාන්තාවන්ට සාමාන්‍ය දින චර්යාව වෙලා. රැකියාවේ කටයුතු වගේම, උයනපිහන කටයුතු, ගෙදරදොර පිරිසුදු කරන කටයුතු, දරුවන්ගේ කටයුතු සියල්ල කරගැනීම අපහසු නිසා බොහෝ කාන්තාවෝ දරුවකු ලැබුණු පසු රැකියාවට සමුදෙනවා. හොඳ දැනුමක් සහ දක්ෂතාවක් තිබෙන,එවැනි කාන්තාවෝ අති විශාල ප්‍රමාණයක් අපේ රටේ සිටිනවා. එහෙත් සමීක්ෂණයට අනුව පිරිමි පාර්ශ්වයෙන් දහදෙනෙක් ගතහොත් එයින් හත්දෙනෙක් පමණ රැකියාවක නියැළෙන අතර කාන්තාවන් හයක් ගත්විට එයින් රැකියාවක නියැළෙන්නේ තුන්දෙනෙක් පමණක් බව අනාවරණය වුණා. වසර දහයක් තිස්සේ මෙහි වෙනසක් ද සිදුවී නැහැ.  


ඒ වගේම අපේ රටේ ආදායම් ලබන කාන්තාවන්ගෙන් සියයට අනූවකටම අඩු ප්‍රතිලාභ හිමිවීමත් මේ සමීක්ෂණයෙන් හෙළිවුණු තවත් ප්‍රතිඵලයක්. බොහෝ දෙනෙක් සිටින්නේ අඩු ආදායම් ලබන කාන්තාවන්. ඒ අතරේ මසකට විසිපන්දහසක වැනි සුළු වැටුපක් උපයන කාන්තාවොත් සිටිනවා. ඇයට නිදහස සහ ඇගයීම ලැබෙන්නේ අඩුවෙන්. එසේ නම් පවුලේ වැඩකටයුතු හිසරදයක් කරගන්නේ නැතිව ඇයටත් නිදහසේ රැකියාවක නියැළෙන්න පරිසරය නිර්මාණය විය යුත්තේ කොහොමද? 

 


කාලයට ගැළපෙන වෙනසක් 
රැකියාවක් කරනවා කියූ විට බහුතරයක් හිතන්නේ දවස් පහම රැකියාවට යන්න ඕනෑ කියලා. ඒ වගේම වැඩ තිබුණත් නැතත්,  උදෑසන අටේ සිට සවස වැඩ අවසන් වෙලාව තෙක් රැකියා ස්ථානයේ රැඳී සිටිය යුතුයි කියන මානසිකත්වයත් නිර්මාණය වී තිබෙනවා. එහෙත් බොහෝ විදේශ රටවල මෙන්, ආකල්පමය වශයෙන් අපේ රටේත් වෙනසක් සිදුවෙනවා නම් මීට වඩා දියුණුවක්, මානසික නිදහසක් අත්විඳින්න පුළුවන්. පසුගිය කොරෝනා කාලය නිසා ඒ මානසිකත්වයෙන් මිදෙන්න අවස්ථාව ලැබුණා. නිවසට වී සේවාව සපයන්න පුළුවන් බොහෝ දෙනෙක් ඔන්ලයින් හරහා නිවසේ සිට රැකියාවට සම්බන්ධ වුණා. ඒ ක්‍රමයට ඉදිරියටත් දරුවන් සිටින කාන්තාවන්ට නිවසේ සිට සේවය සපයන්න අවස්ථාව තිබෙනවා නම් ඔවුන්ට ඒ නිදහස ලබා ගන්න පුළුවනි. වෙලාවට රැකියාවට පැමිණිය යුතුයි යන සංකල්පය වෙනුවට කොහොම හරි වැඩ ටික අවසන් කළා නම් ඇති කියන මානසිකත්වය නිර්මාණය වුණා නම් ඕනෑම අයෙකුට නිදහසේ තමන්ගේ රැකියාවට සම්බන්ධවීමට හැකියාව තිබෙනවා. 


දරුවන් සිටින කාන්තාවකට එම නිදහස විශාල සහනයක්. ඒ වගේම ඇයට රැකියාව කරගෙන යාමට යම් උත්තේජනයකුත් එයින් ලබාදෙනවා. 

 


දරුවන්ට දිවාසුරැකුම් මධ්‍යස්ථාන 
තමන්ගේ කුඩා දරුවන් රැකබලා ගැනීමට කවුරුත් නොමැතිකම බොහෝ කාන්තාවන් රැකියාවෙන් සමුගැනීමට මූලිකම හේතුවක්. ඒ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන බිහිවෙලා තිබුණත් එවැනි ආයතන ගැන අපේ රටේ බහුතරයකට හොඳ විශ්වාසයක් ඇත්තේ නැහැ. මුදල් හැකියාවක් නොමැති අයට ඒ සඳහා යොමුවීම අපහසු වුණත් හැකියාවක් ඇති කාන්තාවන් මෙම ආයතන ගැන විශ්වාසය සහ ආරක්ෂාව ගැන තිබෙන ගැටලුව නිසා දරුවන් ඒවාට යොමුකරන්නේ නැහැ.     


අපේ රටේත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන තිබුණත් ඒවාට නිසි තත්ත්වයක් තිබෙනවාද යන්න සොයා බැලිය යුතුයි. දරුවකු කිසිම සැකයක් නැතිව එවැනි ස්ථානයක රඳවා යෑමට හැකි පරිසරයක් එහි නිර්මාණය වෙන්න ඕනෑ. ඊට අදාළ නිසි පියවර ගැනීම රටේ වගකීමක්. ඒ සඳහා විශේෂ පුහුණුවක් ඇති සේවිකාවන් එම ආයතනවලට ඇතුළු කිරීම, ඒවා රජයේ පිළිගත් ආයතන ලෙස නිර්මාණය වීම, හොඳ ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යාම වැදගත්. විශේෂයෙන් මවුපියන් ළඟ තිබෙන ආරක්ෂාවට නොදෙවෙනි ආරක්ෂාවක් රැකවරණයක් මෙම ආයතන තුළින් ලැබෙනවා නම් එය දරුවකුගේ සුබසිද්ධියට වගේම ඒ හරහා තවත් රැකියා අවස්ථා නිර්මාණය කරගන්නත් ඉඩකඩ හිමිවෙනවා. ඒ නිසා මෙම ආයතන හොඳ අධීක්ෂණයක් යටතේ නිර්මාණයවීම බොහෝ කාන්තාවන්ට තම රැකියා කටයුතුවල නිදහසේ නිරතවීමට අවස්ථාව ලබාදෙනවා.


ඒ වගේම එවැනි ආයතනයකට දරුවන් යොමුකරවා ගැනීමට ආර්ථික ශක්තියක්වීමට රැකියා ස්ථානයෙන් යම් උපකාරයක් ලැබෙනවා නම් එය කාන්තාවකට විශාල සහයෝගයක්. විශේෂයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් සහන මිලකට එම අවස්ථාව ලබාදෙන්න උත්සාහ කරන්න පුළුවන් නම් කාන්තාවගේ ශ්‍රමය දායක කරගැනීම අපහසු වන්නේ නැහැ. 

 


අඹු සැමි අතර ආකල්පමය වෙනසක් 
විවාහයෙන් පසුවත් රැකියාවක් කරන්න කැමැත්තෙන් සිටින කාන්තාවකට ඇයගේ සිහිනය සැබෑ කරගන්න නම් ඇයට සැමියාගේ සහයෝගය තිබිය යුතුමයි. දරුවන්ගේ කටයුතුවලදී වුවත් ගැහැනු  වැඩ පිරිමි වැඩ කියා වැඩ බෙදාගන්නවාට වඩා සම සමව ගෙදර දොරේ කටයුතු සැමියා සහ බිරිඳ වෙනසක් නැතිව බෙදාගෙන කටයුතු කරන්න පුළුවන් විදියට ආකල්පමය වෙනසක් සමාජය තුළ ඇති වෙනවා නම් ගැහැනියට මීට වඩා නිදහසක් භුක්ති විඳින්න පුළුවන් වගේම ඇයගේ ශ්‍රම ශක්තිය හොඳ ආයෝජනයක් විදියට යොදාගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අපේ රටේ විවාහයෙන් පසු හෝ දරු ප්‍රසූතියෙන් පසු රැකියාවෙන් සමුගන්න කාන්තාවන්ට ඔවුන්ගේ ශ්‍රමය නැවත රටට ලබාදෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කිරීම සමාජයේම වගකීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවනි.             

 

 නයනා උදයංගනී


   

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment