පස්සෙන් මිස ඉස්සරහින් නෝනා යන්නෙ නෑ

 

හිර කරගෙන ඉන්න කතා ලියන්න පටන් ගත්ත දවසෙ ඉඳලා, ලියන්න පුළුවන් විදියේ අලුත් දෙයක් මට අනිවාර්යයෙන්ම අහන්න දකින්න ලැබෙනවා. මේකත් ඒ වගේ දෙයක්. මේ කතාව කිව්වේ අපේ විශ්ව විද්‍යාලයේම ආචාර්යවරියක්. ඇය නුදුරේදීම විශ්‍රාම යන්න නියමිතයි. ඒ නිසා අපි ඇය වෙනුවෙන් පුංචි සාදයක් පවත්වන්න තීරණය කළා. නමුත් ඒ සඳහා ඇගෙන් කිසිම අනුමැතියක් ලැබුණේ නැහැ. ‘අනේ දරුවනේ, ඕවා ඕනෙ නෑ. ඔය ළමයි නිසා තමා මම සතුටින් හිනා වෙලා හිටියෙ. මම කැම්පස් එකේ ඉන්න පැය ගාණ තමයි සතුටින්ම ඉන්න පැය කිහිපය. මට කැම්පස් එක දිව්‍ය ලෝකයක් වගේ කළේ ඔය ළමයිනුයි මගෙන් ඉගෙන ගන්න ළමයිනුයි තමා. මම හැමදාම ගෙදර යන්නේ අපායකට යනවා වගේ. ලබන මාසෙන් පස්සේ මගෙ ජීවිතේ ගෙවෙන්නේ අපායෙ.’ ඇය කිව්වා.

කථිකාචාර්ය ශාස්ත්‍රපති 
දුලංජලී මුතුවාඩිගේ

ඇය ඉතාම ආදරණීය, හිතවත් ආචාර්යවරියක්. නමුත් කවදාවත් අපිත් එක්ක ඇගේ පෞද්ගලික තොරතුරු කතා කරලා නැහැ. දියණියන් දෙදෙනෙක් විධායක ශ්‍රේණියේ රැකියාවල නිරත වෙනවා කියලත්, රාජ්‍ය සේවයේ විශ්‍රාමික සැමියා පෞද්ගලික ආයතනයක උපදේශක තනතුරක් දරනවා කියලත් අපි දන්නවා. නමුත් ඒ කිසිම කෙනෙක්ව අපි කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඇය වගේ උගත් ආචාර්යවරියකගෙන් කවදාවත් බලාපොරොත්තු නොවුණු කතාවක් තමයි එදා අපිට අහන්න ලැබුණේ.

‘ඇයි මැඩම් එහෙම කියන්නෙ? රිටය වුණාට පස්සේ ගෙදරට වෙලා නිදහසේ ඉන්න පුළුවන්නෙ’ තරුණ කථිකාචාර්යවරයෙක් කිව්වා. ‘ගෙදර තියන නිදහස ගැන නම් කතා කරලා වැඩක් නෑ දරුවො. ඊට වඩා හිතේ නිදහසේ මම කැම්පස් එකේ ඉන්නවා’ ඇය කිව්වේ කණගාටුවෙන්. මේ කතාව කොච්චර දුරට ගියාද කියනවා නම් ඇය කැම්පස් එකේ අපිත් එක්ක හිටපු අන්තිම සතිය, පහුගිය අවුරුදු ගණනාවටම වඩා අපිත් එක්ක ඇගේ දුක බෙදා ගත්තා.

ඇගේ කතාව ඉතාම පුදුම සහගත එකක්. මීට අවුරුදු 35 කට කලින් යෝජනාවක් මත ඇය විවාහ වෙලා තිබුණේ රජයේ ඉහළ නිලයක් දරන කෙනෙක් එක්ක. විවාහයෙන් පස්සේ පළවෙනි වතාවට නව යුවල ඥාතීන් හමුවෙන්න යද්දි පුදුම දෙයක් සිද්ධ වෙලා. ඇගේ වචනවලින්ම කියනවා නම් ‘මම කාර් එකෙන් බැහැලා එයාගෙ අතින් අල්ලා ගත්තා. එයා එකපාරටම මගේ අත ගසලා දාලා, මගෙ පිටිපස්සෙන් එන්න, මට සමාන්තරව එන්න එපා කියලා කිව්වා. ඒ කියන්නේ එයා එක්ක එක පෙළට යන්නේ නැතිව එයාට වඩා අඩි දෙක තුනක් පිටිපස්සෙන් එන්න කියලයි ඒ කිව්වෙ. ඉතින් මම එයාගෙ පිටිපස්සෙන් ඇවිදගෙන ගියා. එදා ඉඳලා අද වෙනකල් අපි කොහේ ගියත් එයා කවදාවත් එයා එක්ක එක ළඟින් මට යන්න දීලා නෑ. හැමදාම මම එයාට වඩා අඩියක් දෙකක් පිටිපස්සෙන් තමයි යන්න ඕනෙ.’ ඇය කිව්වා. ඒ විතරක් නෙවෙයි ඒ වගේ තවත් කතා ගොඩක් ඇයට තිබුණා. ‘කවදාවත් මම කැමති පාටක කැමති ඇඳුමක් මට අඳින්න ලැබිලා නෑ. මම සාරි අඳින්න ඕනෙ එයා කැමති පාටට. එයා කැමති කෑමක් මිස වෙන කෑම අපේ ගෙදර හදන්න ලැබිලා නෑ. දවසක් ගෙදරට ඉස්සො වඩේ ගෙනාවා කියලා මට හරිම කැත විදියට බැණුම් අහන්න සිද්ධ වුණා. දුවලා දෙන්නගේ ප්‍රශ්නවලදි හැමදාම තීරණ ගත්තෙ එයා. අඩුම තරමේ දුවලාගේ කැමැත්ත අකමැත්තවත් අහලා නෑ. ඒ දෙන්නම අද වැඩ කරන්නේ රාජ්‍ය සේවයේ. නමුත් ඒ දෙන්නාම රාජ්‍ය සේවයට කැමති නෑ. දුවලා රස්සාවල් කරන්නේ හරිම කලකිරීමෙන්. දෙන්නටම දැන් අවුරුදු 30 පැනලා. ඒත් තාත්තගෙ හිතට හරියන බෑනලා ලැබුණෙ නැති නිසා දෙන්නම අදටත් ගෙදර. ගෙදර ප්‍රශ්න මතක් වෙද්දි ඔළුව රිදෙනවා.’ ඇය කියාගෙන ගියා.

‘මේ ඔක්කොම ඉවසගෙන ඉන්න පුළුවන් කියමුකො. ඒත් මට ඉවසන්නම බැරි එයා මාව වත් දරුවො දෙන්නව වත් ගණන් ගන්නේ නැති එක ගැනයි. මොනම දෙයක් ගැනවත් අපේ අදහසක් කියනවට වත් කැමති නෑ. අඩුම තරමින් අපේ කැමැත්තට ගෙදරට අලුතින් මල් පැලයක් ගෙනාවත්, මිදුලෙ තිබුණු මල් පෝච්චියක් අරගෙන දොර කිට්ටුවෙන් තිබ්බත් එයාට වැරදියි. ගේ දෙවනත් වෙන්න කෑ ගහනවා. මම ඇඟේ ලේ නැතිව ඉන්නේ එයා ගෙදර ඉන්න වෙලාවට. කොයි වෙලාවෙ වැරැද්දක් හොයා ගනී ද කියලා බයක් දැනෙනවා. දුවලා දෙන්නත් එහෙමයි. තාත්තා ගෙදර ඉන්න වෙලාවට ඒ දෙන්නා කාමරවලින් එළියට එන්නේ වත් නෑ. දුවලා දෙන්නා වගේම මමත් කැමති එයා ගෙදර නැත්නම් තමා. දැන් ඉතින් මට මැරෙනකල්ම ඔය ගේ ඇතුළට වෙලා ඇඟේ ලේ නැතිව ඉන්න සිද්ධ වෙනවා කියලා මතක් වෙද්දි මගෙ හිතට දැනෙන්නේ පුදුමාකාර කලකිරීමක්’ ඇගේ කතාව තමයි ඒ

ඇය කියන විදියට නම් විවාහ වෙලා ආපු පළවෙනි දවසෙ ඉඳලාම ඇයට මේ විදියට කිසිම නිදහසක් නැතිව ජීවත් වෙන්න සිද්ධ වෙලා. මේ වගේ තත්ත්වයන් මත බොහෝ කාන්තාවන් කරන්නේ විවාහ බැඳීම කඩලා දාන එක. නමුත් වැඩිහිටියන්ට අපහාසයක් වෙයි කියන සිතිවිල්ලෙන් ඇය තමන්ගේ නිදහස හොයාගෙන යන්න උත්සාහ කරලා තිබුණේ නැහැ. මේ කතාවෙදි මට ගොඩක්ම පුදුම හිතුණේ ඔහු ඇයට කියලා තිබුණු ‘මගේ පිටිපස්සෙන් මිස මට සමාන්තරව ඇවිදින්න එපා’ කියපු කතාවයි. තමන්ගේ බිරිඳ එක්ක එක පෙළට ගමන් කරන එක ඔහුට ලැජ්ජාවක්ද, නැත්නම් ඇය ඔහු අභිබවා යයි කියන මෝඩ සිතිවිල්ල නිසා කියපු දෙයක්ද කියලා මට හිතා ගන්න බැහැ. නමුත් මම ඇයට ගෞරව කරනවා. මොකද, ඇයට ඇගේම සැමියාගෙන් මෙච්චර කෙණෙහිලිකම් සිද්ධ වෙලා තියෙද්දිත් ඇය නිදහස හොයාගෙන වෙනත් පිරිමියෙක් පිටිපස්සේ යන්නේ නැතිව අර කෙනෙහිලිකාර සැමියා පිටිපස්සේම යන්න විතරක් හිත හදාගත්තු නිසා.

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment