පසුතැවිලි වෙන්න වැරදි තීරණ ගන්නේ මොකටද?
ජීවිත කාලයේදී ඔබ ගත් තීන්දු තීරණ නිසා ඇතැම් විට බොහෝ පසුතැවීම් ඇතිවෙන්න ඇති.
“මම එදා මේ දේ නොකර ඉන්න තිබුණා. මම එදා ඒක කළ නිසා තමයි අද මට මෙහෙම වුණේ හැමෝම එපා කියද්දිත් මම ඒක කළානේ......”
“හැමදේටම මුල ඕනෑවට වඩා මගෙ හිතේ තියෙන අනුකම්පාව තමයි” අද ඔබ එහෙම සිතාවි.
මගපෙන්වීම
කොළොන්නාව රජමහා විහාරවාසී කොළඹ මහානාම විදුහලේ ආචාර්ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි |
එදා ඔබේ තීරණ අදට කොයි විදියට බලපෑවත් එය හෙට දවසට බල නොපාන පරිදි ජීවිතය සකස් කරගත යුතුය. බුදුරණාණන් වහන්සේ දේශනා කරන්නේ හැමවිටම තවත් තමන් ගන්නා තීන්දු තීරණ මෙලොව පමණක් නොව පරලොවද ඔබට සුවය පිණිස පැවතිය යුතු බවයි.
ඒ නිසා ගන්නා හැම තීන්දුවකින්ම හෙට දවසට එය සුවයක් සැපයක් පිණිස පවතීද යන වග කල්පනා කරන්න. එය තමාට නොවැටහේ නම් දන්නා කෙනෙක් සමග හොඳින් සාකච්ඡා කර තීරණවලට එළැඹෙන්න. එය ඔබට සිහිපත් කරන්නේම යම් කෙනෙක් දුකට පත් වී ඇත්නම් දුකක් ඇතැයි කියනවා නම්, ඒ බොහෝදේට ඔවුන් ගත් සමහර අදුරදර්ශී තීරණද බලපෑමක් ඇති කරන බැවිනි.
ඇතැම් දේ ඇඟිල්ලෙන් ඇන “ඕක ඔහොම කරන්න එපා” යැයි කිව යුතු නැත.
උදාහරණයක් ගනිමු.
ඇතැම් ගෙදරකට ගිය විට ස්වාමි දියණිය දොස්තර නෝනා කෙනෙකි. මහත්තයා ආයතනයක අධ්‍යක්‍ෂක මහතෙකි. ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයට, විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ණය වී, දිරා යන තුරු මහන්සි වූ මවුපියන් ගැන ඒ අය මතක් කරන්නේ නැත. තම මවුපියන් ඉන්නා තැනක් කියන්නේ නැත. සමහර මවුපියන් ගෙයි කෙළවර කුස්සිය මුල්ලේ අඟු පිලකය. තවත් විටක වැඩිහිටි නිවාසයක ය. එහෙත් මේ අයගේ ගෙදර හදන බලු කුක්කාට, වෙනත් සුරතල් සතකුට මවුපියන්ට වඩා සැපවත් ජීවිතයක් ලබා දී තිබේ. දැනුමෙන් පිරුණාට ගුණ යහපත්කමින් නොපිරීමේ ඵල විපාකය මෙය වේ. මෙවැනි පුවත් අද ගමක, නගරයක ඕනෑ තරම් අහන්නට තිබේ.
උගන්වන්න පන්ති යැව්වාට, පොතපත අරන් දුන්නාට සමාජයෙන් මෙන්ම පවුලෙන්ද ලැබිය යුතු ගුණ යහපත දරුවෙකුට නොලැබුනොත් ඒ අය උගත්තාට පල නැත. ගුණයක් නැති, මනුස්සකමක් නැති, අධම මිනිස්සු ඔබේ ආයතනයේත්, රටේත් කොයිතරම් ඉහළ පුටුවල සිටිනවාද? ඒ අය නිසා කී දෙනෙක් පීඩාවට පත් වෙනවාද? බුදුරජාණන් වහන්සේ හැමවිටම මග පෙන්වූයේ මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමටය.
වරක් බුදුන් වහන්සේ වැඩම කරන මාර්ගයේ ගිලන් වූ කෑමට බීමට යමක්වත් හරියට නොලැබෙන කෙට්ටු වූ වයස්ගත ඇතින්නක් දුටහ.
ස්වාමීනී, මේ එදා උදේනි රජතුමාට සිටි රාජකීය ඇතින්නයි. දැන් මේ ඇතින්න ලෙඩවෙලා රජුට මේ ඇතින්නගෙන් දැන් ප්‍රයෝජනයක් නෑ ඇය ඉවත්ක ර ඇති සැටියි....”
මේ කරුණ වීදියේ වැසියෝද කියා උන්හ. එදා බුදුරජාණන් වහන්සේ උදේනි රජතුමාගේ රාජ මාළිගයට වැඩිම කර,
භද්‍රවතී ඇතින්න එදා රජතුමාට සැලසු සේවයත්, අද ඇයට පත්ව ඇති ඉරණමත් ප්‍රකාශ කරමන් දහම් දේශණා කළහ.
උදවු කළ, උපකාර කළ ප්‍රයෝජනවත් වූ අය අත හැරීමේ ආදීනව පෙන්වා දුන්හ. එදා සිට මේ භද්‍රවතී ඇතින්නට ජීවිතය පුරාම සුවයෙන් සිටින්නට අවස්ථාව උදා විය. ඒ නිසා උදව් කළේ උපකාර කළේ කවුරුන්ද යන්න වැදගත් නැත. මවුපියන්, ගුරුවරුන් වේවා ඒ අයට දෙවරක් නොසිතා, ගරු කරන්න. කළ හැකි, කළ යුතු යුතුකම සිදු කරන්න.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා සතියක් තමන් වහන්සේට බුදුවීම පිණිස උපකාර කළ සෙවණ දුන් බෝධිය දෙස ඇසිපිය නොහෙළා බලා සිට අනිමිස ලෝචන පූජාවෙන් කෘත ගුණ දැක්වූහ.
බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ පැරණි ලාංකීය සමාජය තුළ මේ ගුණ බොහෝ පැවැතියහ. ජීවි පමණක් නොව අජීවි වස්තුවක් තමාට උපකාර කළේද ඊට අපේ පැරැන්නෝ කෘතවේදී වූහ.
ගොවියෝ කුඹුරට බැසීමට පෙර උදැල්ලට වැන්දාහ. නගුලට වැන්දාහ, කුඹුර හා දෙන හරකාබානට වැන්දාහ. ඉගෙනුම ලබන දරුවෝ පත පොතට වැන්දාහ. බත සරිකර දෙන බත් මුට්ටියට, බත් පතට වැන්දාහ. අද වනවිට යමෙක් එවැන්නක් කළත් එය අපහාස උපහාසයට ලක් වන්නකි.
‘මොන මෝඩයෙක්ද මේ, බත් එකට වඳිනවා, පොතට වඳිනවා, උදැල්ලට වඳිනවා.
මෙසේ කියන උදවිය නැතිවා නොවේ. සමාජය පවතින තැන එතැන නම් ඊට හැඩ ගැසිය යුතුද? මෙහොතක් කල්පනා කරන්න.
වරක් බුදුරජාණන් වහන්සේට අම්බපාලි නැමැති ගණිකාවගේ නිවසෙහි දානයකට ආරාධනාවක් ලැබිණී. ඇය එකල සිටි ප්‍රසිද්ධ ගණිකාවකි බුදුරජාණන් වහන්සේ ඇගේ ගෙදර දානයට වඩිනවාට මහජනයා එපමණ කැමැති වූයේ නැත. එහෙත් එදා බුදුරජාණන් වහන්සේ අම්බපාලිගේ නිවසේ දානයට වැඩම කර ඇයට ධර්මය දේශනා කළාය.
උන් වහන්සේ හැමවිටම සමාජයෙන් වෙනස් වූයේ නියෝජනය කළේ බුද්ධ වංශය වන හෙයිනි. උන් වහන්සේ රාජ වංශයක් නියෝජනය නොකළහ. උන්වහන්සේ මිනිසුන් රැකගෙන ආරක්ෂා කරගෙන ආකුලයක් නියෝජනය නොකළාහ.
ඒ නිසා බුදුරජාණන් වහස්සේට අටලෝ දහමින් බොහෝ දේ දරා ගන්නට පිළිවන්කම තිබිණ. ලාභ වගේම අලාභත්, සැප සේම දුකත් නින්දාව සේව ප්‍රශංසාවත්. යස සේම අයසත් ඉවසීමට බුද්ධ දේශනය මඟ පෙන්වූහ.
ඒ නිසා සමාජය දකින, සමාජය කියන හැමදේම ‘හරි’ දේ නොවේ. සියල්ල ‘හොද’ දේ ද නොවේ. සියල්ල ‘හොඳ’ දේ ද නොවේ.
සමාජයේ නැති සමාජයෙන් ඈත් වී යන සමහර ගුණධර්ම ඔබත්, ඔබේ දරුවන්ට නැවත ඇති කළ යුතුය.
එවිට සමාජය දකින, විශ්වාස කරන සමහර ආකල්ප වෙනුවට යහපත් ගුණධර්ම, යහපත් ආකල්ප, කෘතවේදී හැඟීම් නැවත ඇති කළ හැකියි. මේ සමාජ පරිවර්තනය නිසි ලෙස සමාජගත වුණොත් අද පවතින දුර්ධාන්ත කෙළෙහි ගුණ නැති, මිලෙච්ඡ සිදුවීම් බොහෝමයක් මකා දැමිය හැකිය.
අසංක ආටිගල
Leave a comment