මගේ පළමු ලිපිය පළවුණේ සිරිකත පත්තරේ - අම්මා ගැන කතා කරන කිංස්ලි

ඇතැමෙකුගේ ජීවිතයට උපතින්ම වසන්තය උදාවී තිබුණත් ඇතැම් අයට ජීවිතයට වසන්තය පැමිණෙන්නේ පමාවීමෙනි. එසේ  පමාවී පැමිණෙන වසන්තයෙන් තවත් ඇතැමෙක් සිය උත්සහයෙන් උනන්දුවෙන් සහ ජන්මෝපගත වාසනාවෙන්    ජීවන හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වී තිබේ.

ගුවන් විදුලි ක්ෂේත්‍රය නව්‍යකරණය වූ යුගය තුළ අතපසුවීමකින් හෝ ගුවන් විදුලිය නොඅසා සිටිය නොහැකි තත්වයකට පත් කළ සන්නිවේදකයින් අතර කිංස්ලි රත්නායක නාමයට ද පවතින්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ ඔහු හොඳින් මුවහත්වූ වියත් අවියක් නිසාමය. එසේ කට ඇති පුතකු ඇති අම්මා කෙනකු ගේ හදවත කොතරම් සන්තුස්ටියකින් පිරී තිබෙන්නට ඇතිද.
කිංස්ලි රත්නායක නම් වූ අපේ කාලයේ සන්නිවේදකයාණන් සිය මෑණියන් පිළිබඳ කී වචන කිහිපයක් අද ළතෙත් ගුණැති අම්මා තුළින් කියවමු. 
අම්මා කියන්නේ අපේ සතුට බලලා  සතුටු වෙන කෙනෙක්..
මගේ අම්මා ධම්මිකා රංජනී ජයවර්ධන. එයාගේ ලෝකයම වුණේ මමත් අක්කත් තමයි. මේ වන විට අම්මා ජීවතුන් අතර නැහැ.  අවුරුදු 69 ක් වගේ කාලයක් අම්මට ජීවත් වෙන්න වාසනාව තිබුණා. අද මට අම්මා වගේ ඉන්නේ මගේ අක්කා තමයි, ඇය ගුරුවරියක්. 
අම්මවත් අක්කවත් මම මීඩියා වල හිටියා කියලා ඒවායෙන් කිසිම වරප්‍රසාදයක් ඉල්ලලාත් නැහැ. මම ඒ වගේ දෙයක් ලබා දීලාත් නැහැ.
මට මතකයි මම සිරසේ ඉන්න කාලේ පොසොන් පොහොයට මිහින්තලේ ආලෝක පූජාවට සමගාමීව රේඩියෝ විකාශය කළේ එහෙ ඉඳන්. විශාල සෙනඟක් එන අතරේ අම්මාත් මිහින්තලේ ඇවිත් මට නිකමටවත් කිව්වේ නැහැ. අර සෙනඟ අතරේම අපි වැඩ කරන හැටි ඈත ඉඳන් බලා ඉඳලා තිබුණා. එදා මම ප්‍රධානියා හැටියට  හිටියත් අම්මා කිසිම උපකාරයක් ඉල්ලන්න ඉදිරිපත් වුණේ නැහැ.පස්සේ මට දැන ගන්න ලැබුණා අම්මා ඇවිත් ඉන්නවා කියලා. මම හොයාගෙන ළගට ගිහිං අම්මාට වැන්දා.  අම්මා කියන්නේ ඈතින් ඉඳන් අපේ සතුට දිහා බලලා සතුටු වෙන කෙනෙක්.
ම‌ගේ ජිවිතයේ ලොකුම ආශාවක් තිබුණා. 
ඉස්කෝලේ යන කාලේදී මගේ ජිවිතයේ ලොකුම ආශාවක් තිබුණා. ඒ තමයි අම්මාට  පේන්න මයික්‍රෆෝනයකින් කතා කරන එක. මොකද මට හොඳට මතකයි මාව පළමු වසරේදි  මාව තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කරපු පළමු දවසේ අම්මා ඉස්කෝලේ ඉස්සරහ මාර ගහ ළඟට වෙලා මම එනකම් බලා‌ගෙන හිටිය හැටි. “මේ ඉස්කෝලෙන් හොඳට ඉගෙන ගෙන හොඳ මහත්තයෙක් වෙන්න” කියලා කියද්දි එදා අම්මාගේ ඇස්වල දිලිසෙන කඳුළු මට තාම මතකයි. නමුත් මට අම්මව සතුටු කරන්න ඒ ඉස්කෝලේදි බැරි වුණා.
පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ  කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙලා මට ඉස්කෝලේ විවාද කණ්ඩායමට ඇතුළත් වෙන්න හැකි වුණා.දවසක් ඉස්කෝලෙදි අපට දැන ගන්න ලැබුණා විවාද කණ්ඩායමෙන් පළමුවෙනියා වෙන කෙනාට ඉස්කෝලේ ප්‍රයිස්ගිවින් එකේ එනවුන්ස් කරන්න දෙනවා කියලා. මම වෙනදාට වැඩිය මහන්සිවෙලා කොහොම හරි විවාද කණ්ඩායමේ පළමු ස්ථානය දිනා ගත්තත් එදා මොනම හේතුවක් නිසා හරි දෙවැනියාටත් පළමුවෙනි ස්ථානය දෙන්න තීරණය කරලා.
ඒ නිසාම ප්‍රයිස්ගිවින් එකේ නිවේදන අවස්ථාව දෙන්නටම දෙන්න කියලා විනිශ්චය මණ්ඩලය තීරණය කරලා.. නමුත් සිදු වුණේ අමුතු දෙයක්. මාධ්‍ය අංශය භාර ගුරුතුමියව දැනුවත් කළ විදියට ඇය ඇවිත් කිව්වා “පුතේ මෙතන දෙන්නෙකුට කරන්න වැඩක් නැහැ අහවලා තනියම වැඩේ කරයි ඔයා අයින් වෙන්න” කියලා..
එදා මගේ ඇස් දෙකට පිරුණු කඳුළු එළියට එන්න නොදී මම නවත්තගත්තේ හරිම අමාරුවෙන්. මොකද මම ගෙදරින් එන කොට කිව්වා.. “මතක ඇතුව කලින් එන්න අම්මෙ. අපි ඇතුලෙ නිසා එලියට එන්න විදිහක් නෑ... සීට් නොම්මරේ පුටුවෙ අලෝලා තියෙන්නෙ. පරක්කු වෙන්න නම් එපා හොඳේ” කියලා. 
ඒ විදියට එහෙම කිව්වේ  මගේ නිවේදන කටයුතු එයාට පෙන්වන්න ආශාවට.  ඒත් එදා මට අම්ම ඉදිරියේ පේන්න ඒ වැඩේ කරන්න බැරි වුණා. නමුත් එදා මාධ්‍ය එකකයේ කාර්මික අංශයේ  මිතුරෙකුගේ සහයෝගයෙන් ආරාධිතයින් එන පෙර ගමන් විස්තර කථනය මම සජීවීව කළා..උත්සව ශාලාවේ මම පෙනී නොසිටියත් මම දන්නවා මගේ කටහඬ අම්ම ශාලාවේ කොතැනක ඉඳන් හරි අහන්න ඇති කියලා. 
එදා මගේ සජීවි විස්තර කථනය කොයිතරම් සාර්ථක වුණාද කියනවා නම් ඒ වෙන විට ශාලාවේ දාලා තිබුණු අනෙක් සංගීත ඛණ්ඩ පවා නවත්වලා තිබුණා පමණක් නොවෙයි පසු දවසේ විදුහල්පතිතුමාගේ සුවිශේෂි ඇගයීමට පවා මාව ලක් වුණා. මම හිතනවා අම්මා කෙනෙකුගේ ආශාවන් ඉටු කරලීමේ අපේක්ෂිත කිසිම සිතිවිල්ලක් දරුවෙකුට වරදින්නේ නැහැ කියලා.
අපේ අම්මා සිරිකත පාඨක රසිකාවියක්. මට මතකයි මගේ ගැන පළමු පුවත්පත් ලිපිය පළවුණේ සිරිකත පත්තරේ, තිරංජය ගම්ලත් කියන මගේ පාසල් මිතුරා තමයි ඒ පිළිබඳ ලිපිය සහ මගේ ඡායාරූප පුවත්පතේ පළ කළේ. මට පසුව දැන ගන්න ලැබුණා අම්මා තිරංජයට ඒ ගැන ස්තූති කරලා අත් අකුරින්ම ලිපියකුත් යැව්වා කියලා..  අම්මා ඒ තරමටම කෙනෙකුගේ සේවයට ගෞරව දක්වන්න පුරුදු වෙච්ච කෙනෙක්.
අම්මා අප හැර ගියේ 2018

අම්මා මිය ගියේ ලියුකේමියා රෝගී තත්ත්වයෙන්. අම්මා රෝහලේ නිතර නිතර ප්‍රතිකාර වලට නවත්වන්න වුණා. මමත් අක්කත් හැකි හැම වෙලාවෙම අම්මා ළඟ හිටියා.  මම අම්මාගේ කකුල් අත ගාන කොට අම්මා මට කියපු දෙයක් තමයි.. පුතේ ඔයා පුංචි කාලේ  හුඟක්ම කැමති මගේ කකුල් දෙකේ නිදා ගන්න තමයි කියලා..
අම්මා මිය ගියේ 2018 අවුරුද්දේ  මම අම්මගේ ආදාහන කටයුතු වලින් පස්සේ පසුදින භෂ්මාවශේෂ ගන්න ආදාහනාගාරයට ගිය වෙලාවේ එතන සේවකයින් අපව අ`ඵ තිබූ ස්ථානයට රැගෙන ගියා.  මට මතකයි එදා අම්මාගේ දේහයේ නොදැවුණු අස්ථි කොටසක අර මාව නළවපු මාව වඩාගෙන හැම තැනම ඇවිදපු ඇගේ පාදයේ වළලු‍ කරේ කොටසක් ඒ හැඩයෙන්ම ඉතිරි වෙලා තියෙනවා. මට එදා ඒ තුළින් අම්මා අපි වෙනුවෙන් තැබූ සෑම පියවරක්ම මැවිලා පෙනුණා. 

අපේ අම්මා යනකොට එයා ගාව තිබ්බ රූපකාය අක්කට දීලා ,ආත්ම ශක්තිය මට විතරක් දුන්නද කියලා හිතෙන තරමට අම්මා ගැන තාමත් වැලපෙන අක්කා දකින වාරයක් ගානේ මට හිතෙනවා.  

 

 

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Previous

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක් Read Next

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්

Realted Post

Leave a comment