මගේ රත්තරන් අම්මා ගෙදරින් එළවලා මං කරගත්තු පාපේ තමයි මේ
“දැන් ඇති බං තනියම හිටියා. උඹලගේ ගෙදරට අඩිය තියන්න බෑ උඹේ අම්මා මුණු මුණු ගානවා. ඒ මනුස්සයා කියන කතාව ඇත්තනේ බං. එයාට මොනවා හරි උනොත් උඹට කවුරුත් නැහැනේ. මගේ යාළුවෙක් ඉන්නවා මම බලන්නද?”
විවාහ ජීවිතය යනු නීරසම එකක් බවට ලෝහිතගේ හිතට තදින්ම කා වැදී තිබුණේ තම ආදරණීය අම්මාගේ ජීවිත කතාව හේතුවෙනි. ඔහුට යන්තම් වයස අවුරුදු දහයක් වෙද්දී ව්‍යාපාරිකයකු වූ ඔහුගේ පියා තවත් කසාදයක් කරගනිමින් ලෝහිතගේ අම්මාත් තමාත් අතැර ගිය හැටි ඔහුට අද මෙන් මතකය. ‘අම්මා හැඬූ හැටි.. නොකා නොබී සිටි හැටි... හීල්ලූ හැටි... දුක් විඳි හැටි.. අනේ කසාදයක් නම් එපා.’ ඔහුගේ යටි හිත නිතර නිතර කීවේ එසේය.
නිපුණ, ලෝහිතගේ අතිජාත මිත්‍රයාය. පෞද්ගලික සමාග මක කළමනාකරන සහකරුවෙක් වශයෙන් මොවුන් දෙදෙනාම එකම දින එම ආයතනයේ සේවයට ගොස් තිබිණී. දුකේදීත් සැපේදීත් දෙදෙනා දෙදෙනාගේ ඕනෑඑපාකම් බලා කියා ගත්තේ සහෝදරයන් මෙනි. මොවුන් දෙදෙනාගේ මිත්‍ර සමාගමට තවත් මිතුරන් බොහෝ දෙනෙක් සිටියත්, මේ දෙදෙනාගේ මිතු දම ප්‍රබල එකක් විය. කෙසේ වෙතත් නිපුණ විවාහ වී සිටියේ ගුරුවරියක සමගය. ඔවුන් දෙනාගේ විවාහ ජීවිතයේ වරින් වර මතුවන ගැටලු නිරාකරණය කර දීමට මැදිහත් වූයේ ද ලෝහිතය.
“උඹ මට කසාද හොයන්න එපා බං. උඹලත් කොයි වෙලේ බැලුවත් මරාගන්නවා. බලපන් ඉතිං. මොන මඟුල් ද බං.” ලෝහිත හැමදාම වාගේ අදත් නිපුණගේ යෝජනා ප්‍රතික්ෂේප කළේය. එහෙත් දෛවය ලියැවී ඇත්තේ කෙසේදැයි කාට නම් කිව හැකිද? එක්තරා ඉරිදාවක ලෝහිත කඩිමුඩියේ නිපුණ මුණ ගැසීමට ඔහුගේ නිවසට ගියේය. “මචං, ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් හැම තිස්සේම මගේ එක්ක චැට් කළා. වෙලාවකට මළ වදයක්. ඒත් මට හිතෙනවා ඒකිට ටෝක් කරන්න. ඊට කලින් උඹට කිව්වේ පොඞ්ඩක් හොයලා බලපං කොහොම ඩෑල් එකක් ද කියලා නිපුණා.”
“අම්මෝ ඇති යාන්තං තොට සිකුරා ලබලා. දීපං බලන්න කවුද කියලා” එතැන් පටන් නිපුණගේ අදහස් උදහස් මත මේ දෙදෙනාගේ ආදර අන්දරය ආරම්භ විණී. “එන්න කියපං බලන්න. ගල්කිස්සේ බීච් එකට.”
වත්සලා විසි නව හැවිරිදිය. ගම් පළාත මයියංගනය ප්‍රදේශයේය. බැලු බැල්මටම ඇය අහිංසක යුවතියක වුවාය. “අම්මයි තාත්තයි දෙන්නම නැහැ. මං පුංචි කාලේම ඒ දෙන්නා මාව දාලා ගිහිල්ලා ආච්චි අම්මා ළඟ. දැන් කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ආච්චි අම්මා ගොඩාක් අමාරුවෙන් මාව හැදුවේ. ඕලෙවල්වලින් පස්සේ ඉස්කෝලේ ගමන නතර වුණා. ඒ ඉද්දි තමයි අනූෂා අක්කා මාව කොළඹට අරගෙන ආවේ.” ඇය ඔහුට කීවාය.
“කොළඹ මොනවද කළේ?” “රත්මලානේ පැත්තේ ගාමන්ට් එකක වැඩට ගියා” ඇය වසර හතරක් ගෙන්දගම් පොළොවේ පය ගසා ජීවත්ව සිට ඇති බවත්, පසුව එම රැකියා ස්ථානයෙන් ඉවත්වී යළිත් නිවසටම වී කාලය ගත කරන බවත් ඇය, ලෝහිතට කීවාය. කාලය, මේ ආදරය ඉදිරියට ගෙන ගියේය. “අපි බඳිමු.” ඔහුගේ යෝජනාව එනතුරු ඇය පෙරමග බලා සිටියාය. කෙටි උත්සවයකින් දෙපාර්ශ්වයම එක්රොක්වී විවාහ උත්සවය සැමරූ අතර, ලෝහිත ගල්කිස්සේ පිහිටි තම නිවසට ඇය රැගෙන ආවේ, “අම්මේ ඔන්න අද ඉඳලා අම්මව බලා ගන්න දුවෙක් ගෙනාවා” යැයි කියමිනි.
කාලයක් ඒ නිවස සුන්දර සුපසන් නිවසක් විනි. එහෙත් ඒ ආදරණීය බව කෙමෙන් කෙමෙන් ගිළිහෙන්නට වූයේ අම්මාත් වත්සලාත් පුංචි දරුවන් මෙන් ඇවිලෙන්නට වූ දා සිටය. “මට මේ කරදරේ ඉවසන්න බෑ නිපුණා. කියපං මං මොකද කරන්නේ කියලා. මගේ රත්තරං අම්මා පව්. ඒත් වත්සලත් පව්. දෙන්නා මරා ගන්නේ මොනවා බෙදා ගන්න බැරිවද මන්දා බං. ඒකි කියනවා අම්මා ලොකුයි නම් මම ආපසු ආච්චි ළගට යනවා කියලා. කියපං මං මොකද කරන්නේ?’ “පොඩි ගේ කෑල්ලක් කුලියට ගනිං ටික දවසකට. එතකොට බලමු මොකද වෙන්නේ කියලා” සිය මිත්‍රයාගේ අදහස ගැන ලෝහිත ගොස් ඔහුගේ මවට කීවේය.
“මගේ පුතා කලබල වෙන්න එපා. මටත් ඉවසුම් නැහැ මේ වත්සලාගේ වැඩ ගැන හිතද්දි. වෙලාවකට හිතෙනවා මගේ කොල්ලා අමාරුවේ වැටුණාවත්ද කියලා පුතේ. පුතා කොහේවත් යන්න එපා. මම ටික දවසකට පුංචිළඟට යන්නම්. එයත් තනියම නේ ඉන්නේ. පුංචි කිව්වා කොහොමත් ඔය දෙන්නට පාඩුවේ ඉන්න දීලා එහේ එන්න කියලා.”
දහසක් දුක් කම්කටොළු මැද තමා උස් මහත් කර හදාවඩා ගත් අම්මා නිවස අතැර යනදා ලෝහිත කාටත් හොරා ඉකිබිඳ බිඳ හැඬුවේය. ඒ දුක වේදනාව දියකර හැරි කඳුළුවලින් ඔහුගේ සිත සුවපත් කෙරුමට නම් සමත් වූයේම නැත. “කමක් නෑ. පුංචි ළග අම්මා සතුටින් ඉදීයි.” අවසානයේ ඔහු හිත හදාගත්තේය. අම්මා නැති නිවෙසේ කියාගත නොහැකි පාළුවකින් සිටි ලෝහිතට සිය බිරිඳගේ අමුතු හැසිරීම ගැන යන්තම් දැනෙන්නට වූයේ මාස දෙක තුනක් ගතවූවාටත් පසුවය. ඇතැම් අවස්ථාවල සිය නිවෙසේ අමුතු අමුතු දේ සිදුවන බවට ඔහුට ඉවෙන් මෙන් දැනෙන්ට විය. මේ සියල්ලටම විසඳුම සොයා ගනු වස් ඔහු කාටත් හොරා නිවසේ සෑම තැනකම සී සී ටී වී යන්ත්‍ර සවි කරන්නට වූයේය. සියල්ල හෙළි වූයේ ඉන් පසුවය.
“අපි කසාද බැඳලා අවුරුදු තුනයි. අම්මා එක්ක අවුරුදු එකහාමාරක් හිටියා. ඊට පස්සේ එයාට ඕන වුණේ අම්මව එලවලා ගෙදර තනියම කාලය ගත කරන්න. මම ඒකටත් ඉඩ සලසා දුන්නා. අන්තිමට එයාගේ අමුතු හැසිරීම මට ඇල්ලුවේ නැහැ. ඒ නිසයි ගෙදර සී සී ටී හයි කළේ. සී සී ටී වී හයිකරපු දවසට පහුවෙනිදාම එයාගේ මුළු ජීවිත කතාවම මට අහුවුණා. මගේ ෆෝන් එකෙන් මම බලාගෙන හිටියා එයා ගෙදර ඉඳලා මොනවාද කරන්නේ කියලා” රාජකාරියට යෑම සඳහා ලෝහිත නිවසෙන් පිටත්ව ආ පසු උදෑසන නවයට පමණ නිවසට එන්නේ වත්සලාගේ හිතවතිය වූ අනූෂා අක්කාය. මඳ වේලාවකින් දෙදෙනා කතාබස් කරමින් සිටි අතර දුරකතනයට පිළිතුරු ලබාදීම් ආදිය සී සි ටී වී දර්ශනවලින් ලෝහිත බලා සිටියේය. මඳ වේලාවකින් නිවසේ ඉදිරිපස ගේට්ටුවෙන් නිවසට ඇතුළු වන්නේ හැඩි දැඩි පිරිමියෙකි. අනූෂා නිවසේ සාලයේ රැඳී රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියදී වත්සලාත් නාඳුනන පිරිමියාත් තම යහනේ හැසිරෙන හැටි ලෝහිත බලා සිටියේ ඉවසා දරාගත නොහැකි කෝපයෙනි. දින ගණනාවක් තිස්සේ ඇය තම නිවස ගණීකා නිවාසක් බවට පත්කර ගන්නා අයුරු ලෝහිත දුටුවේය. සතියක් පුරාවටම කිසිත් වෙනසක් නොපෙන්වූ ඔහු සියලු සාක්ෂි එක්රැස් කරගනිමින් පොලීසියට ගියේය. එතැනින් අධිකරණයට ගියේය. සිය නිතීඥයා මගින් මේ සියලු දර්ශන සහ ඡායාරූප නඩුවට ගොනු කළේය. කිසිදු කලබලයක් නොමැතිව යළිත් නිවසට පැමිණී ඔහු වෙනදා මෙන් නිවසේ කාලය ගත කළත් ඇය සමග පැවැති ආදරණීය ඇසුර නවතා දැම්මේය.
“මචං, අපි දන්නවා නේ දැන් මේ බඞ්ඩ කවුද කියලා. මෙහෙම ගෑනු එපා.” නිපුණගේ හඬ ලෝහිතට ඇසුනේ ඈත ලෝකයකින් ඇසෙන්නා සේය. තවත් සතියක් ඉක්මව ගිය තැන තම සැමියා තමන්ට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඇය දැනගත්තාය. ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගත් ඈ, “ඇයි ලෝහිත ඔයා මාව ඩිවොස් කරන්න හදන්නේ. ඔයා තාමත් තරහින්ද ඉන්නේ මම නිසා අම්මා ගෙදරින් ගියා කියලා. අම්මා නිසා නේද ඔයා මාව ඩිවොස් කරන්න හදන්නේ. නිපුණත් මේකට හවුල්. අහිසංක ගෑනුන්ගෙ න් ඔයාලා පළි ගන්නවා.” ඔහු මවාගත් සිනහවකින් පමණක් පිළිතුරු දුන්නේය.
පළමු නඩු වාරයේදී ඇය අධිකරණයට ආවේ ඇගේ හොඳම යෙහෙළිය වන අනූෂා ද සමගය. එම නඩුවේ මේ කියනා අනූෂාද පාර්ශ්වකාරියක් වන අතර නඩුවේ ඔප්පු කිරීමේ භාරයේ ඇති සී සි ටී වී දර්ශන ගැන ඔවුන් දැනගත්තේ එදාය. දෙළොව රත්වූ ඇය, අධිකරණ භූමියේදීම ලෝහිත අසලට දිව විත් බිම පෙරළී ඔහුගේ දෙපාමුල වැඳ වැටෙන්නට වූවාය. “මට සමාව දෙන්න ලෝහිත. මම ආයෙත් මේ වැරදි කරන්නේ නැහැ.” “ඔයාගේ පරණ පුරුදු රස්සාව ඕකනේ. ඔයාගේ මහ ලොකු අක්කා එක්ක ඒකම කර කර ඉන්න. මගේ රත්තරන් අම්මාව ගෙදරින් එළවලා මං කරගත්තු පාපේ තමයි මේ. කරුණාකරලා තවත් ලෝකෙට මාව ලැජ්ජ කරන්නේ නැතුව දික්කසාදේ දෙන්න” ලෝහිත කීවේය.
“අනේ ලෝහිත මට සමාව දෙන්න බැරිද?” ඇය හඬා වැටුණාය. ’බැහැ. මේ වගේ ලොකු රැවටීමකට මං කොහොමද සමාව දෙන්නේ? මේක සමාව දෙන්න පුළුවන් වරදක් ද? මගේ ජීවිතේ අවුරුදු තුනක් විනාශ කළේ ඔයා” ඔහු කීවේය.
“අනේ ලෝහිත. ඔයාට මාව එපාද?”
“එපා. ජාති ජාතිත් එපා”
(නම් ගම් සියල්ල මන:කල්පිතයි)
නිමන්ති රණසිංහ
Leave a comment