මට අම්මාගේ මතකය මේ ලෝකයේ ආලෝකය අඳුනගත් දවසේ සිට දැනුණු හැඟීමක්. - Bashini Samarasinghe

තම එකම දියණිය කුඩාම කල කාන්තා පුවත්පත් රැසක ළමා මෝස්තර නිරූපණ ශිලිපිනියක් ලෙස පසුපිට කවරය හැඩ කළ අතර. ඒ අතරින් වැඩිම අවස්ථා ගණනක පෙනී සිටි සිරිකත පුවත්පත් ඇය තවමත් සුරක්ෂිතව තබා ගෙන සිටින්නී ය.  දිනෙන් දින අභියෝග මැද ජන  ප්‍රියතාවයේ අභිෂේක ලබන ඒ දියණියගේ ජීවන පහන් සිළුව සේ බබළමින් ඇය අසලම රැඳී සිටිනුයේ මාතෘ සෙනෙහසේ උතුම් අලෝකය පතුරුවමිනි.

ගුවන් විදුලි සන්නිවේදන කලාවේ ව්‍යක්ත භාවයෙන් යුතු යුගයේ රැජිනක් ලෙස කටයුතු කළ ඇය අදද හෙළබසට තදින් ඇලුම් කරන්නියකි. 
මවගේ සමීපයේම සිටිමින් පැටිවියේ සිටම ගුවන් විදුලි තැටි පටි ගබඩා විකාශන කුටි අතරම රැඳුණු ඇයද අද සන්නිවේදන කරළියේ පෙරළියක් කරන්නියකි.
පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවක නාළිකා ප්‍රධානී වශයෙන් කටයුතු කරන අතරම ඇය පසුගියදා ජනප්‍රියතම සන්නිවේදිකාව ලෙස සම්මානයට පාත්‍රවූ භාෂිණි සමරසිංහයි. අද ළතෙත් ගුණැති අම්මා ගැන ආදරණීය කතා බහ ඇය සමගයි.

  • ඇය හුඟ දෙනෙකුට අම්මා  වුණා

මගේ අම්මා රත්නා සමරසිංහ.  ඇය මටම පමණක් අම්මා වුණාට සන්නිවේදන මහ ගෙදර වෙච්ච ගුවන් විදුලියේ සන්නිවේදිකාවක් වශයෙන් හා පරිපාලිකාවක් හැටියට කටයුතු කරද්දී සිය දහසකට අම්මා කෙනෙක් වුණා. ලක්ෂ සංඛ්‍යාත අසන්නන්ට ආදරණීය හිතවතියක් වුණා.  ආයතනය ඇතුළෙ සියල්ලන්ටම සොඳුරු මිතුරියක් වුණා. ඒ විදියට හිතත්දී මගේ අම්මා කියන්නේ මට රටක් රාජ්‍යයක් තරම් වටින කෙනෙක්. හරි ලස්සනට අඳින්න, ලස්සනට කතා කරන්න, රසට කෑම හදන්න හැමදේම මම ජීවිතයේ ඉගෙන ගත්තේ අම්මාගෙන්.
මට අම්මාගේ මතකය මම හිතන්නේ මේ ලෝකයේ අාලෝකය අඳුනගත් දවසේ සිට මට දැනුණු  හැඟීමක්.

අසූ ගණන්වල අම්මා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සන්නිවේදිකාවක් වශයෙන් කටයුතු කරද්දී මම අම්මාගේ කුසේ.   අම්මා ප්‍රවෘත්ති කියන කොට දෙන්නෙකුගේ කටහඬ ඇහෙනවා කියලා යාළුවෝ අම්මාට විහිළු කළාලු.
ඒ කාලේ අම්මා හරිම කඩිසර චරිතයක්. අම්මා කොයි වේලවේ බැලුවත් ගුවන් විදුලියේ කොතැනම හරි තැනක කුමක් හෝ කටයුත්තක නිරත වුණු  කෙනෙක්. අම්මට අවුරුද්දක් නත්තලක්  කිසි දෙයක් තිබුණේ නැහැ. අම්මාගේ කාර්ය බහුලත්වය නිසාම මටත් සිදු වුණා ඉස්කෝලේ ඇරුණු ගමන්ම ගුවන් විදුලියට  ඇවිත් අම්මා එක්කම ඇවිද ඇවිද එහෙට මෙහෙට යන්න. ඒ නිසාම මටත් පුංචි කාලේ ඉඳන්ම ගුවන් විදුලිය ජීවිතයේම කොටසක් වුණා.

මේ හැමදේම තිබියදි අම්මා ගෙදර වැඩ හැම දේම කිසිදු අතපසු කිරීමකින් තොරව බැලන්ස් කර ගත්තා. ඒ වෙන කොට තාත්තගේ   රැකියාවේ කටයුතු නිසාම තාත්තටත් ඉතාම කාර්ය බහුල තත්ත්වයක් තිබුණෙ.

  • අන් අයට ගරු කරන්න ඉගැන්වුවා

මම මගේ ජීවිතයේ තව කෙනෙකුට ගෞරවය කරන විදිය අම්මගෙන් හොඳටම ඉගෙන ගත්තා. මම හිතනවා අම්මලාගේ යුගයේ හිටපු ඒ සන්නිවේදන පරම්පරාව ආයේ දකින්න හිතන්නවත් බැහැ. පුංචිම කාලේ ඉඳලා ගුවන් විදුලියේ අම්මාගේ අාභාෂය ලබමින් හිටිය නිසා මට ඒ අඩුව හොඳට දැනෙනවා. අද ප්‍රවෘත්ති කියන්න කටහඬක් හරියට නෑ සන්නිවේදනය කරනවා කියන්නේ නිකං හිනා වෙන එක විතරයි කියලා අලුත් සන්නිවේදකයෝ හිතා ගෙන ඉන්නෙ. කතාකිරීම සහ නිවේදනය කිරීම කියන්නේ මොකක්ද කියලා අම්මගෙන් ඉගෙන ගත්තා.
මගේ ජීවිතයේ අදටත් මම ආසම නිවේදිකාව අම්මා . මාව සන්නිවේදිකාවක් කරන්න අම්මට තිබුණෙ ලොකු ආශාවක්. ඒ නිසාම අම්මා ඒ සඳහා අවශ්‍ය සියලු දේ වලින් මාව සවිමත් කළා.  මට බුද්ධ ගජ්ජය සකස්කඩය පවා කටපාඩම් කෙරෙව්වා.
අම්මට අවශ්‍ය වුණා ඇයට බැරි වුණු සමහර දේවල් මම හරහා කරව ගන්න. ඒ ඇරියස් එක නිසාම ක්‍රීඩාව, කලාව,  රූපලාවන්‍ය ආදී  හුඟක් දේ ජීවිතයේ ඉගෙන ගන්න ලැබුණා. අම්මාගේ ඒ දැක්ම අද මට ජීවිතයේ ස්වාධීනත්වයක් සමග ජීවත් වෙන්න ශක්තියක් ඇති කරලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ.

  • තාත්තගේ මැණික අම්මා

මගේ තාත්තා පාලිත සමරසිංහ . ඔහු දේශපානික වශයෙන් සම්බන්ධතා ඇති රැකියාවක නිරත වුණු නිසා එක්තරා කාලයකදී  තාත්තට රැකියාව අහිමි වෙනවා. ඒ අවස්ථාවේ තාත්තා හුඟක් මානසිකව බිඳ වැටුණා. ඒ වෙලාවේදී අම්මා තාත්තගේ ළඟින් ඉඳගෙන ලබා දුන් ශක්තිය නිසා ජීවිතයේ තාත්තට ආයෙත් පුරුදු විදියටම නැගිටින්න හැකි වුණා.
තාත්තටත් අම්මා නැති ජීවිතයක් තිබුණෙම නැහැ. තාත්තා අම්මාට ආදරේට කිව්වේ නෝනි කියලා. වෙලාවකට මැණිකේ කියලත් කිව්වා. ඒ දෙන්නගේ ආදරේ කියන්නේ මහ පුදුම සංසාර බැඳීමකින් ඇති වුණු  දෙයක් කියලා මම හිතනවා.

  • වරද දුටු තැන නිවැරදි කළා

තාත්තා නැතිවුණු  වේලාවේ අම්මට ජීවිතයේ දරා ගන්න බැරිතරම් පීඩාවක් ඇති වෙලා තිබුණා. නමුත් එයා බොහෝම සංයමයකින් ඒ හැම දේම දරාගත්තා. හිමින් සැරේ ආගම දහම අනුව පත් පොත් පරීශීලනය කරලා ඒවා අනුව වැටහීම් ඇති කරගෙන ජීවිතය සකස් කර ගත්තා.  ඒ වගේම මගේ පුතාගේ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරගෙන ඒ හැම දේම සංයමයකින් අම්මා දරා ගත්තා.  මටත් වඩා මගේ පුතා ගැන බලන්නෙ අම්මා.
අද වන විට අවුරුදු 68 ක් වුණත් අම්මාගේ සිත තුළ තියෙන්නේ ජීවිතයේ තරුණම කාලේ තිබුණු ජව සම්පන්නබව. අම්මාට කොතැන හරි වරදක් දැක්කොත් ඒක ඒවෙලේම පෙන්වා දෙන පුරුද්දක් තිබුණා.  මම අම්මා එක්ක වාහනයේ යන කොට මගේ ගුවන් විදුලි නාළිකාව අම්මට ඇහෙන්න දාන්නේ නැහැ. මම දන්නවා අපේ අයගේ අතින් අදට ගැළපෙන වචන කියවෙන වෙලාවන් හරියට තියෙනවා. ඒ නිසා මම අම්මා එක්ක කතා බහ කරන කොට වුණත් හරි පරිස්සමින් වචන පාවිච්චි කරන්නෙ.  මොකද අම්මා කියන්නේ දැනුම විශ්ව කෝෂයක්. මේ වගේ දැනුමෙන් පරිපූර්ණ අපේ අම්මලගේ සන්නිවේදන පරම්පරාව ආයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන හිතන කොට රත්නා සමරසිංහ යන ප්‍රතාපවත් සන්නිවේදන රැජිණියකගේ දියණියක් වීම ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්.

මේ සතිය ඔබට - ඔක්තෝබර් 21 සඳුදා සිට  ඔක්තෝබර් 27 ඉරිදා දක්වා Read Previous

මේ සතිය ඔබට - ඔක්තෝබර් 21 සඳුදා සිට ඔක්තෝබර් 27 ඉරිදා දක්වා

උතුරෙ කඨින පුණ්‍ය මහොත්සවය Read Next

උතුරෙ කඨින පුණ්‍ය මහොත්සවය

Realted Post

Leave a comment