මට සමාවෙන්න වචනයක් විතරක්ද?

 

 


සමාවදීම එතරම් පහසු නොවන්නට පුළුවන. යමෙකු ඔබට රිද වූ විට තරහාව හා අමනාපය සිතෙහි දරාගෙන සිටිනවාද නැතිනම් ඔහුට හෝ ඇයට සමාව දී ඒ බරින් නිදහස් වෙනවාද යන්න තෝරා ගැනීම ඔබ සතුය.


 

‘සමාව දීම’ අපි හැමෝටම අලුත් වචනයක් නොවේ. ඔබ ජීවිතයේ ඒක් වතාවක් හෝ ඔබට අයහපතක්  සිදු කරනු ලැබූ අයෙකු වෙත සමාව දී තිබෙන්නට පුළුවන. බුද්ධ ධර්මයට අනුව ‘සමාවදීම’ පුද්ගලයෙකුගේ මනස තුළ ඇතිවෙන පීඩාකාරී සිතුවිලි නිසා හටගන්නා මානසික ජීඩනය නැතිකර ගැනීමේ ක්‍රමයකි. 

 


‘සමාවෙන්න’ වචනය කොයිතරම් වටිනවද?  

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල

සමාව දීම යනු ‘සමාවෙන්න’ යනුවෙන් කීම පමණක්ම නොවේ. එය ඊට වඩා සක්‍රීය ක්‍රියාවලියකි. ඔබ සමාව දෙනු ලබන තැනැත්තා ඊට සුදුසු වුවත් නැතත් ඒ නිසා ඇති වූ සෘණාත්මක හැඟීම් නැති කර ගැනීමට හොඳ කල්පනාවෙන් යුතුව ඔබ ගනු ලබන තීරණයක් වේ. තරහා, අමනාප හා සතුරුකම් ඔබේ සිතින්ද මුදා හරින බැවින් ඔබට වරදක් කළ පුද්ගලයා පිළිබඳව ඔබේ සිතෙහි අනුකම්පාවක් සහ දයාවක් ඇති වේ.
මේ සම්බන්ධව කරන ලද පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ සමහර පුද්ගලයින් ස්වභාවයෙන්ම සමාව දීමට නැඹුරු වන බවයි. එසේ වුවත් ඕනෑම කෙනෙකුට මෙම ගුණාංගය පුහුණු කළ හැකිය.


සමාව දීම යනු එකවිට සිදුවන දෙයක් නොව, ක්‍රියාවලියකි. එහිදි මුලින් ඔබට සෘණාත්මක හැඟීම් දැනෙයි. ඉන් අනතුරුව ඒ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩක් ලබා දෙයි. ඉන්පසු එම හැඟීම්වලට සිතින් ඉවත්වීමට ඉඩ දී ඒ වෙනුවට අනුකම්පාව, දයාව වැනි හැඟීම් සිතට ඇතුළු කර ගනී. එහිදී එම සිදුවීම නිසා ඔබේ සිතෙහි ඇති වූ සෘණාත්මකභාවය නිදහස් කිරීමට ඔබට අවස්ථාව සැලසේ. සමහර විට මේ සඳහා යම් කාලයක්ද ගත විය හැකිය. එසේ නමුත් සමාව දීම යනු, කෙනෙකුගේ ක්‍රියාවක් අනුමත කිරීමක්, නිදහසට කරුණක්බව සිතීමක් හෝ නොසලකා හැරීමක් නොවේ. ඒවාගේම තමන්ට වරදක් කළ කෙනෙකුට සමාව දීම දුර්වලබවේ ලක්ෂණයක් ද නොවේ.

 


සමාව දිය යුත්තේ ඇයි?
අපි සියලු දෙනාටම පාහේ ජීවිතයේ එක් වරක් හෝ කිසිවෙකුගෙන් වරදක් සිදු වී ඇති බවට සැකයක් නැත. එම තැනැත්තා ඔබේ රැකියා ස්ථානයේ කෙනෙකු, යහළුවෙකු හෝ පවුලේ සාමාජිකයෙකු විය හැකිය. ඒ නිසා එවිට ඇතිවෙන හැඟීම අපට නුහුරු දෙයක් නොවේ.


සමාවදීම එතරම් පහසු නොවන්නට පුළුවනි. යමෙකු ඔබට රිද වූ විට තරහාව හා අමනාපය සිතෙහි දරාගෙන සිටිනවාද නැතිනම් ඔහුට හෝ ඇයට සමාව දී ඒ බරින් නිදහස් වෙනවාද යන්න තෝරා ගැනීම ඔබ සතුය. 


ඔබගේ ඒ තෝරා ගැනීම සෘජුවම ඔබේ මානසික හා කායික සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි. ඔබ සමාව දේ නම් ඔබට මානසික ආතතිය, නොසන්සුන්බව අඩුවෙන් දැනෙන අතර ආතති හෝමෝන මගින් සිරුර තුළ සිදුවෙන වෙනස්කම් අවම කර බෝ නොවන රෝගවලට ඇති අවදානමද අඩු කරයි. ඒවාගේම යහපත් හා ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමට හා සතුටින් ජීවිතය ගත කිරීමට ඉඩ සලසයි.

 


සමාව දීමෙන් ඔබට ලැබෙන යහපත
* ඔබගේ මානසික ආතතිය කළමනකරණයට උදව් වේ.
* ඔබගේ කායික සෞඛ්‍යය යහපත්වීමට, විශේෂයෙන්ම හදවතේ, රුධිරවාහිනී පද්ධතියේ ඇතිවෙන රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගැනීමට උදව් වේ.
* තරහාව සිතින් ඉවත් වන නිසා නැවත නැවත සිහි කරමින් මානසික පීඩනයට පත් වීම වළක්වයි.

 


සමාව දෙන්න පුරුදු වෙන්නේ කොහොමද?
එදිනෙදා ජීවිතයේ සිදුවෙන සුළු සුළු වැරැදිවලට එම මොහොතේදීම සමාව දෙන්න. එවිට ඔබට සෘණාත්මක ප්‍රතිචාර දැක්වීම වළක්වා ගත හැකි වන අතර ඔබ තුළ අයහපත් හැඟීම් ඇතිවීම අවම කර ගත හැකි වෙයි.
ඒවාගේම තමන්ටම සමාව දෙන්න. යම් සිත් රිදවීමක් සිදු වූ විට අප අපටම වරද පටවා ගන්නා අවස්ථාද ඇත. ඒ නිසා සමාවදීම ආරම්භ කළ යුත්තේද ඔබ තුළින්මය. එවිට ඔබ තුළින්ම අවසන් කළ හැකිය. එහි මූලිකම ප්‍රයෝජනය ලැබෙනුයේ ඔබටය. 

 


සමාව දීමේ පියවර
* එම සිදුවීම, එහිදී ඇතිවූ හැඟීම්, තමා ප්‍රතිචාර දැක් වූ ආකාරය ගැන නැවත සිතා බලන්න.
* ඔබට වරද කළ පුද්ගලයාට අනුකම්පාව දක්වන්න. 
* සමාවදීම ගැඹුරින්ම සිදු කරන්න. කිසිදු පුද්ගලයෙකු සම්පූර්ණ නැති බව, ඕනෑම කෙනෙකු අතින් වරදක් සිදු විය හැකි බව අවබෝධ කරගෙන සමාව දෙන්න. එයින් නැවත නැවත එම සිදුවීම මතකයට ඒම අඩු කර ගත හැකිය. නැත්නම් මතකයට එන සෑම විටකම නැවත සමාව දීමට ඔබට හැකියාවක් තිබිය යුතුයි.
* ඔබ සමාව දෙන තැනැත්තා කවදාකවත් ඔබෙන් සමාව ගත යුතු යැයි නොසිතයි. ඒ ගැන ඔබ වැටහීමකින් සිටිනවා නම් එයින් ඔබ කලකිරීමට පත් නොවනු ඇති.
* ඔබට එම පුද්ගලයාට සෘජුවම සමාව ප්‍රකාශ කළ නොහැකි නම් සමාවදීම පිළිබඳව විශ්වසනීය කෙනෙකු සමග කතා කරන්න. 
ඔබේ අතින් යම් වරදක් සිදු වූ විට එයට ඔබට සමාව ලැබුණු අවස්ථා සිහි කරන්න. එවිට ඔබට දැනුණු සහනය සැනසීම කෙතරම්ද යන්න මතක් කරන්න.
එසේ ආවර්ජනය කිරීමෙන් ඔබට මෙම පරාර්ථකාමී තිළිණය තවත් කෙනෙකුට බෙදා දීමට පහසුවනු ඇති.

 

සුබෝධිනී පෙරේරා


 

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment