මෙදා නත්තලේ අපි තනියම - නලින් පෙරේරාගේ නත්තලට සූදානම

පසුගිය දවසක  30 වැනි විවාහ සංවත්සරය  සැමරූ  ඔහු  දශක ගණනාවක  සිට  සංගීත ක්ෂේත්‍රයේ  ඉහළින්ම  රැඳී සිටින දක්ෂ ප්‍රවීණ  ගායන සහ වාදන ශිල්පියෙකි. සංගීත අධ්‍යක්ෂකවරයෙකු, සංගීත කණ්ඩායම් නායකයකු ලෙසද නමක් දිනා සිටින  ඔහු  නලින් පෙරේරා. මේ වන විට ඔහු ට තවත් අලුත් තනතුරක් ලැබී තිබෙනවා. ඒ තනතුර ඔහුට ගෙනැත් දීපු අලුත් අමුත්තා ගැන අහන්නත් එක්කම අපි  ඔහුගේ කැදැල්ලට ගොඩ වැදුණා.

  • කොහොමද මේ දවස්වල  ජීවිතේ? 

මේ දවස්වල  ගොඩක් සතුටින් කාලය ගතකරනවා. පවුලට අලුත් සාමාජිකාවක් එකතු වුණා. ඒ අපේ මිණිපිරිය. ඔවුන් අපිත් සමග නැහැ. ඔවුන් පිටරට ජීවත් වුණත් හැමදාම උදෑසන  වීඩියෝ කෝල් එකකින්  දරුවාගෙ මුහුණ බලලා  වැඩ පටන් ගන්නෙ. ඇයව දැක්කට පසුව හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා.  මටයි බිරිඳටයි මෙය අලුත් අත්දැකීමක්. 

  • ඔබට ලැබුණු  අලුත්  නෑකම ගැන දැනෙන හැඟීම?

දැන් මම සීයා කෙනෙක්. මේ උසස්වීම ලැබුණට පසුවයි දැනුණේ  මොනතරම් උතුම් පදවියක්ද මට ලැබුණේ කියලා.  මේ හැම දෙයක් තුළම තිබෙන්නේ අපේ වගකීම්  ඉෂ්ට කිරීමයි. ආදරේ දීලා ඉවර කරන්න බැරි දෙයක්. එහි සතුට තිබෙනවා. ආදරය වැඩියෙන් දෙන්න දෙන්න  එයින් ලැබෙන ප්‍රතිඵලය  මානසික සුවය මිල කළ නොහැකියි.  මම දුවට ගොඩක් සමීපකෙනෙක්. දුවට ඉන්නෙත් දුවෙක්.  මමයි බිරිඳයි  ආසාවෙන් හිටියේ  මිනිබිරියකට. ඉතිං අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා.  ආච්චියි  සීයයි   විදියට අද අපි ගොඩක් සතුටින්. සීයගෙ භූමිකාව  හරිම රසවත්. සංගීත ක්ෂේත්‍රයෙන් ඉක්මනින්ම  විශ්‍රාම ගන්න වෙයි කියා සිතෙනවා.  මොකද මගේ මිනිබිරියව  මට ගොඩක් මගහැරෙනවා. කාර්යබහුලත්වයත් සමග මගේ දරුවන්ගේ කුඩා කාලය මට මගහැරුණා. ඒ නිසා  මගේ මිනිබිරියගෙ දේවල් මගහැරෙන්න දෙන්නේ නැහැ. එය මගේ මානසිකත්වයටත් හොඳයි. ඇයගේ මානසිකත්වයටත් හොඳයි. 

  • දරුවන්ගෙන් වෙන් වෙලා ගෙවන ජීවිතය කොහොමද දැනෙන්නෙ? 

මෙදා සැරේ නත්තලට  අපි දෙන්නා තනියම. මේ තරම් පාළුවක් කවදාවත් දැනිලා නැහැ. පසුගිය වසරවල නත්තලට දෙසැම්බර් මාසයේ  ආරම්භයේ සිටම සූදානම් වෙනවා.  මේ වසරේ තවම කිසිම සූදානමක් නැහැ. නත්තල කියන්නෙ පවුලේ හැමෝම එකට එකතු වී සමරන උත්සවයක්.  මෙදා සැරේ  දරුවන් අපි ළඟ නැහැ. දරුවන්ටත් ඒ හා සමානව දැනෙනවා ඇති.  නමුත් මගේ කාර්යබහුලත්වයත් සමග ඒ දේවල් මග හැරෙනවා.  

  • බිරිඳගෙන්  ලැබෙන සහයෝගය කොහොමද?

අති විශිෂ්ටයි. මගේ බිරිඳ  මගේ ජීවිතයේ  කොඳු නාරටිය. මම මහන්සියෙන් වැඩ කරලා හොයන මුදල් නිසියාකාරව කළමනාකරණය කරන්නේ ඇය. අවශ්‍ය දේ අවශ්‍ය පමණට වියදම් කරන්න ඇයට අවබෝධයක් තිබෙනවා. ඒ වගේම සංගීත වැඩකටයුතුවලටත්  ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම අපි එකතුවෙලා වැඩ කරනවා නම්  ඕනෑම දෙයක් සාර්ථක කරගන්න පුළුවන්.  මගේ සෑම දෙයක් ගැනම ඇය සොයා බලනවා.  අඳින පලඳින එකේ සිට කතා කරන වචනයක්  ගැන පවා ඇය සැලකිලිමත් වෙනවා.  ඇගේ සහයෝගය මට ගොඩාක් වටිනවා. මම ගොඩක් වාසනාවන්තයි . ඇය මගේ ජීවිතයට ආශිර්වාදයක්. 

  • බිරිඳ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?

ඇය ගොඩක් අවංකයි. කෙළින් කතා කරන කෙනෙක්. විවෘතව ඉන්න කෙනෙක්. මගේ වැරැද්දක් දැක්කත් එය පෙන්වා දෙනවා.  මම කරන කියන හැම දෙයක්ම කරනතුරු බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.  ඒ වගේම ඇය කවදාවත් ඇය වෙනුවෙන් දෙයක් කළේ නැහැ. දරුවන් සහ මම වෙනුවෙන් පමණයි දේවල් කරන්නේ.  අපි බල කරලම දෙයක් කිව්වොත් විතරයි එයාට දේවල් කරගන්නේ. මම මගේ බිරිඳට ගොඩක්  ගරු කරනවා.

  • විවාහ ජීවිතයක්  රඳා පවත්වා ගන්න මොනවද කරන්න ඕනෑ?

විවාහ ජීවිතයක අවංක භාවය සහ ඉවසීම තිබිය යුතුයි. ඒ වගේම  අපෙන් වරදක්  වුණා නම්  සමාව ඉල්ලීමට තරම් නිහතමානී වෙන්න ඕනෑ.  ඒ වගේම  දෙදෙනා අතරේ  යම්කිසි ගැටලුවක් මතුවුවහොත්  ඒ දේවල් සාකච්ඡා කරලා විසඳගන්න පුරුදු වෙන්න. කවදාවත්  වැරදි මත හිතේ තියාගෙන  කතා නොකර ඉන්න එපා. එහෙම කරන්න යෑමෙන් විනාශකාරී දේවල් සිදුවෙන්න පුළුවන්.  තමන්ට ලැබෙන හැම අවස්ථාවකම  දෙදෙනා එකතු වී කතා කරන්න. දිනෙන් දින අපිට කතා බහ කරන්න දේවල් එකතුවෙනවා.  නොගැළපීම අඩුපාඩුකම් තිබුණත්    ජීවිතය අලුත් වෙවී ඉස්සරහට යනවනම් අපේ ජීවිත වලට  නැවුම් බවක් එක්වෙනවා. මරණය දක්වාම හැඟීම් වෙනස් වෙනවා  රටාව වෙනස් වෙනවා  සිතුම් පැතුම් වෙනස් වෙනවා.  එම නිසා පුළුවන් හැම වෙලාවකම කතාබහ කරන්න.  දිනෙන් දින මතුවෙන පුංචි ගැටලු විසඳාගෙන  ඉදිරියට යනවා නම්  හෙට දින ජීවිතය නැවුම්.  අවුරුදු තිහක  මගේ විවාහ ජීවිතේ සාරාංශය ඒක තමයි. විවාහයේ  සාර්ථක ඵල නෙළාගන්න පුළුවන් අවංක භාවයෙන්.

  • කාන්තාව ගැන  ඔබට තියෙන්නෙ මොන වගේ අදහසක්ද? 

අපේ වගේ රටවල කාන්තාවෝ ගොඩක් සංවේදීයි.  කාන්තාවකට  සමාජයේ ලොකු ගෞරවයක් හිමි වෙලා තිබෙනවා. අද වන විට සමහර කාන්තාවෝ එය අහිමි කරගෙන තිබෙනවා.  එයට හේතුව තමන් කවුද මොනවද කළ යුත්තේ යන්න අවබෝධකර නොගැනීමයි. තමුන් ලෝකයට පෙන්වන්න යන්නේ  කෘත්‍රිම විදිහට.  කාන්තාව සෑම විටම  පිරිමියාට තමන්ට ගෞරව කරන්න හිතෙන විදියට තමන්ගේ ජීවිතය ගත කළ යුතුයි. තමන්ගේ පුරුෂයාව  ඇඳ බැඳගැනීම  කාන්තාව සතු  වගකීමක්. සෑම විටම අවංකව විනීතව  භක්තිවන්තව  පිරිසිදුව පිළිවෙළට  හොඳින් ජීවිතය ගත කළ යුතුයි . එවිට කාන්තාවකට  කෘත්‍රිම අලංකාර අවශ්‍ය වන්නේ නැහැ. මම කාන්තාව දකින්නේ ඒ විදිහට. මගේ ඉදිරියට පැමිණෙන සෑම කාන්තාවකටම  මම ගෞරව කරනවා. ආදරය කරනවා. පිරිමියාගේ හිතේ කාන්තාවට  එවැනි තැනක්  හැම වෙලාවෙම තිබෙනවා. එය රැක ගැනීම  කාන්තාව සතු වගකීමක්. මේ වනතෙක් කාන්තාවක් ලෙස කරපු කියපු දේවල්වල අඩුපාඩු තිබෙන්න ඇති. හෙට දවසේ ඒ දේවල් අතහැරලා  ඔබ අලුත් වෙන්න. එය ඔබේ ජීවිතයට ගෞරවයක්. සෑම මනුෂ්‍යයෙක්ම ගොඩක් හොඳයි. නරකම අය වුණත් හොඳයි. එයාලට හොඳවෙන්න අමතක වෙලා. ඒ ගැන අවබෝධ කරගන්න.

  • ඉදිරි වැඩ කටයුතු මොනවාද?

ලබන වසර අපේ සංගීත කණ්ඩායමට ගොඩක් කාර්යබහුලයි. මුල් මාස කිහිපයම විදේශ සංචාර සඳහා යොදාගෙන තිබෙනවා . ඒ වගේම  ලබන වසරේ  අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සංගීත දිවියට  වසර 36 ක් වන නිසා අලුත් සැලසුම් තිබෙනවා.  කාර්යබහුලත්වයත් සමග මේ දේවල් කරගන්න කාලය කළමනාකරණය කරගන්න අපහසුයි. නමුත්  අලුත් සැලසුම්  ක්‍රියාත්මක කරන්න ඕනෑ.

  • නව වසරේ ප්‍රාර්ථනාව කුමක්ද?

අපි ජීවත් වෙන්නේ ඇයි කියන එක අවබෝධ කරගත යුතුයි. අපේ හදවතට සතුටක් දැනෙන දේවල් කරන්න ඕනෑ.  ඒ වගේම අපි ගැන විතරක් හිතලා  කටයුතු කරන්න හොඳ නැහැ. අද මම යම්කිසි තත්ත්වයක ඉන්නවා නම් ඒ මගේ මහන්සියෙන් උපයාගත දේවල් නිසා. එහි නියම සතුට භුක්ති විඳින්න නම් අපට පුළුවන් ආකාරයට  අන් අයට උදව් උපකාර කළ යුතුයි. ඉතින් එවැනි යහපත් ක්‍රියා කරමින්  දරුවන් සමග  සතුටින් ජීවිතය ගත කරන්න ලැබීම තරම්  තවත් ප්‍රාර්ථනාවක් නැහැ. ඒ වගේම  ජීවිතය සරලව ගත කරන්න ලැබෙන්න ඕනෑ.

Pic By - Rushiru Colambathanthrige

Location -  cinnamon grand colombo

 

Christmas day  - සාදයට Read Previous

Christmas day - සාදයට

නත්තල් සාදයට Read Next

නත්තල් සාදයට

Realted Post

Leave a comment