මල්වර මංගල්‍යය කාලෙ තාලෙට වෙනස් කරගන්න
කාන්තාවකගේ ජීවිතේ එක් එක් වයස් මට්ටම්වලදී ඇයට ජීවිතේ විවිධ අවස්ථාවලට මුහුණ දීමට සිදුවෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ ගැහැනියකට තමන්ගේ ජීවිත කාලේ නැවත ඉපදීම් තුනක් තිබෙනවා කියලයි. මෙලොවට බිහිවීම, මල්වරවීම සහ මවක්වීම ඇගේ ජීවිතයේ නැවත ඉපදීම් ලෙස සඳහන් වෙනවා. එහෙම වෙන්නේ ශාරිරිකව වගේම සමාජීය වශයෙන් එම අවස්ථාවලදී විවිධ වෙනස්වීම්වලට අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවෙන නිසාවෙන්නත් පු`ඵවනි. ඒ කොහොම වුනත් අපේ රටට ආවේණික සිරිත් විරිත් සහ චාරිත්‍ර අනුව සමහර අවස්ථාවලදී අදාළ කටයුතු සිදු කෙරෙනවා. ඒ අතරින් ගැහැනු ළමයෙක් මල්වරවීම හෙවත් වැඩිවිය පැමිණීම ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකෙනවා. එහෙත් අද වන විට පවතින සමාජ තත්ත්ව සමග පළාත්වලින් පළාත්වලට මේ චාරිත්‍ර විධි වෙනස් වී තිබෙනවා වගේම නගරබද ජීවත්වන ඇතැම් අයට එම චාරිත්‍ර සියල්ල ඉටුකිරීමට හැකියාවක් නොමැති අවස්ථාද නැතුවම නොවයි. ඒ නිසාම මේ ඇතැම් චාරිත්‍රවල ඇති ප්‍රයෝගිකබව සහ අවස්ථාවට අනුව ඒවා නිවැරදිව කරන්නේ කෙසේදැයි දැනගැනීම ඔබට වැදගත් වේවි.
කිලි කියන්නේ මොනවද?
ජ්‍යෝතිෂ විග්‍රහයට අනුව කිලි අවස්ථා තුනත් තිබේ. එනම් ජන්ම කිල්ල, මඟුල් කිල්ල සහ ඉලව් කිල්ලයි. මෙහිදී මඟුල් කිල්ල ලෙස සලකන්නේ මෙම වැඩිවිය පැමිණීමේ අවස්ථාවයි. ඉලව් කිල්ල ලෙස සැලකෙන්නේ මරණයට පත් වූ අවස්ථාවටයි. මේ සෑම අවස්ථාවක්ම කිලි අවස්ථාවක් ලෙස පැරන්නෝ සඳහන් කර තිබේ. මොකද්ද මේ කිලි යනු අතිශයින් විෂබීජ සහිත අවස්ථාවකටයි. පැරණි මතය අනුව මේ අවස්ථා තුනේදීම අධික විෂබීජ ප්‍රමාණයක් පරිසරයට බැහැර වේ. එම නිසා ඒ අවස්ථාවල එම තත්ත්ව මඟහරවා ගැනීම සඳහා විවිධ දෑ සිදුකර තිබේ.
වැඩිවිය පැමිණීම සමරන්න ඕනෑද?
අතීතයේදී ගැහැනු ළමයෙක් වැඩිවිය පැමිණීම විවිධ චාරිත්‍ර වාරිත්‍ර කරමින් මංගල්‍යයක් ලෙස පවත්වා තිබේ. එයට හේතුව ඇය මවක් වීමට සුදුසු තැනැත්තියක් වීමයි. ඒ වගේම දරුවකු ලැබීම සශ්‍රීක කරුණක් නිසා එම ශාරිරික වෙනස්වීම සතුටට හේතුවක් විය. ඒ වටා විවිධ චාරිත්‍ර විධි නිර්මාණය වී තිබුනත් අද වන විට තිබෙන සමාජ පරිසරය සමග ඒවා වෙනස් වී තිබේ. දරුවා වෙනුවෙන් ඉටුවෙන යුතුකම් හැරුණාම මෙම ශාරිරික වෙනස්වීම මත්පැන් සාද, හිත මිතුරු සාද දමා සැමරිය යුතු අවස්ථාවක් නොවන බව අප ප්‍රායෝග ිකව තේරුම්ගත යුතුය. එක් අතකින් එය දරුවාගේ ජීවිතයටද යහපත් වන්නේ නැත.
දිය නාවන්නෙ කවුද?
පැරණි ගම්වල රෙදි නැද්දා ලෙස රෙදිපිළි සේදීමට වෙනම කාන්තාවක් සිටියත් අද සමාජයේ එවැනි තැනැත්තන් නැත. එම නිසා හුඟක් වෙලාවට වැඩිවිය පැමිණි ගැහැනු ළමයෙකු නෑවීමට තමන්ගේ ළඟම ඥාතී කෙනකුට, වැඩිහිටියෙකු ඒ සඳහා ගෙන්වා ගැනේ. එයින් බලාපොරොත්තු වන්නේ වෙන කිසිවක් නොව වෛරය, ක්‍රෝධය නොමැති අවංකව ආශීර්වාද කරන්නට හැකි තැනැත්තියක් ලවා ස්නානයේදී ආශිර්වාද කරවීමයි. ඊට සුදුසුම පුද්ගලයා වන්නේ එම ගැහැනු දරුවාගේ මවයි. දරුවකුට හදවතින්ම ආශිර්වාද කරන, සතුටුවන, එක තප්පරයකටවත් අහිතක් නොහිතන එකම පුද්ගලයා තමන්නේ මව නිසා නෑවීම සඳහා සුදුසුම වන්නේ තමන්ගේ මවයි. එම සංකල්පය නාගරිකව ජීවත්වන අයෙකුට වුවද වඩාත් පහසුවක් වේ.
හැම චාරිත්‍රයක්ම කරන්න ඕනැද?
අපේ ගැමි මුතුන් මිත්තන් දියණියක් වැඩිවිය පැමිණීමේ මංගල්‍යයේදී විවිධ චාරිත වාරිත්‍ර සිදුකර තිබේ. ඒ වගේම ඒවායේ යම්කිසි ගැඹුරු හරයක්ද තිබී ඇත. ඒ අතරින් කිරි ගසක අත්තක් කපා බැලීම විවිධ ප්‍රදේශවල කරන සශ්‍රීක චාරිත්‍රයකි. එහෙත් අදවන විට බොහෝ නාගරික ස්ථානවල මේ චාරිත්‍රය කිරීමට අපහසුතා තිබේ. ඒ නිසා කිරිගස් නොමැති සමහර පිරිස් කිරි තිබෙන ගසක අත්තක් කපාගෙන ඇවිත් නාන කාමරයේ හෝ වෙනත් නාන ස්ථානයක තබා මේ චාරිත්‍රය කරයි. එය කිසිසේත්ම ප්‍රයෝගික නොවේ. ගසක් යනු ප්‍රාණය තිබෙන දෙයකි. එවැනි ගසක අත්තක් කපනවා කියන්නේ එම ගසට සිදුකරන අපරාධයකි. එම නිසා එවැනි නූගත් ක්‍රියා සිදුකරනවාට වඩා හැකි නම් පමණක් එම චාරිත්‍රය සිදු කළ යුතු වේ. එය නොකළා කියා යම් වරදක් සිදුවන්නේද නැත.
නාවන්න බෙහෙත් වතුර මුට්ටියක්
වැඩිවිය පැමිණීමෙන් පසු සිරුරේ සිදුවන වෙනස්වීම් නිසා ඇතැම් විට කුරුලෑ ආසාදන, සමේ වෙනස්වීම් ඇතිවිය හැකිය. මේ නිසා සිරුරට හිතකර ඔසු යොදාගෙන ස්නානය කිරීමද වැදගත් චාරිත්‍ර අවස්ථාවකි. එම ඔසුපැන් කලය හඳුන්වනු ලබන්නේ සර්වඖෂධීය කළය ලෙසය. මේ සඳහා යොදාගනු ලබන ඔසු වන්නේ අමුකහ, වෙනිවැල්, මුරුංගා ගසේ සෙවෙල්, රත්හඳුන්, වදකහ, සපුමල් සහ කලාදුරු යන ඔසුයි. මේවා බහා පිළියෙල කරගත් පිරිසුදු ජලයෙන් ස්ථානය කරවීමෙන් ගැහැනු ළමයෙකු සෞභාග්‍යට පැමිණෙන බව අපේ පැරණි පොත පතේ සඳහන් වේ. ඒ අනුව මල්වරවීමකදී තමන්ට කිරීමට හැකි චාරිත්‍ර පමණක් කිරීමෙන් අයහපතක් සිදුවන්නේ නැත.
සටහන: නයනා උදයංගනී
Leave a comment