රඟපෑමේ හතරකොන දැනගන්න වේදිකාවට නගින්නම ඕනෑ - රංගන ශිල්පී තිලාන් වර්ණජිත්

ඔහු මේ දිනවල පුංචි තිරයේ මෙන්ම වේදිකාවේද ජනප්‍රියත්වයට පත්වී සිටින චරිතයක් කිව්වොත් නිවැරදියි. පසුගිය කාලයේ දිගහැරුණු අග්නි පියාපත්, පාර වසා ඇත යන ටෙලි නිර්මාණවලින් වගේම මේ දිනවල ඉතාම ජනප්‍රිය නාට්‍ය නිර්මාණයත් වූ වියළි සහ සල්ලි පොකුරු නාට්‍යවලත් ‘පිස්සු නැත්තන් ෂෝක් ’යැයි කියන නිලවීර නම් අපූරු චරිතයෙන් ආලින්දයට ගොඩවදින ඔහු තිලාන් වර්ණජිත්ය. අද සිරිකත කතාබහ මේ දක්ෂ කලාකරුවා සමගයි.

  •  මේ දවස්වල සෑහෙන්න කාර්යබහුලයි නේද?

වේදිකා නාට්‍ය කිහිපයකම රඟපානවා.  හරිම බඩු තුනක්, ගරු කතානායක තුමනි, තාරාවෝ ඉගිළෙති, මේ නාට්‍ය  තුනම වේදිකාගත වෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් සල්ලි පොකුරු, වියළි කියන නාට්‍ය දෙකේ රූගත කිරීම් සිදුවෙනවා. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ දෙකක් පටන් අරන් තියෙනවා. ඒ නිර්මාණවලිනුත් ඉස්සරහට දකින්න ලැබෙයි.

  • මොකද්ද මේ රීදී තිරයෙන් බලාපොරොත්තු වෙන්න කියන hello?

හෙලෝ කියන්නේ  චාලක රණසූරිය විසින් ලියන කෙටි වේදිකා නාට්‍යයක්. පස්සේ ඒක ඔහුම ෆිල්ම් එකකට ලියනවා. ඒක විශේෂ නිර්මාණයක් වෙනවා. ලෝකයේ බොහෝ ජනප්‍රිය ෆිල්ම් කැටගරි එකක් තමයි වන්ටේක් ෆිල්ම් කියන්නේ. ලංකාවට ඒක ආධුනිකයි. ඉතින් මේක එවැනි නිර්මාණයක්. මම හිතන්නෙ මේ තමයි ලංකාවේ පළවෙනි වන්ටේක් ෆිල්ම් එක. ඒ කියන්නේ මේකේ කොහෙන්වත් කට් වෙන්නේ නැහැ. පැයයි විනාඩි දහයක් විතර එකම කැමරා ෂොට් එකක තමයි දුවන්නෙ.

  • ඔබ මේ දිනවල ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියයි නේද?

ඔව්,  සල්ලි පොකුරු නාට්‍යයේ නිලවීරගේ චරිතය නිසා. නිලවීර කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න, මිනිසුන්ගේ වටිනාකම් හඳුනන්නේ නැති චරිතයක්. නමුත් ප්‍රේක්ෂකයින් කැමති නැහැ නිලවීර කියන චරිතයට.  මඟදි හමුවුණාම සමහරු අහනවා වාහනයක් හොයලා දෙන්න බැරිද කියලා.

  • තිලාන් කොහොමද නිලවීර කියන චරිතය සාර්ථක කරගන්නෙ?

නිලවීර කියන චරිතය මම නිර්මාණය කරගන්න චරිත කිහිපයක්ම එකතු කරගත්තා. මගේම චූටි මාමගේ  චරිතයේ සමහර ගති පැවතුම් මම මේ චරිතයට එකතුකරගෙන තියෙනවා.  ඒ වගේම අපේ ගමේ ඉන්නවා නිශාන්ත කියලා අයියා කෙනෙක්. එයා හරිම විනෝදකාමී චරිතයක්. ඒ චරිතයෙන් ටිකකතුත් නිලවීර ඇතුළෙ තියෙනවා. ‘පිස්සු නැත්තන් ෂෝක්’ කියන කෑල්ල මම ගන්නේ මගේ අම්මගෙන්. ඇය දැන් ජීවතුන් අතර නැහැ. ඒ වචනේ ඇයට නිතරම කියවුණ වචනයක්.
වර්තමානයේ හුඟක් වෙලාවට නිර්මාණයකට නළු නිළියන් තෝරගැනීමේදී දක්ෂතාවට වඩා ඔවුන්ට සෝෂල් මීඩියාවල ඉන්න ෆෑන් බේස් එක බලනවා කියලා හුඟක් දෙනෙක් කියනවා, මේ කතාව ඇත්තද?
නළුවෙක් වෙන්න වගේම නළුවෙක් විදියට පවතින්න නම් අනිවාර්යයෙන්ම ඔහු හෝ ඇය විෂය ඇතුළෙ දක්ෂයෙක් වෙන්න ඕනෑ. ඒ හැකියාව තියෙන්න ඕනෑ. ඒ වගේම මාර්කටින් කියන කොටසත් වැදගත්. මේ දෙකම සමබරව ගෙනියන්න පුළුවන් නම් තමයි මේ ක්ෂේත්‍රය ඇතුළෙ කෙනෙක් සාර්ථක වෙන්නේ කියලයි මම හිතන්නේ.

  • පවුලේ විස්තර මොනවාද?

මම විවාහකයි. මගේ බිරිඳ ශෂිනි මාලතී. අපිට ඉන්නවා පුංචි දුවෙක්. එයා සෙන්යා නිම්සරා.  ශෂිනි තමයි මේ නාට්‍ය කලාවේ මාවරඟවලා  තියන්න උත්සහ ගන්නෙ.  එයාගෙන් හම්බවෙන සහයෝගය නැත්නම් අද තිරාන් වර්ණජිත් කියලා නළුවෙක් නැහැ.  කාර්යබහුලත්වයත් එක්ක ගෙදර යැවෙන ප්‍රමාණයත් අඩුතරම්. මට කලා ජීවිතේ මේ ගමන එන්න නිදහස හම්බවෙලා තියෙන්නෙ ඇය නිසයි.

  •  ඔබේ පුහුණුව වෙනුවෙන් ඔබ මොකද කරන්නේ?

හොඳම පුහුණු පාසල තමයි වේදිකාව. වේදිකාවෙදී තමයි අපි රංගනයේ හුඟක් දේවල් ඉගෙන ගන්නෙ. අද වෙනකොට හුඟක් රූපවාහිනී චැනල්වල ටික්ටොක් නළු නිළියො වැහි වැහැලා.  ඒ අය අහසින් පාත්වෙනවා වගේ එකපාරටම ඇවිත් නැතිවෙලා යනවා. නමුත් වේදිකාවත් සමග පරිපූර්ණ වුණු කලාකරුවෙක්  විසිවෙලා යන්නෙ නැහැ. එයාලා දන්නවා මේකේ හතර කොණ මොකද්ද කියලා. ඉතිත් එහෙම කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මමත් ටෙලි නාට්‍ය නිර්මාණ සමග මොනතරම් කාර්යබහුල වුණත් වේදිකාව අතහරින්නේ නැහැ.

Doctor යි - ඔබයි Read Previous

Doctor යි - ඔබයි

පබ්ලික් ටොයිලට් එකක් උනත් නිවරදිව භාවිතා කරන්න Read Next

පබ්ලික් ටොයිලට් එකක් උනත් නිවරදිව භාවිතා කරන්න

Realted Post

Leave a comment