රජගෙදරටත් සේසත් සදන උණවේරුව සේසත් ගම්මානය
මාතලේ කියන්නේ සොබාදහමේ අපූර්වත්වය මැනවින් විඳගැනීමට හැකි ප්‍රදේශයක්. දේශීය විදේශීය සංචාරකයින් දැඩි කැමැත්තක් දක්වන සංචාරක ප්‍රදේශයක් ලෙසත් මාතලේ ප්‍රසිද්ධයි. වසර 1887 දී ඒ.සී. ලෝරි විසින් කළ සමීක්ෂණයකදී මාතලේ අවට විවිධ පාරම්පරික කලා ශිල්ප කරගෙන යන ගම්මාන 36 ක් තිබෙනබව හෙළි වී තිබේ.
එවන් අභිමානයක් සතු මධ්‍යම පළාතට ගෞරවයක් ලබා දීමට යන්තම් හෝ අද ඉතිරිව ඇති කලා ශිල්ප කිහිපය අතරින් සේසත් කර්මාන්තය විශේෂ තැනක් ගනී. අපි මෙවර යන්නේ ලෝකයේ එකම සේසත් ගම්මානයට ය.
සේසත් කර්මාන්තය පවත්වාගෙන යන්නේ මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උණවේරුව ගම්මානයේ ය. නගරයේ සිට කිලෝමීටර් 16 ක් දුරින් උණවේරුව පිහිටා ඇත. ගම්මානයේ පවුල් 80 ක් පමණ ජීවත් වේ. ඔවුන්ගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය වන්නේ සේසත් කර්මාන්තයයි.
ලක්දිවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරද්දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමග සේසතද මෙරටට ගෙනැත් ඇත. ඒ උන්වහන්සේට සෙවණ ලබාදීම පිණිස ය. මෙම සේසත මුලින් හඳුන්වා ඇත්තේ ‘අවි අතු’ නමිනි. එදා සංඝමිත්තා තෙරණිය සමග විවිධ කර්මාන්තවලට අයත් කුල 18 ක පිරිස පැමිණ තිබෙන අතර මේ අතරට බ්‍රාහ්මණ කුලයට අයත් සේසත් වියන්නෙකු ද ඇතුළත්ව ඇත.
උණවේරුවට සේසත් කර්මාන්තය පැමිණීමට පෙර මාතලේ දීවිල්ල හා ගලලියද්ද යන ප්‍රදේශවල මෙම කර්මාන්තය පැවැතී ඇත. මෙම කර්මාන්තයේ නියැළී සිටින පැරණිතම ශිල්පීහු අතරින් එස්.ජී. අනුර මහතා ප්‍රධාන ය.
ඔහු සේසත් කර්මාන්තයට යොමු වූ අයුරු පැවසුවේ මෙලෙසිනි.
සේසත් නිර්මාණය මම ඉගෙන ගත්තේ ලොකුකිරියහ ගුරුන්නාන්සේගෙන්. 1977 අවුරුද්දේ. ගුරුන්නාන්සේ 1968 දී රජයේ සහායෙන් උණවේරුවේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා. එයාගෙන් ඉගෙන ගත් අය අදටත් මේ කර්මාන්තයේ නියැළිලා ඉන්නවා.
සේසත් නිර්මාණය කරන්න අපේ මුළු පවුලම සම්බන්ධයි. අපේ මෑත ජීවන උපාය මාර්ගය වුණේ මේ කර්මාන්තය යි. ඒත් අද නම් මෙයින් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක ඉන්නේ.
සේසත් මුලින් හඳුන්වලා තියෙන්නේ අවි අතු කියලා. මුල් කාලයේ පන්සල්වල පෙරහැරවලට, අවමඟුල් ගෙවල්වලට භාවිතා කළා. විවිධ උත්සවවලටත් යොදා ගත්තා. ඒ වගේ ගෞරව තත්ත්වයක්, ගාම්භීරත්වයක් පෙන්වූවක්, පාරම්පරික ගෙවල්වල එදා තියාගත්තා. අද නම් හැම ගෙදරකම වගේ තියෙනවා. සෞභාග්‍ය උදාවෙනවා කියන විශ්වාසයක් එහි තිබෙනවා.
සේසතක සාම්ප්‍රදායික විෂ්කම්භය අඟල් 28 යි. එය දැන් සමහරුන්ගේ ඉල්ලීම අනුව අඟල් 36ටත් හදනවා. සාම්ප්‍රදායික වර්ණය වුණේ කළු, රතු, සුදු. නමුත් දැන් විවිධ වර්ණ යොදා ගනිමින් නොයෙක් මෝස්තර අනුව සේසත් නිර්මාණය කරනවා. සේසත් නිර්මාණයට තල් අතු, තල් දල්ල නැතිනම් තල් ගොබය තමයි මූලික අමුද්‍රව්‍යය. ඊට අමතරව මිනිරන්, ලාක්ෂා, ලාකඩ අවශ්‍ය යි.
මිනිරන් අපි ලබා ගන්නේ ඇලහැර තලාගෙඩ ප්‍රදේශයෙන්. මොරගහකන්ද ජලාශය නිසා මිනිරන් ලබා ගැනීම ගැටලුවක් වෙලා තියෙන්නේ. විවිධ ආයතනවලට රජයට කිව්වත් අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැ. ඇතැම් අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ගේන්නේ. ඒවායේ මිල 4-5 ගුණයකින් වැඩි වෙලා. ඒ නිසා අලෙවියට ලොකු පහරක් වැදිලා තියෙන්නේ.
බොහෝ තරුණ පිරිස් මේ කර්මාන්තයෙන් ඉවත් වෙලා. සමහරු කුලී වැඩවලට යනවා. මටත් දැන් මේකෙන් ජීවත් වෙන්න බැරි නිසා ගොවිතැන්වලට බැස්සා. රජයෙන් හරි වගකිව යුතු ආයතනයකින් සහායක් නොලැබුණොත් මේ කර්මාන්තය අපෙන් පස්සේ අවසන් වෙන්න පුළුවන්.
අනුර මහතා පවසා සිටියේ ලෝකයේ එකම සේසත් කර්මාන්ත ගම්මානය මියැදෙමින් තිබෙන බවයි. මෙම අගනා කර්මාන්තය ඉදිරියට රැකගැනීම වගකිවයුත්තන්ගේ වගකීමකි.
කෙසේ වුවද අප ඔබට ආරාධනා කරන්නේ ඒ ඉපැරණි මහඟු සම්පතක් නිර්මාණය වෙන අයුරු දෑසින් දැකබලා ගැනීමට උණවේරුව ගම්මානයට සංචාරයේ නියැළෙන ලෙසයි. සේසතක් මිලදීගෙන ඔවුන්ට දිරියක්වීමටද ඔබට එහිදී පුළුවන.
සටහන/ඡායාරූප
ශාන් බන්දු වීරසිංහ
Leave a comment