රටම කතා කරපු උප පොලිස් පරීක්‍ෂක බුද්ධික කුමාරගේ ගේ බිරිඳ සෞම්‍යා සඳමාලි සිරිකතට කතා කරයි



ඔහු කළේ රස්සාවම නෙවෙයි මනුස්සකමටත් එහා ගිය වීර ක්‍රියාවක් 
 

මහත්තයා ගෙදර එන්න කලින් ඔහු කළ වීර ක්‍රියාව ගැන දරුවන් තුන්දෙනාට මම කිව්වා. අපි හැමෝම රූපවාහිනියෙන් දැක්කා මහත්තයාගේ වීර ක්‍රියාව.

පසුගිය දිනෙක ලක්ෂ 223 ක් කොල්ලකා යතුරු පැදියකින් පලායමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු පසුපස හඹාගොස් අල්ලා ඔවුන් දෙදෙනා මෙල්ල කළේ තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ සැරයන් චමිල් බුදධික කුමාර (42313) මහතාය.


එක් කොල්ලකරුවෙක් සැරයන් බුද්ධිකගේ පපුවට ගිනි අවියක් එල්ල කර කොකා ගැස්සුවත් ගිනි අවිය ක්‍රියාත්මක නොවූයේ වාසනාවකට ය.


ඊළඟ වතාවේ කොකා ගැස්සීමට කලින් බුද්ධික ක්‍රියාත්මක වී කොල්ලකරුවන් මෙල්ල කරගත්තේය. පපුවට එල්ල කළ ගිනි අවියට ඔහු මෙල්ල වූයේ හෝ බිය වූයේ නැත. ඔහු තුළ තිබූ නිර්භීතකමට එය කදිම සාක්ෂියකි.
බැරිවෙලාවත් ගිනි අවිය ක්‍රියාත්මක වූවා නම්, ගිනියම් වූ වෙඩි උණ්ඩ සැරයන්වරයාගේ ළය පසාරු කරගෙන යනු නියතය.


එසේ වූයේ නම් මේ කතාව ඛේදවාචකයක්වීමට ඉඩ තිබිණි. 


සැරයන් බුද්ධික කොල්ලකරුවන් මෙල්ල කළේ ඔහුගේ අඹු දරුවන් ගැන මොහොතකට අමතක කර දමා රාජකාරිය දේවකාරියක් ලෙස සිතාය.


මේ අභීත පොලිස් නිලධාරියාගේ දයාබර බිරිඳ සෞම්‍යා සඳමාලි දිසානායක වන්නීය.


සඳමාලිට ඇයගේ ආදරණීය සැමියා දිවි පරදුවට තබා කළ වීර වික්‍රමාන්විතය ගැන බොහෝ දේ කියන්නට ඇත.


මේ ඇය කියන කතාවයි.


“මගේ මහත්තයා මේ සිද්ධිය වෙච්ච දවසේ මට කෝල් එකක් දීලා කිව්වා පොඩි සිද්ධියක් ඇති වුණා ඒත් මට කරදරයක් නැහැ කියලා. බයවෙන්න එපා මම ගෙදර ඇවිත් විස්තරේ කියන්නම් කිව්වා. එහෙම කියන අවස්ථාවේ මට වටෙන් පිටෙන් පිරිසක් ලොකුවට කතාබහ කරනව ඇසුනා. මහත්තයා එහෙම කිව්වට එයාට මොකක්හරි වෙලා කියා මට සිතුනා. එයා රෝහලේ ඉන්නවා කියලා තමයි මට ඒ වෙලාවෙ හිතුණෙ. මම ඇඬුවා. මහත්තයා මට කවදත් බොරු කියන්නේ නැති බව දන්නවා. ඒත් එහෙම හිතලා මට හිත හදාගන්න පුළුවන්කමක් කොහෙත්ම තිබුණෙ නැහැ.


මහත්තයාගේ මල්ලිත් පොලිසි නිලධාරියෙක්. ඔහුට ඇමතුමක් අරගෙන අයියා ගැන සොයා බලන්න කිව්වා. ඔහු කිව්වා කරදරයක් නෑ කියලා. තලාව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකුගෙනුත් ඇහුවා.  ඒ සර් කිව්වෙත් බයවෙන්න එපා කියලයි.  


මහත්තයා රෑවෙලා ගෙදර ආවා. ඔහු සිද්ධිය අකුරක් නෑර අපිත් එක්ක කිව්වා. එක් කොල්ලකරුවෙක් පපුවට ගිනි අවිය තියලා කොකා ගස්සපු කතාව අහලා මගේ මුළු ඇඟම සීතල වුණා. අපි කාටවත් වරදක් කරන අය නෙවෙයි. මහත්තයා අවංකවම රාජකාරිය කරනවා. ඒ හින්දා මහත්තයගේ ජීවිතය බේරුනා.


මහත්තයා ගෙදර එන්න කලින් ඔහු කළ වීර ක්‍රියාව ගැන දරුවන් තුන්දෙනාට මම කිව්වා. අපි හැමෝම එය රූපවාහිනියෙන් දැක්කා.


ඔහු කළ වීර ක්‍රියාව ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. සතුටු වෙනවා. මේ ගැන දරුවෝ තුන්දෙනාගෙන් පාසලේදී ගුරු මහත්ම මහත්මීන් සහ ළමුන් විස්තර විමසනවා. තාත්තා කළ වීර ක්‍රියාව ගැන දරුවන්ට පවසා සුබ පතනවා. ඒ ගැන දරුවන්ටත් සන්තෝසයි.” 


බුද්ධිකගේ හා සඳමාලිගේ හමුවීම ගැන විස්තර විමසූ අවස්ථාවේ ඇය ඒ ගැන මතකය අවදි කළේ මේ අන්දමිනි.


“බුද්ධික මගේ අයියාගේ හොඳම යාළුවා. එයා ඉස්කෝලෙ යන කාලේ අයියත් එක්ක පාඩම් කරන්න අපේ ගෙදර නිතර එනවා. ඒ නිසා මට එයාව හඳුනාගන්න ලැබුණා. පසු කාලයක අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නැගුනා. ඒ ප්‍රේම සම්බන්ධතාව විවාහයෙන් කෙළවර වුණා. මට හොඳ මහත්තයෙක් ලැබුණා කියන සතුට අදටත් තියෙනවා. ඔහු පොලීසියේ රාජකාරිය කළාට සැර පරුෂ කෙනෙක් නෙවෙයි.”
බුද්ධික පොලිස් කොස්තාපල් කෙනෙකු ලෙස සේවයට බැඳී ඇත්තේ 1988 වසරේදී ය. එප්පාවල උපන් ඔහු අකුරු කළෙ එප්පාවල ජාතික පාසලෙනි.


බුද්ධික පොලීසියට බැඳුනේ ඔහුගේ පියාගේ හිත තුළ තිබූ ආශාවක් ඉටුකිරීමටය. ඔහුගේ ලොකු දුව හා දෙවැනි දුව එප්පාවල සිද්ධාර්ථ ජාතික පාසලේද, බාලයා වන පිරිමි දරුවා රාහුල විද්‍යාලයේ පළමු වසරේ ද ඉගෙනුම ලබයි.


“බුද්ධික අවංක පොලිස් නිලධාරියක්. ඒ වගේම නිර්භීත පොලිස් නිලධාරියෙක් බව කොල්ලකරුවන් මෙල්ල කරගෙන ඔප්පු කළා. ඔහු පදිංචි වෙලා ඉන්න නිවස මේ වන තෙක් සම්පූර්ණයෙන් හදලා ඉවර නැහැ. අඩක් නිම කර ඇති නිවස සාදාගන්න අපේ මට්ටමින් උදව් කරනවා” යැයි පැවසුවේ උතුරු මැද පළාත භාර ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාය.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා බුද්ධිකගේ නිවසටම ගොස් ඔවුන් ගැන තොරතුරු සොයා බැලීමට තරම් නිහතමානී විය.


ජීවිතය පරදුවට තබා ගොස් කොල්ලකරුවන් දෙදෙනෙකු මෙල්ල කර අල්ලා ගත් සැරයන් බුද්ධික කුමාර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට කැඳවා ඔහු උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර, ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කළේ ඔහු කළ වීර ක්‍රියාවට උපහාර පිදීමක් වශයෙනි.


ජීවිතය පරදුවට තබා සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු සමග සටන් කර මෙල්ල කරගත් සැරයන් බුද්ධිකට ජාතියේම ප්‍රණාමය හිමිවනු නොඅනුමානය.


 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment