රණ්ඩු නැතිව දේපළ බෙදන නීති ලියැවිල්ල අන්තිම කැමැති පත්‍රය

 

“මහ ගේ අයිති මට, පවුලේ බාලයා මමනේ. අනිත් එක අම්මා ඉන්නකල් අම්මට සැලකුවේ මම” 


“එහෙම කියලා හරියන්නෙ නෑ පවුලේ එකම පිරිමියා මම. මේ දේපළ සමානව බෙදාගන්න ඕනෑ”  


“දැන් ඉතින් අම්මා මැරිලා මරණෙටවත් ආපු නැති එවුන් තුන්මාසේ දානේ දෙන්නත් කලින් දේපළ බෙදාගන්න ඇවිත්.” 


අම්මා තාත්තා නැතිවෙලා තුන්මාසේ දානේ දෙන්නත් කලින් ගෙවල් ඇතුළෙ දේපළ බෙදාගන්න දරන අසිමිත වෑයමේ ප්‍රතිඵල විදියට මේ වගේ කතාබහ කනින් කොනින් ඇහෙන අවස්ථා ඕනෑ තරම් සමාජයේ ඇත. සමහර වෙලාවට එක බඩවැල කඩාගෙන ඇවිත් ආදරයෙන් සහෝදරත්වයෙන් ජීවත් වුණු සහෝදරයින් නෑදෑයින් පවා දේපළ ඉඩකඩම් බෙදා ගැනීම් ගැටලුවලදී අවසානයේ ජීවිත කාලයට වෛර බැඳගත් සිදුවීම් ද ඕනෑ තරම් තිබේ. එක් අතකින් දරුවන් තුළ හෝ තම හිතවතුන් අතර එවැනි තත්ත්වයක් උදානොවෙන්නට තමන්ගේ දේපළ සම්බන්ධයෙන් තමන්ගෙන් පසුව සාමදානව කටයුතු කිරීමට සැලැස්වීම මවුපියන්ගේ ද වගකීමකි. බොහෝ විට පවුලේ උදවිය අතර එවැනි ගැටලු අවස්ථා ඇතිවන්නේ එය නිවැරදිව සිදු නොවීම නිසාය. ඒ නිසාම දේපළ ඉඩකඩම් සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීම සහ එය මොනතරම් වැදගත්ද යන කාරණය ගැනයි මේ කතාබහ. 


මරණය කුමන මොහොතක කුමන ආකාරයට සිදුවේදැයි කිසිවෙකුටවත් නිශ්චිතවම කිව නොහැක. එවැනි හදිසි මරණයකදී තමන් අතින්ම අන්තිම කැමති පත්‍රයක් හෝ තමන්ගේ දේපළ දරුවන් අතර නිවැරදිව බෙදාගැනීමට පහසු අවස්ථාවක් උදාකර තිබුණේ නැතිනම් ඒ සම්බන්ධයෙන් පවුලේ උදවියට විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවනු ඇත. ඇතැම් අවස්ථාවල මරණයට පත් තැනැත්තා අන්තිම කැමති පත්‍රයක් ලියා නැතිනම් බැංකු ගිණුම්වල ඇති මුදල් ගැනීමේදී පවා සංකීර්ණ ගැටලුවලට මුහුණදීමට සිදු වේ. 

 


අන්තිම කැමති පත්‍රයක් යනු කුමක්ද?

උපදෙස් - 
නීතිඥ මනෝජී 
අමරසිරි ගුණවර්ධන


ඕනෑම අයෙකුට අන්තිම කැමති පතක් සකස් කරගැනීමේ අයිතිය ඇත. එහෙත් ඒ සඳහා අදාළවන නීතිමය රාමුවක් ඇත. එනම් වයස අවුරුදු 18ට වැඩි අතර එම තැනැත්තා හොඳ මානසික තත්ත්වයකින් සිහි කල්පනාවෙන් සිටින පුද්ගලයෙකුද විය යුතුය. එහිදී තමන්ට අයිති නිශ්චල හෝ චංචල ඕනෑම දේපළක් තමන්ගේ මරණයෙන් පසු හිමිවිය යුතු ආකාරය සඳහන් කර තමන් විසින් සකස් කරන නීත්‍යනුකූල ලියවිල්ල අන්තිම කැමති පත්‍රය ලෙස හැඳින්වේ. 


දේපළ හිමිකර ගැනීමේ ක්‍රම කිහිපයක් තිබේ. තමන් මුදල් එකතු කරගෙන හෝ තමන් විසින්ම දේපලක් මිලදී ගැනීම, නැතිනම් මවුපියන්ගෙන් හෝ හිතවතකුගෙන් තමන්ට උරුම වූ දේපළක්, තෑගි ඔප්පුවකින් හිමි වූ දේපළක් හෝ අන්තිම කැමති පත්‍රයකින් තමන්ට පවරා දෙන දේපළක් වශයෙන් විවිධාකාරයෙන් දේපළ හිමිවීම් සිදු වේ. 


අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීමේ වැදගත්කම දන්නා හුඟදෙනෙක් මරණයෙන් පසු තමන්ගේ දේපළ වස්තුව බෙදී යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව සඳහන් වන සේ එය ජීවත්ව සිටින කාලයේ ලියා තැබීම සිදුකරයි. උදාහරණයක් ලෙස මාගේ නමට තිබෙන ඉඩම පුතාට හිමිවිය යුතුයි. අදාළ බැංකු ගිණුම් සඳහන් කරමින් එම බැංකු ගිණුම්වල ඇති මුදල් දුවට හිමිවිය යුතුයි යන්න තමන්ගේ සියලු දේපළ ඉඩකඩම් ලියා තැබීම සිදු කළ හැකිය.


දැනට පවතින උරුම අයිතිවාසිකම් නීතිය අනුව යම් පුද්ගලයෙක් අන්තිම කැමති පත්‍රයක් රහිතව රුපියල් ලක්ෂ හතළිහකට වැඩි දේපළක් ඉතිරි කර මියයනවා නම්, එම දේපළ බෙදා ගැනීමේදී සහෝදර සහෝදරියන් හෝ පවුලේ උදවිය විසින් අනිවාර්යයෙන්ම බූදල් නඩුවක් පැවරිය යුතු වේ. එහෙත් දේපළ ලක්ෂ හතළිහට අඩු නම් බූදල් නඩුවකින් තොරව එකිනෙකා කතා බහ කරගෙන උරුම අයිතිවාසිකම් අනුව එය බෙදා ගැනීමට හැකියාව ඇත. ලක්ෂ හතළිහකට වඩා වැඩි දේපළක් ඉතිරි කර මියගොස් ඇත්නම් අනිවාර්යයෙන්ම එම දේපළ සම්බන්ධයෙන් ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බූදල් නඩුවකින් දේපළ බෙදාගත හැකි වේ. විශේෂයෙන් මේ අවස්ථාවේදී අදාල දේපළට අයිතිවාසිකම් කියන සියලුම දෙනා මෙහිදී ඉදිරිපත්විය යුතුව ඇත. 


සාමාන්‍ය නීතියට අනුකූලව යම්කිසි මොහොතක පවුලේ පියා මියගියහොත් පියාගේ දේපල ඔප්පුවකින් හෝ අන්තිම කැමති පත්‍රයකින් ලියා නොමැති නම් එම දේපලවලින් භාගයක් මවට නැතිනම් තම බිරිඳට අයිතිවන අතර ඉතිරිය දරුවන් අතර සමානව බෙදේ. 


අන්තිම කැමති පත්‍රයක් තිබේ නම් ඒ අනුව පහසුවෙන්ම දේපළ බෙදා ගැනීමට පුළුවනි. එහෙත් එය තම තමන්ට අවශ්‍ය පරිදි බෙදා ගැනීමේ අයිතියක් නැත. එය නීත්‍යනුකූලව වලංගුවන අන්තිම කැමති පත්‍රයක් ලෙස දිසා අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමෙන් තහවුරු කළ යුතු වේ.


විශේෂයෙන්ම පවුලේ කෙනෙක් මියගිය පසු ඔහු අන්තිම කැමති පත්‍රයක් ලියා ඇත්නම් එම අන්තිම කැමති පත්‍රයට අනුව මාස තුනක් ඇතුළත එම දේපළ බෙදා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය යුතු වේ.

 


බූදල් නඩුවක් ගොනුකරන්නේ කොහොමද?
අන්තිම කැමති පත්‍රයක් රහිතව මියගිය කෙනකුගේ දේපළ බූදල් නඩුවකින් පවරා ගැනීමට කටයුතු කිරීමේදී එය මියගිය තැනැත්තා පදිංචි ප්‍රදේශයේ දිසා අධිකරණයට යොමු කළ හැකිය. සියලුම උරුමකරුවන් පාර්ශ්වයන් බවට පත්වෙලා මාස තුනක් ඇතුළත මේ නඩුව පැවරිය යුතු වේ. එහෙත් එසේ නඩුවක් ගොනුකිරීම ප්‍රමාණවත් වන්නේ ඉහත කියූ පරිදි දේපළවල වටිනාකම ලක්ෂ හතළිහට වඩා වැඩි නම් පමණි. මාස තුන ඉක්මවා ඇත්නම් එයට සාධාරණ හේතු අධිකරණයට ඉදිරිපත් කර මෙම නඩුව පැවරීමට කටයුතු කළ හැකි වේ. 

 

නයනා උදයංගනී


                                   

 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post

Leave a comment