ලැබෙන හැම චරිතෙම බාරගන්නෙ නෑ Dulan Liyanage

මේ දවස්වල රූපවාහිනියෙන් විකාශනය වෙන ‘ලලයි ලිලයි’ ටෙලි නාට්‍යයේ සුකුමල්ට තියෙන්නේ ඉහළ ජනප්‍රියත්වයක්. කළු ඇඳගෙන සුදු ඇවිදින් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයින් හඳුනාගත් ඔහු දුලාන් ලියනගේ. මේ දුලාන් අපිත් එකක් කළ කෙටි කතාබහක සටහනක්.

  • මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල මම රංගනයෙන් දායකවෙන  සුපුන් රත්නායක මහත්මයාගේ ලලයි ලිලයි ලයි සහ චරිත් අබේසිංහ මහත්මයාගේ බඹරෙක් ඇවිත් කියන  ටෙලි නාට්‍ය දෙකේ රූගතකිරීම් සිදුවෙනවා.

  • ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක්ද?

ඔව්. නමුත් ක්ෂේත්‍රයට පැමිණෙන මුල් කාලයේ මම ඉංජිනේරුවරයෙක් ලෙස රැකියාව කළා. රංගන ශිල්පියෙක් ලෙස කාර්යබහුල වූ නිසා රැකියාවෙන් ඉවත් වෙන්න සිදුවුණා.

  • රංගන ජීවිතයේ ආරම්භය කොහෙද?

කුඩා කාලයේ සිටම රංගනය සඳහා ලොකු ආශාවක් තිබුණා.  2016 වසරේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. මගේ පළමු නිර්මාණ දායකත්වය බටහිර අහස ටෙලි නාට්‍යය. එහෙත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූයේ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයෙන්.

  • කලා කටයුතුවලට පවුලේ අයගෙන් සහායක් ලැබෙනවද?

මුල් කාලයේ ඔවුන් වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ. ඔවුන්ගෙන් සහයෝගය ලැබෙනවා.

  • ලලයි ලිලයි ලයි සුකුමල් කියන චරිතය ගැන කතා කළොත් ?

පැංචාගේ චරිතය තමයි මුලින්ම මාව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගියේ. මම අවුරුදු දෙකකින් තමයි ලලයි ලිලයි ලයි හරහා නිර්මාණයකට දායක වුණේ. මේ දවස්වල සුකුමල් කියන චරිතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය  වෙලා තිබෙනවා.

  • බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍යයේ සූර්යාගේ චරිතය ගැන කතා කළොත් ?

මම මීට කලින් කරපු චරිතවලට වඩා වෙනස්ම චරිතයක්. මේ කතාව ගෙතෙන්නේ  70 දශකයේ රටේ සිදුවුණු සිදුවීම් රැසක් වටායි. එතැනදි පොඩි අභියෝගයක් තිබෙනවා. එහි අධ්‍යක්ෂ චරිත් අබේසිංහ මහත්මයා සමග මම වැඩ කරන්නේ පළමු වතාවට. ඉතිං ඔහු මට මේ නිර්මාණයට කතා කළාම මට ගොඩක් සතුටු හිතුණා. සූර්යා කියන්නේ ටිකක් සීරියස් චරිතයක්. සූර්යා කියන්නේ හැත්තෑව දශකයේ ජීවත් වූ පුද්ගලයෙක්. ඒ කාලයේ කතා  ගැන ලොකු අත්දැකීමක් නැහැ. ඒ නිසා මේ ගැන පොඩි අධ්‍යයනයක් කරලා තමයි මේක කරගෙන යන්නේ.

  • ඔබ නිර්මාණවලට දායක වන්නේ තෝරා බේරාගෙනද? 

ඔව්. මම කැමැතියි අභියෝගාත්මක චරිත බාරගන්න. මට චරිතයක් ලැබුණත් එහි මට යමක් කරන්න තිබෙනවද කියන දේ මම බලනවා. මට ඕනෑ  ඒ නිර්මාණය ඉගෙන ගන්න. ඒ වගේම ප්‍රේක්ෂකයාට හොද නිර්මාණ දෙන්න. රඟපාන එක ලේසි නැහැ. මම තවමත් දේවල් ඉගෙන ගන්නවා. ප්‍රසිද්ධියට හෝ මුදල් මත රඟපාන්නෙ නැහැ. මගේ අදහසක් තිබෙනවා කවදාහරි දවසක ලංකාවෙ හෝ ලෝකයේ හොඳම නළුවා වෙන්න.

  • ඉදිරි වැඩ කටයුතු මොනවද?

නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ වගේම තවත් අලුත් නිර්මාණ සඳහා දායකත්වය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා .

කාලගුණේ රතු වෙලා - පරිස්සමින් Read Previous

කාලගුණේ රතු වෙලා - පරිස්සමින්

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ Read Next

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

Realted Post

Leave a comment