ලෙඩ වුණාම කන බොන හැටි

 

රෝගී වූ විට මුලින්ම ඇතිවෙන්නේ ආහාර අරූචිය හෙවත් ආහාර ගැනීමේ අපහසුතාව යි. මේ තත්ත්වය බරපතළ රෝගයකට වගේම සුළු රෝගී තත්ත්වයකදී වුවද ඇතිවෙයි. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුලබ රෝගී ලක්ෂණවලදී වුවත් ආහාර ගැනීමේ අපහසුතාවක් නැතිනම් ආහාර අරුචියක් ඇති වෙයි. මෙය වයස් භේදයක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව ඕනෑම කෙනෙකුට ඇති විය හැකිය.


උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ඔක්කාරය, ආහාර අරුචිය, වමනය වැනි රෝග ලක්ෂණ බොහෝ විට දක්නට ලැබෙන්නේ වයිරස් රෝග තත්ත්වවලදී ය. මෙවැනි අවස්ථාවකදී ආහාර ගැනීමට ප්‍රියක් නැතිවීම, නැතිනම් ආහාර අරුචිය නිසා ආහාර නොගෙන සිටීම බොහෝ දෙනා කරති. මෙහිදී සිදුවන්නේ ශරීරයට අවශ්‍ය ශක්තිය හා ප්‍රතිශක්තිය ලබා ගැනීමට නොහැකි වීමෙන් ශරීරය දුර්වල වී රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න වීමයි. මෙවැනි තාවකාලික රෝග ලක්ෂණ පවතින අවස්ථාවක ආහාර රුචිය වැඩි කරගෙන නිසි පෝෂණයක් ලැබෙන ආකාරයට ආහාර ලබා ගැනීමට කළ හැකි ක්‍රම උපායන් මොනවාද?


දියර වර්ග පානය කරන්න
රෝග ලක්ෂණ ඇති විටදී පළමුවෙන්ම අනුගමනය කළ යුතු පිළිවෙත වන්නේ හැකි තරම් දියර වර්ග පානය කිරීමයි. මෙය ඔබගේ කැමැත්ත අනුව සිසිල් හෝ උණුසුම් ලෙස ලබා ගත හැකියි.  


සුදුසු උණුසුම් පාන වර්ග

අදහස් දැක්වීම - 
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යයන අංශයේ, ආහාර හා පෝෂණවේදිනී 
( පශ්චාත් උපාධි පර්යේෂක)

දිල්කි පෙරේරා


තේ, කෝපි, කිරි තේ, කොත්තමල්ලි, බෙලිමල්, කැඳ වර්ග (කුරුට්ට සහිත සහල්වලින් සකස් කරන ලද), කඩල - මුංඇට මිශ්‍ර කැඳ, කොළ කැඳ, බාර්ලි වතුර, සුප් වර්ග (මිශ්‍ර එළවළු සුප්, එළවළු හා කුකුළු මස් මිශ්‍ර සුප්, වට්ටක්කා සුප්, හතු සුප්,)


සුදුසු සිසිල් පාන වර්ග
තැඹිලි වතුර, සව් කැඳ, පලතුරු යුෂ
මෙවැනි දියර වර්ග දිනකට තුන් හතර වතාවක් පානය කරන්න. එසේ පානය කිරීමෙන් ශරීරයට අවශ්‍ය කරන විටමින්, ඛනිජ ලවණ, තන්තු ආදිය ලැබෙන නිසා ආහාර මාර්ගයේ මනා ක්‍රියාකාරිත්වයක් ඇතිවෙයි. ඒවාගේම ආහාර රුචිය වැඩි දියුණු වී ප්‍රතිශක්තිකරණයද වැඩි දියුණු වෙයි. 


මීට අමතරව ශාකමය ප්‍රෝටීන අඩංගු ආහාර ලෙස දැක්විය හැකි කඩල, මුංඇට, පරිප්පු, සෝයා වැනි දෑ සුප් සමග මිශ්‍ර කර කැඳ ලෙස සකස් කර හෝ එළවළු සලාද සමග මිශ්‍ර කර ආහාරයට එකතු කර ගත හැකිය. මෙයින් ප්‍රෝටීන් අවශ්‍යතාව මෙන්ම ශරීරයේ තන්තු අවශ්‍යතාවද සපුරාලිය හැකිය. ඒවාගේම මස් හා මාළු සුප් සමග මිශ්‍ර කර හෝ සලාද සමග මිශ්‍ර කිරීමෙන්ද ආහාරයට ගත හැකියි.

 

ගන ආහාර  හොඳ ද?
ආහාර ගැනීමේ රුචියක් ඇති නොවුණද ආහාර ගැනීම කළ යුතුයි. ඒ සඳහා එකවර විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්නවා වෙනුවට කුඩා ප්‍රමාණවලින් දිනකට 7-8 වතාවක් වන ලෙස ලබාගන්න. එය ආහාර රුචිය වැඩි දියුණුවීමට හේතුවක් වෙයි.  


මෙවැනි රෝගී අවස්ථාවකදීි බත් හා ඒ ආශ්‍රිත අනෙකුත් කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගැනීමට අරුචියක් ඇතිවීම සුලබ තත්ත්වයකි. ඒ නිසා ඒ වෙනුවට පිෂ්ටය බහුල අල වර්ග තම්බා හෝ බේක් කර ආහාරයට එක් කරගන්න. උදා- මඤ්ඤොක්කා සමග පොල් සම්බෝල, බතල සමග ලුණුමිරිස්, තම්බන ලද කොස්, දෙල්, වට්ටක්කා ආදිය දැක්විය හැකිය.  මෙයින් ශරීරයට අවශ්‍ය දෛනික ශක්ති අවශ්‍යතාව සපුරාගත හැකි වෙයි.

 

මස් මාළු කෑමට රුචියක් නැතිනම්
රෝගී වූ විට මස්, මාළු, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර ආහාරයට ගැනීමට අරුචියක් ඇතිවෙයි. එවැනි අවස්ථාවකදී දිනකට 3-4 වතාවක්වත් දියර කිරි හෝ කිරි ආශ්‍රිත ආහාර (යෝගට්, මීකිරි, චීස් වැනි) ආහාරයට හෝ පානයට ගන්න. එයින් මඟහැරෙන ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාගත හැකි වෙයි. 

 

එළවළු - පලතුරු වැඩියෙන් ගන්න 
එළවළු වගේම පලතුරුද අපගේ දෛනික ආහාරවේලට අනිවාර්යයෙන්ම එකතු විය යුතුය. ඒ නිසා එළවළු පලතුරු අමතර කෙටි ආහාර වශයෙන් සකස් කර ගෙන ආහාරයට එකතු කරගන්න. එනම් පලතුරු සලාද හෝ අච්චාරු ආකාරයට, එළවළු සලාද හෝ සුප් ආකාරයට, පලතුරු යුෂ ආකාරයට සකස් කර ආහාරයට ගත හැකිය. ඊට අමතර වියළි මිදි, රටඉඳි ආදිය කෙටි ආහාර වශයෙන් ගත හැකියි. මේ සඳහා ඔබට රිසි පරිදි විවිධ එළවළු හෝ පලතුරු තෝරා ගත හැකියි. එහි රසය වැඩි දියුණු කිරීම සඳහා ලුණු, ගම්මිරිස්, දෙහි වැනි දෑ එකතු කරන්න. මෙයින් ආහාර රුචිය වැඩි කරනවා වගේම දෛනිකව එකතු විය යුතු විටමින්, ඛනිජලවණ, මෙන්ම තන්තු අවශ්‍යතාවද සපුරාලමින් ඉක්මන් සුවය ළඟා කර දෙයි. කබලේ බදින ලද හෝ බේක් කරන ලද කජු, රටකජු, තල වැනි දෑ ද ආහාරයට එකතු කරගන්න. එයින් දෛනික ශක්ති අවශ්‍යතාව සපුරාලිය හැකිය. 

 


ලෙඩ වුණාම කරන වැරදි 
ආහාර අරූචිය යැයි කියා පැණි බීම වර්ග පානය කිරීම, තෙල් බහුල ෂෝටීස්, බයිට්ස්, වඩේ, මුරුක්කු වැනි කෙටි ආහාර ගැනීම, තෙල් සහ රසකාරක බහුල අවන්හල් ආහාර(පීසා, බර්ගර් වැනි) වැනි දෑ ගැනීම රෝගී වූ විට නොකළ යුතුය. මේ වැරැදි ආහාර පිළිවෙත් නිසා ආහාර අරුචිය, ඔක්කාරය, වමනය වැනි තත්ත්ව තවදුරටත් වැඩි වී රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහළ ගොස් රෝගී තත්ත්වය තව තවත් උග්‍රවෙයි. ඒ නිසා කිසිම අවස්ථාවක මෙවැනි ආහාර නොගත යුතු අතර ඉහතින් සඳහන් කළ නිවැරැදි ආහාර රටාව අනුගමනය කිරීමට වගබලා ගන්න. එයින් රෝගී තත්ත්වයෙන් ඉක්මනින් මිදීමට අවශ්‍ය ශක්තිය හා ප්‍රතිශක්තිකරණ හැකියාව ඔබගේ ආහාර තුළින්ම ලබා ගත හැකි වෙයි.

සුබෝධිනී පෙරේරා 


 

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Next

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

Realted Post

Leave a comment