ලොවක් දිනන්න සුහදත්වය රටට දෙන්න
බොහෝ විදෙස් රටවල ආයතන මිනිසුන් පිළිගැනීමේදී උසස් සේවාවක් ලබාදෙනවා. රාජ්‍ය පෞද්ගලික වෙනසක් නැහැ. කාරුණික සිනහවකින් සංග්‍රහ කරනවා.
ඉතා කාර්යක්ෂමව රටේ ජනතාව වෙනුවෙන් තම සේවාව උසස් අන්දමින් ලබාදීම එම රටවල දියුණුබව පෙන්වන්නක්
ජනතාවට සේවා සපයන රජයේ සහ පෞද්ගලික ආයතනවලින් සියලුදෙනා බලාපොරොත්තු වන්නේ සුහද සේවාවකි. එහෙත් නැවත ආයතනයකට පැමිණීමට කැමැත්තක් ඇතිවන විදියට සුහද සේවයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් බව අකමැත්තෙන් හෝ පිළිගත යුතු කරුණකි. විශේෂයෙන් රාජ්‍ය සේවයේදී සුහදතාව දකින්නට ලැබෙන්නේ අඩුවෙනි. ඒ වගේම තමන් වැඩකරන කාල සීමාවේදී තමන් ලබන වැටුපට සරිලන ලෙස ලැබෙන කාලයෙන් උපරිම සේවයක් ලබාදීමට ඕනෑම ආයතනයක් බැඳී සිටී. රටක් ලෙස ඉදිරියට යමින්, ආකල්පවලින් දියුණු වන්නට නම් අප තුළ ඒ හැකියාව ස්වයංව නිර්මාණය විය යුතුය. අපේ රටට සාපේක්ෂව බොහෝ රටවල් ඉතා කාර්යක්ෂමව රටේ ජනතාව වෙනුවෙන් තම සේවාව උසස් අන්දමින් ලබාදීම එම රටවල දියුණු බව පෙන්වන තවත් සාධකයකි.
ලංකාවේ ඉපිද මේ වන විට ජර්මනියේ වසර ගණනාවක් තිස්සේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක් වන මහීමා දීපිකා එම රටවල රාජ්‍ය අංශවල හා පෞද්ගලික අංශවල වැඩකටයුතු සිදුවෙන ආකාරය ගැන අප හා තොරතුරු කතාබහ කළේ මෙලෙසය.
කාටත් එක වගේ පිළිගැනීමක්
අදහස් දැක්වීම |
බොහෝ වෙලාවට පෞද්ගලික අංශවලදී සුහද පිළිගැනීමක් දකින්නට ලැබුණත් අනෙක් ආයතනවලදී ඒ පිළිගැනීම දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මම ලංකාවට බොහොම ආදරෙයි. ඒ මගේ මව් රට නිසා. නමුත් අපේ රටේදි වගේම වැඩි කාලයක් විදේශගතව ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙක් විදියට විශාල වෙනසක් අත්විඳිනවා. අපට ජර්මනිය වගේ වෙන්න බැහැ. අපට තියෙන්නේ අපටම අනන්‍ය වූ වෙනස්ම සංස්කෘතියක්. නමුත් අපට ආකල්පමය වශයෙන් දියුණු වෙනසක් ඇති කරගන්න පුළුවන්. බොහෝ විදෙස් රටවල ආයතන මිනිසුන් පිළිගැනීමේදී උසස් සේවාවක් ලබා දෙනවා. රාජ්‍ය පෞද්ගලික වෙනසක් නැහැ. කාරුණික සිනහවකින් සංග්‍රහ කරනවා. හිනාව කියන්නේ අපි සල්ලි දීලා ගන්න දෙයක් නෙවෙයි. නමුත් සේවාවක් ලබාගන්න පැමිණෙන ඕනෑම අයෙකුට හොඳ සිනහවකින් සංග්‍රහ කරන්න අපට බැරි නැහැ. සිනහව කියන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ විඩාව නැතිකරන්න පුළුවන් ඔසුවක්.
කාලයේ වටිනාකම තේරුම් ගන්න
“සමහර රජයේ ආයතනවලට වැඩක් කරගන්න ගියාම පුදුම කට්ටක් කන්න ඕනෑ.” මේ කියමන අපි බොහෝ වෙලාවට කියන දෙයක්. එක්කෝ හැමෝම එකවර කෑම කන්න ගිහින්. සමහර වෙලාවට ඔවුන්ගේ ඇනුම් බැනුම්වලට යටත්වෙන වැඩිහිටි උදවිය ඕනෑ තරම් සිටිනවා. අපේ රටේ මිනිස්සු බහුතරයක් සැපවත් ජීවිත ගෙවන මිනිසුන් නෙවෙයි. ඔවුන්ට දවසක් කියන්නේ කීයක් හරි හම්බකරගන්න තිබෙන වටින අවස්ථාවක්. ඒ නිසා යම් සේවාවක් ලබාගැනීමට ආයතනයකට පැමිණෙන ඕනෑම සේවාදායකයකුගේ කාලය අපතේ නොයවා හැකි උපරිමයෙන් ඔවුන්ගේ කටයුතු විමසා බලා අවශ්‍ය සේවාව සපයා දීමට උත්සාහ කරනවා නම් එය අගේ කළ යුතුයි.
ඒ වගේම යම් සේවාවක් ලබා ගැනීමට කෙනකු පැමිණෙන්නේ එය අත්‍යවශ්‍යම සේවාවක් නිසා වෙන්න පුළුවනි. එහෙම අවස්ථාවක මුදල් අඟහිගකම් තිබෙන තැනැත්තෙකු නම් කිහිපවරක් පැමිණෙන්නට සිදුවීමෙන් අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවෙනවා. මේ හේතුව නිසාම සමහර අවස්ථාවල බොහෝ දෙනෙක් රෝහල් සේවය වැනි කටයුතුවලදී මුදල් අඟහිගකම් තිබුණත් පෞද්ගලික අංශයේ රෝවල්වලින් ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඉතින් සෑම ආයතනයකදීම නිවැරදිව කාලය නාස්ති නොවෙන විදියට සේවය ලබා ගන්නට පුළුවන් නම් මිනිසුන් එලෙස අපහසුතාවට පත්වන්නේ නැහැ. සේවයට වාර්තා කිරීමට තිබෙන්නේ අටට නම් අටට විනාඩි පහකට දහයකට කලින් හෝ සේවයට පැමිණෙන්න වගේම පිටත්වීම තිබෙන්නේ 4 ට නම් හතර පසුවී විනාඩි පහක් හෝ සේවය කළ යුතු බව සිතනවා නම් රටක් ලෙස අපට දියුණු ගමනක් යන්න බැරි නැහැ.
ජර්මනිය වගේ රටවල විදේශිකයින්ට වගේම තමන්ගේ රටේ පිරිසටත් ඉතාම සුහදශීලී සේවාවක් ලබාදෙනවා. විශේෂයෙන් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, පොලිසිය, ආගමන විගමන, බැංකු, රෝහල්, මේ ඕනෑම තැනකදී කාරුණික සේවාවක් ලැබෙනවා. ඒ වගේම ආබාධිත අය වෙනුවෙන් වෙනම අංශ තිබෙනවා. ඒ වගේම එවැනි අය වෙනුවෙනුත් සෑම ආයතනයකම වෙනම වැසිකිලි පවා තිබෙනවා. මම හිතන්නේ අපිට විශාල දේවල් කරන්න බැරි වුනත් අපේ රටත් ආකල්ප අතින් දියුණු වෙනවා නම්, හොඳ දේශපාලනයක් තිබෙනවා නම් රටක් විදියට උසස් තැනකට එන්න අපහසු නැහැ කියලයි.
නිසි සේවාවක් නොලැබුණොත් වෙන දේ
අපේ රටේ සමහර අවස්ථාවලදී සේවා දායකයන්ට නිසි සේවාවක් නොලැබුනහොත් සිදුවන්නේ, ගැටුම් ඇතිකර ගැනීම හෝ අදාල ස්ථානයෙන් ඉවත්වීමයි. අදාල පාර්ශව වෙත පැමිණිලි කළත් එයින් සාධාරණයක් ඉටුවූවාද යන්න ගැටලුවක් තිබෙනවා. මේ රටවල යම් පුද්ගලයකු සේවාව ගැන සෑහීමකට පත්වන්නේ නැතිනම්, අදාල පාර්ශව වෙත දුරකථනයෙන් දැනුම් දීමට පුළුවනි. ඒ වගේම ඒවාට එසැනින් පිළිතුරු ද ලබාදෙනවා.
සේවකයින්ගෙන් හරිහැටි රජයේ රාජකාරී නොකෙරෙනවා නම් එක් වතාවක් ඔවුන්ට ඒ ගැන ආයතනයේ ප්‍රධානියා අවවාද කරනවා. එහෙත් දෙවැනි වතාවේදීත් එසේ වුනොත් එම සේවකයින් සේවයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරනවා. ඒ නිසා වැරදි සිදුවෙන්නේ බොහොම අඩුවෙන්. රටක් විදියට මේ සෑම තැනකදීම සාර්ථකත්වයට බලපාන්නේ නිවැරදි නීති පද්ධතියක් ක්‍රියාත්මකවීමයි. දඬුවමට ඇති බය නිසාම ඒ නීති පද්ධතියට අවනතව කටයුතු කිරීමට සෑම කෙනෙක්ම පුරුදු වෙනවා. අපේ රටේත් ඒ විදියේ සාර්ථක නීති පද්ධතියක් හරියට ක්‍රියාත්මක වෙනවා නම්, උසස් දේශපාලන සංස්කෘතියක් ඇතිවෙනවා නම් රටක් විදියට අප මීට වඩා දියුණු තත්ත්වයක සිටිනවා.
සටහන නයනා උදයංගනී
Leave a comment