විශ්‍රාම රණවිරුවන්ගෙන් වැඩක් ගන්න පිළිවෙළක් හදන්න

තිස්වසරක යුද්ධය නිම වී පසුගිය 18 වැනිදාට පහළොස් වසක් සපිරිණි. යුද්ධයේ අවසාන සමයේ ගම්දනව්වල තරුණයන් දහස් ගණන් යුද හමුදාවට එක්වීමට ඒ සිනාමුසු මුහුණෙන් සපිරුණු සෙබල රුවෙන්  ඔවුන්ට ‘මොරාල්’ලැබුණා යැයි කීවොත් මුසාවක් නොවේ. රටේ අහුමුලු සිසාරා බිත්තිවල ඇඳුනේ ඒ රුවයි. පුවත්පත් සඟරා පිරි ඉතිරුණේ එ් රුවෙනි. .යුද්ධය පිළිබඳව ප්‍රකාශිත පොත් පිටකවරවලට ගියේ ද ඒ රුවයි. රණවිරු දිනයක් සමරද්දී, යුද ජයග්‍රහණයක් සමරද්දි සංකේත රුවට වැටෙන්නේ ද ඒ රුවයි. වසර පහළොවක් ගතවීත් ඒ  රණවිරු රුව තවමත් ජනප්‍රිය ය. ලොවක් දන්නා ඒ රුවේ හිමිකරුවා සොයාගෙන සිරිකත අපි රත්නපුරේ පිහිටි ඔහුගේ  කුලී නිවෙසට ගියෙමු.

ඔහු නමින් විශ්‍රාමික බලලත් නිලධාරි 2 ඩබ් .කේ. රංජිත් වීරවර්ධන ය. මේ ඔහුගේ කතාවයි.
‘‘මම උපන්නේ රත්නපුර රක්වානේ රඹුක. මගේ පවුලේ සහෝදර සහෝදරියන් දහ දෙනෙක් ඉන්නවා .මම සිව්වැනියා.මගේ මල්ලිත් විශේෂ කාර්ය බලකායේ සෙබළෙක්. ඔහු 1995 වසරේ රට වෙනුවෙන් දිවි පිදුවා. ආරක්ෂක සේවයේ වගේම ශාසනයෙත්  මගෙ සහෝදරයෙක් ඉන්නවා. උන්වහන්සේ රඹුක මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනවා.’’
රඹුක මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති රංජිත්  යුද හමුදාවට එක්වී අැත්තේ 1992 වසරේදී ය.  ඒ දෙවන ගජබා රෙජිමේන්තුවට ය.  ඔහු විශේෂ බලකායට එකතු වන්නේ 2000 වසරේ ය. එක රැයකින් ම ලංකාව පුරාම ජනප්‍රිය වූ තවමත් ඒ ජනප්‍රියතාව සුරැකී තිබෙන ඡායාරූපය එළියට එන්නේ ඔහු විශේෂ බලකායේ සේවය කරද්දී ය.
‘‘වසර 2007එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාකරේ රෝහල ළඟට ඇවිත් මගේ ටීම් එකත් එක්ක කතා කළා. ජනාධිපතිවරයෙක් යුද පිටියට පැමිණීම ගැන එදා අපට  සතුටක් ඇති වුණා. ඒ නිසයි මම එතැන හිනාවෙලා ඉන්නේ. ඒ අවස්ථාවේ ජායාරූප ශිල්පියෙක් ගත් ඡායාරූපය තමයි රටපුරාම ජනප්‍රිය වුණේ.  මේ ඡායාරූපය මම දැක්කෙත් පත්තරවලින්. හැබැයි මගේ ඡායාරූපය මේ තරම් ජනප්‍රිය වේවි කියලා නම් හිතුවෙ නැහැ. රණවිරුවෙකු ලෙස මට ඒක ලොකු සතුටක්. ඒ ජනප්‍රියබව අදටත් තිබෙනව කියල මම විශ්වාස කරනවා.  

ඒ ඡායාරූපය නිසා මට ලැබුණු වරප්‍රසාදයක් නැහැ.  නමුත් මිනිස්සු අතරේ මම හුඟක් ජනප්‍රිය චරිතයක් වුණා.  ඒ ඡායාරූපයේ ඉන්න  පුද්ගලයා යුද්ධයෙන් මිය ගියා කියලත් ඒ කාලෙ කතා හැදුණා.’’
පුරා වසර 25කට අධික කලක් රට වෙනුවෙන් යුද වැදී සිටි ඔහු බලලත් 2 නිලධාරිවරයෙකු ලෙස විශ්‍රාම යන්නේ 2017 වසරේ දී ය. එතැන් සිට මේ සටහන ලියවෙන මොහොත දක්වාම ඔහු මුහුණදෙන්නේ ඉතාමත් සංවේදී ජීවන යුද්ධයකටය.

රුපියල් හතළිස්පන්දහසක විශ්‍රාම වැටුපත් සමග ඔහු  සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග 2017 වසරේ සිටම රත්නපුර නගරයේ කුලී නිවසක ජීවත් වෙයි.


‘‘අපට දියණියන් තිදෙනෙක් සිටිනවා. ලොකු දුව ලබන වසරේ උසස් පෙළ ලියනවා, දෙවැනියා 7 වසරේ. පොඩි දුව 1 වසරේ. මගේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු නිසාම රඹුක තිබෙන මගේ ඉඩකඩම් විකුණා රත්නපුරේ කුලි නිවසකට එන්න සිදුවුණා. මගේ බිරිඳ දරුවන්ගෙ කටයුතු බලනවා. ගෙවල් කුලිය, දරුවන්ගෙ ඉගෙනුමට, වියදම් කෑමබීම අපට ලැබෙන විශ්‍රාම වැටුපෙන් කරගන්න බැහැ. මේ නිසා මම පුද්ගලික ආයතනයක රැකියාවකුත් කරනවා. මගේ අරමුණ කොහොමහරි දරුවන් තුන්දෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න.’’
‘‘මම සියලු විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් රජයට යෝජනා කරනවා සේවයෙන් විශ්‍රාම යන අපගේ දැනුමෙන් අත්දැකීම්වලින් වැඩක් ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙළක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් හදන්න කියල.’’
මේ රට වෙනුවෙන්දෙහඩිය පමණක් නොව ලේ වැගිරූ, අතපය අහිමි කරගත්, ඔවුන්ට තමන් අද අසරණ යැයි කියා සිතෙනවා නම් කා අතිනුත් වරදක් සිදුව ඇතැයි සිතේ.
ඔහු පමණක් නොව මේ රටේ දස දහස් ගණනින් යුද විරුවෝ තම ජිවිතයේ හොඳ ම හරිය රට වෙනුවෙන් කැප කොට අද ජිවිතය ගෙන යන්නට පොර බඳිමින් සිටිති. මේ එක් උදාහරණයක් පමණි. රත්නපුර අවටින් ඉඩම් කෑල්ලක් හෝ ඔහුට රැගෙන දෙන්නට  කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් එය ඔහු රට වෙනුවෙන් කළ මෙහෙයට කළ හැකි උපහාරයක්ම වනු ඇත.
රංජිත් වීරවර්ධන 071 6645828

සටහන  - චාමින්ද දිසානායක 

මොඩ්ල් කෙනෙක් වෙන්න Read Previous

මොඩ්ල් කෙනෙක් වෙන්න

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post

Leave a comment