සතර දෙසින් ආ මහ වැසි මාර වෙසින් බිලිගත් මල් කැකුළ

 

දරු පෙම මහමෙරටත් වඩා උස බව කියැ වේ. ඒ තරමටම මවුපියන් තම දරුවන්ට දක්වන්නේ අසීමිත සෙනෙහසකි. ඒ දරු පෙම බිඳී ගියහොත් ඒ වේදනාව කෙසේ දැරිය හැකි වෙයිද?
කුරුණෑගල වැහැර ජයන්තිපුර  ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි සජිත ගිහාන් ගුණරත්ත පුතණුවන්ගේ මාපියන්ට ද අද ඒ වේදනාව දැරීමට සිදුව ඇත. ඔවුන්ට පැය දෙකක වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත තම ආදරණීය පුතුගේ හුස්ම පොද අහිමි වූයේ මහා ගින්දරක් ළය මත හොවමින්ය.
අකාරුණික කාලගුණය සේම නීති විරෝධී ආකාරයට පරිසරයටද  හානි ගෙන දෙමින් කළ ඉදිකිරීම් සජිත පුතණුවන්ගේ දිවිය පසුගිය 5 දා බිලි ගත්තේය.

 

එදින දිනය මුළුල්ලේ අඛණ්ඩව ඇද හැලුණු අනෝරා වැස්සට දෙගොඩතලා ගිය මහා ජල කඳකට හසුව ගසාගෙන ගිය සජිත බෝක්කු කාණුවක සිරවීමෙන් තම දිවිය හමාර කළේ සහසක් සිත් සතන් කඳුළෙන් නහවමිනි.
සජිත වී.ඒ.ජී. ගුණරත්න සහ පී.ඒ. නෙරංජනී යුවළගේ එකම පුතණුවන්ය. සජිතට වැඩිමල් අක්කලා දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගෙන් වැඩිමල් සොයුරිය පාසල් විය නිම කොට රැකියාවක යෙදෙන අතර අනෙක් සොයුරිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සජිතගේ පාසලේම අධ්‍යාපනය ලබමින් සිටින්නී ය. එබැවින් සජිත පවුලේ සුරතලා විය. අක්කලා දෙදෙනාම තම එකම සොයුරාට බෙහෙවින් ආදරය කළහ.


ඔහුගේ නිවසේ සිට මලියදේව ආදර්ශ විදුහලට වූයේ කිලෝ මීටර් භාගයකටත් අඩු දුරකි. මේ නිසාම සජිත දිනපතාම පාසල් ආවේ ගියේ තම අක්කාද සමග පයින්මය. අක්කා  නැති දිනවලට පියාගේ මව තනියට ආවාය. 
නිවසට යන මාර්ගය එක් මංසන්ධියක දී බෙදී කුරුණෑගල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහල වෙත විහිද තිබුණි. තවත් මාර්ගයක් ජයන්තිපුර ප්‍රදේශයටත් අනෙක් මාර්ගය වැහැර ප්‍රදේශයටත් විහිදී තිබිණි. වෙල් යායක් මැදින් විහිද තිබූ මේ මාර්ග පද්ධතිය වැසි කාලයට ජලයෙන් යටවීම නිරන්තරයෙන්ම සිදුවන්නකි. ඊට එම ප්‍රදේශයේ කුඹුරු යායවල් ගොඩ කරමින් සිදු කර තිබෙන අනවසර ඉදිකිරීම්ද බලපෑවේය.
මේ මාර්ග කීපය පාසල් පැවැත්වෙන දිනවලට නිතරම පාසල් සිසුන්ගෙන් පිරී පැවතුණේ එම මාර්ගයෙන් පාසල් දෙකකටම දරුවන් යන එන නිසාය. බණ්ඩාරනායක විදුහලට කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට විහිදෙන මෙම මාර්ගය ඉතා පටු වන අතර මෝටර් රථ දෙකකටවත් මාරු විය නොහැක. මේ නිසාම මේ මාර්ගයේ ගමන් කරන්නවුන්ට බොහෝ විට සිදු වන්නේ වාහනයක් පැමිණෙන විට ඊට ඉඩ දීම සඳහා මාර්ගයේ හැකි තරම් අයිනට වීමටය.


පසුගිය සඳුදා දින පෙරවරු හයට පමණ ආරම්භ වූ වර්ෂාව එක දිගටම නොනැවතී එදින සවස් වරුව වන තෙක්ම ඇද හැලුනේය. මෙවැනි ධාරානිපාත වර්ෂාවක් එක දිගට කුරුණෑගලට ඇද හැලුණේ කලකට පසුවය. මේ නිසාම කුඩා ඇල මාර්ග පමණක් නොව දිස්ත්‍රික්කය හරහා ගලා බසින දැදුරුඔය, මා ඔය ආදියද පිටාර ගලා ගොස් පහත් බිම් පවා යට වන්නට ගත වූයේ පැය කීපයකි.


පාසල නිමවී සජිත පාගමනින්ම නිවස කරා යන්නට විය. ඔහු පාසලේ සිට බණ්ඩාරනායක විදුහල කරා දිවෙන මාර්ගයේ පැමිණියේ කෙටි දුරකි. ඔහුට ඉදිරියෙන් දිස් වූයේ බණ්ඩාරනායක විදුහලේ සිට පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයකි. මාර්ගය ඉතා පටු වූ බැවින් වෑන් රථයට ඉඩ දීම සඳහා සජිත මාර්ගයේ සිට මඳක් පසෙකට වන්නට පා තැබුවේ තමන් බිලි ගැනීමට ඒ වන විටත් මාරයා පැමිණ සිටින බව නොදැනය.
ඒ ඔහු තැබුවේ ඔහුගේ ජීවිතයේ අවසාන පියවරය. මාර්ගය අයිනට කියා සිතා ඔහු පය තබා ඇත්තේ ජලයෙන් පිරි මහා කාණුවකට ය. මේ නිසා සමබරතාව ගිලිහුණු මේ පුංචි දරුවා කරලාගෙන සිටි පොත් පිරුණු පාසල් බෑගයත් සමග කාණුව තුළ මහා වේගයෙන් ගලා බසින ඇළට වැටුණේ නිමේෂයකිනි. 


එහෙත් ඒ වන විටද කාණුවේ ගලා බසිමින් තිබූ මහා ජල කඳට හසු වූ සජිත ක්ෂණයකින් ජලයේ ගිලී නොපෙනී යනු දුටු වැඩිහිටියන් කීප දෙනෙකු ඔහු බේරා ගැනීමේ අරමුණින් මහා හයියෙන් කෑ ගසමින් ඇළ මාර්ගය දිගේ ඉහළ පහළ දිව යන්නට වූහ. නමුත් ඔවුන්ට දැකගත හැකි වූයේ ජලය මත පාවෙමින් තිබූ සජිතගේ පාසල් බෑගය පමණී.


සුළු මොහොතකින් ප්‍රදේශවාසීන් බණ්ඩාරනායක විදුහලට දරුවන් රැගෙන යාමට පැමිණි දෙමවුපියන් ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව දිය පහරේ ගසාගෙන ගොස් අතුරුදහන් වූ සජිත සොයන්නට වූයේ ඒ වනවිටද ඇද හැලෙමින් පැවති මහා වර්ෂාවේය.


අවසානයේදී කුරුණෑගල පොලීසිය, වැහැර යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා පැය දෙකකට වඩා  කළ මෙහෙයුමකින් කානු පද්ධතියේ කුඩා බෝක්කුවක් තුළ සිරවී සිටි සජිත මුදා ගනු ලැබීය.


වැඩිහිටියෙකුටවත් රිංගා යා නොහැකි අඩි පහළොවක් පමණ දුරකට ඉදිකර තිබෙන ජලයෙන් පිරුණු කුඩා බෝක්කුවක් තුළ සිර වී ඒ වනවිටද සජිත තම ජීවිතයෙන් සමුගෙන සිටියේය. නීතියට පටහැනිව යමින් ඉදි කර තිබූ කාණු පද්ධතියක් සහිත ඒ කුඩා⁣ බෝක්කුවේ ඇතුළතින් හරහට ඇද තිබූ ප්ලාස්ටික් බටයක අත සිරවීමෙන් එතුළින් එළියට ඒමට නොහැකිව ඔහු සිටි අයුරු ඉතාම ශෝචනීයබව  ඔහුගේ නිසල සිරුර සොයා ගත් පුද්ගලයෝ පැවසූහ. 


බෝක්කුව කඩා හෝ සිරවී සිටින දරුවා බේරා ගැනීමට ඒ අවස්ථාවේදී ඉක්මනින් අවශ්‍ය විය. වෙනදාට මෙවැනි අවදානම් අවස්ථා සඳහා කියූ සැණින්  පැමිණෙන කුරුණෑගල මහ නගර සභාවේ බැකෝ යන්ත්‍රයද අලුත්වැඩියාවකට ලක් නොකර ගාල් කර තැබීම නිසා අවසානයේදී ඒ සඳහා පෞද්ගලික බැකෝ යන්ත්‍රයක් යොදා ගැනීමට සිදු විය. ඊටත් වඩා බේරාගත් දරුවා රැගෙන යාමට පවා ගිලන් රථයක් ඒ අවස්ථාවේදී නොවීය. අවසානයේදී ඒ සඳහා සහායට ආවේ කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් අංශයේ සේවයට යොදවන පෙර ගමන් කැබ් රථයයි. 


එදින ඇද හැලුණු මුරුගසන් වරුසාවෙන් බිඳක් හෝ පසු දින කුරුණෑගලට ඇද හැලුනේ නැත. සජීතගේ අවාසනාවන්ත මරණය දුටු අහසටද හඬන්නට කඳුළු නැති වූවා සේය. 

 


සජිතගේ මරණ පරීක්ෂණය සිදු කළ කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂණ සාම විනිසුරු ධර්මකීර්ති අමරසිංහ මහතා පැවසුවේ මෙවැන්නකි. 


මේ දරුවා අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණත් ඊට වගකිව යුතු පාර්ශව රැසක් තිබෙනවා. පරිසරයට අහිතකර ලෙස ඉදිකර තිබෙන ඉදිකිරීම් මේ දරුවාගේ මරණයට හේතුවී  ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම පාසල් ළමුන් විශාල පිරිසක් නිරන්තරයෙන්ම ගමන් කරන මෙවැනි පටු මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම පොලීසිය ඇතුළු වගකිව යුතු බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් වෙනවා. මින් ඉදිරියටවත් මේ  අනතුර සිදු වූ මාර්ගය දරුවන්ගේ ආරක්ෂාවට සුදුසු මාර්ගයක් ලෙස සකස් නොකළහොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියටත් වෙන්න පුළුවන්. එසේම දරුවන් වගේම වැඩිහිටියන්ද මෙවැනි අධික වර්ෂා කාලයට මාර්ගවල ගමන් කිරීමේදී බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුමයි. මීට පෙරත් මේ හා සමානම අවාසනාවන්ත අනතුරු දෙකක් මහනුවර සහ කොළඹ ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා.”  

 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Next

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

Realted Post

Leave a comment