සමරිසි sex තහනම්ද?

 

සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ දෙදෙනකු අතර ඇතිවන ආදර ආකර්ෂණය, ලිංගික ආකර්ෂණය හෝ ලිංගික හැසිරීමයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදුය.  

 


සමලිංගිකත්වය අස්වාභාවික ද?
ද්විලිංගිකත්වය සහ විෂමලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වයද ප්‍රධාන ලිංගික දිශානති තුනෙන් එකකි. එක් පුද්ගලයකුගේ ලිංගික කැමැත්ත තීරණය වන්නේ කෙසේදැයි නිශ්චිතවම හඳුනාගෙන නැත. එය ජානමය, හෝමෝනමය සහ පාරිසරික බලපෑම් අතර වෙනස් විය හැකිය.


ඒ වගේම මවුපියන්ගෙන් හෝ පූර්ව අත්දැකීම් ඇති කෙනෙකුගේ ලිංගික ස්වරූපය තීරණය කිරීමෙහිලා බලපාන බවට සැලකිය යුතු සාක්ෂි ලැබී නැත. සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් ලෙස ඇතැම් පිරිස් විශ්වාස කරන නමුත් විද්‍යාත්මක පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් බවයි. ඒ තුළට යොමුවීම මඟින් මානසික ප්‍රතිඵල ඇති නොවන බවත් තහවුරු කර ඇත. ඒවගේම මනෝ විද්‍යාත්මක මැදිහත්වීම් මගින් ලිංගික දිශානතිය වෙනස් කළ හැකි බව ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්කි ද ලැබී නැත.

 


පසුගාමී සමාජයක්

අදහස් දැක්වීම - නීතීඥ ලක්ෂිකා රත්නායක

 


සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ තවමත් ඇත්තේ අතිශය පසුගාමී අදහසකි.  මේ හේතුව මත එදිනෙදා ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයට ලක් වූ අවස්ථා බොහෝය.  


ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ලංඝනය වූ අවස්ථා ද බොහෝය.

 


බොහෝ රටවල් ඉදිරියෙන්
ලිංගික දිශානතිය  සහ ලිංගික හැඳුනුම්කම් මත පුද්ගලයින්ට දඬුවම් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබූවකි. එහෙත් නූතන මනෝ - වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසලකන අතර දියුණු රටවල් මෙම ප්‍රජාව දඬුවමට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමට කටයුතු කර ඇත. බොහෝ රටවල් කටයුතු කරමින් පවතී.

 


අත්අඩංගුවට ගන්න බෑ
සමරිසි දෙදෙනෙකුට නිදහසේ සමාජයේ සැරිසැරීමට, එකට කටයුතු කිරීමට ඉඩකඩ නැති තරම්ය. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමාජය විසින් තවමත් යල් පැන ගිය මතවාද දරා සිටීමයි. සමලිංගික යුවළක් හෝටල් කාමරයක සිට අත්අඩංගුවට ගැනීමට පවා පොලීසියට බලයක් නොමැති අතර විවිධ අවස්ථාවලදී සිදුවන්නේ එයයි. එහෙත් විවිධ සමාජීය ගැටලු මත කිසිදු අයකු මෙවැනි අවස්ථාව දී නීතියේ පිහිට පතන්නේ නැත.

 


වෙනස් වෙන්න පුළුවන් 
ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ප්‍රශ්නයකදී මේ වනවිට අප රට ඇතුළතද එහි වෙනස්කම් සිදුකර ගැනීමට  ඉඩකඩ සකසා ඇත. එවැනි අවශ්‍යතාවක් ඇති අයකුට වෛද්‍ය උපදෙස් මත, වෛද්‍යවරයකුගේ සහතිකයක් ඉදිරිපත් කර හෝමෝන මගින් ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කරගත හැකිය. මේ සඳහා යොමුවීමේදී කිසිවෙකුගේ බලපෑමකට එය සිදු නොකරන බවත්, යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත් තහවුරු කළ යුතුය.


මේ වනවිට රට තුළ පවතින ආර්ථික අස්ථාවර භාවය හමුවේ හෝමෝන මගින් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කර ගැනීමට සිටින ප්‍රජාව ප්‍රශ්න රැසකට මුහුණ දී සිටිති. ඒ ඖෂධ හිඟයයි. බොහෝ දෙනකු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර අතරමග නතර කර ඇති අතර තවත් පිරිසක් රජයේ රෝහල්වලට යාමට මැළිකමක් දක්වති. 

 


ළමා වියේදීම හඳුනාගන්න
උපතේදී හිමිවුණු ලිංගික අවයවයට අදාළ ලිංගිකයන් පිළිබඳව බොහෝ විට කුඩා අවධියේ සිටම  හිතේ හැඟීම් පහළ නොවේ. බොහෝ ගැහැනු දරුවන් කුඩා කාලයේදී කලිසම් ඇඳීමට වඩා ප්‍රිය කරන අතර එය ඒ තරම් තැකීමක් නොකරන අතර පිරිමි දරුවකු ගවුම් ඇඳීමට, ලිප්ටික්ස් ගෑමට, සෙල්ලම් කිරීම සඳහා බෝනික්කන් තෝරාගන්නේ නම් එතැන ගැටලුවක් ඇත. වෛද්‍ය විද්‍යාත්මකවද මෙය සනාථ කර  ඇති අතර එහිදී මතුවන්නේ සිතෙහි තිබෙන ලිංගිකත්වය යි. මෙවැනි පිරිස් පාසලේදී, රැකියා ස්ථානවලදී, පොදු ස්ථානවලදී විවිධ හිංසාවන්ට පීඩාවලට ලක්වේ. පාරේ සිටින විට පවා මොවුන් අයාල පනත යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකරයි. මෙම පනත හැටේ දශකයේදී පමණ ලංකාවට හඳුන්වා දුන් පනතක් වන අතර එය අදට වලංගු නොවේ. එහෙත් මෙවැනි පුද්ගලයන් අදටත් අත් අඩංගුවට ගැනීම සිදුවන්නේ මෙම පනත අනුවය.

 


නච්චි කියන්නේ කාටද? 
මෙම ප්‍රජාව අතර නච්චි යනුවෙන් හඳුන්වන කොටසක්  ඇති අතර ඔවුන් වෙනුවෙන් සමාජය විවිධ නම් භාවිතා කරයි. මෙම ප්‍රජාව අතරේත් විවිධ තරාතිරම් ඇත. මෙම කුඩා ප්‍රජාව අතරේද ආර්ථික, සමාජීය වෙනස්කම් ඇත. මුදල් ගැවසෙන පිරිස් තමන්ට අවශ්‍ය වෙනස්කම් කරගන්නා අතර මුදල් නොමැති බොහෝ පිරිස් තවමත් පීඩා විඳිති.

 

ඔවුන්ට නීතිය බලපාන හැටි 
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් කොට සැලකීමට නොහැකි බව ප්‍රකාශ කොට ඇති අතර එය 12 (2) හි තහවුරු කර ඇත. එසේ සඳහන් කර තිබියදීත් වෙනස්කොට සැලකීම සිදුවෙයි.


ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (1883) 365 සහ 365 අ වගන්තිවලට අනුව “ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය” සාපරාධී වරදකි.  ඒවා “තදබල අශෝභන ක්‍රියා” ලෙස හඳුන්වනු ලබයි.
එම වගන්තියෙන් යොදාගෙන ඇති පදවලට දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලි නිර්වචනයක් ලබා දී නොතිබුණද එකඟතාව මත ඇතිවන ලිංගික සබඳතාද සාපරාධීකරණය කිරීමට මෙම වගන්ති දෙකම යොදාගෙන ඇත.


මෙවැනි අපරාධයකට වරදකරු වන පුද්ගලයකු වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකිය. දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය හරහා “ස්ත්‍රී පුරුෂ සමාජභාවය වසන් කිරීම” සාපරාධීකරණය කරනු ලබන අතර මෙය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට එරෙහිව නිතර භාවිත කරනු ලබන්නේ ජනතාව නොමඟ යැවීමේ චෝදනාවට එරෙහිව නඩු පැවරීමේ කටයුතුවලදීය.
මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්මත හා නොගැළපෙන බාහිර පෙනුම ඇති පුද්ගලයින් බිය වැද්දීම ඔවුන්ගෙන් කප්පම් ගැනීම, රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම සඳහා පාදඩ ආඥා පනතේ (1842) අයාලේ හැසිරීමට අදාළ විධිවිධානද බොහෝ විට යොදාගෙන තිබේ.

 


නීති වෙනස් වෙන්න ඕනෑ 
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් පසුගියදා  ජනාධිපතිවරයාට භාරදීම සිදු කෙරුණි.
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබිණි.

සුජිත් ප්‍රසංග


 

 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post

Leave a comment