සැබෑ නත්තල විසිතුරු ලෝකයක් නොවේ

අදහස් දැක්වීම- වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනී 
ඇන්ටනට් ප්‍රියංජලීි රොබට්ස් පැවිදි සොයුරිය 

සමස්ත ලෝකය පුරාම එක ලෙසකින් මහත් වූ උත්සවාකාරයෙන් සමරනු ලබන්නේ නත්තලයි. මේ කාලය පෙරට වඩා මුළු ලෝකයම විශාල ආර්ථික අභියෝගයකට මුහුණ පා සිටින යුගයක්. එහෙත් ක්‍රිස්තු භක්තිකයින් පමණක් නොවෙයි අන්‍යලබ්ධිකයෝ පවා වසර අවසානයේ එළැඹෙන නත්තල් උත්සවය සමරන්නට කැමැත්තක් දක්වති.


සැබවින්ම නත්තල යනු උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු උත්සවයක්ද? නත්තලෙහි සැබෑ අරුත විය යුත්තේ කුමක්ද? 

 

සාමයේ පණිවුඩය ගෙනා ජේසු බිලිඳාගේ උපත
නත්තල යනුවෙන් හඳුන්වන්නේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා වන ජේසු බිලිඳාගේ උපත සැමරීමයි. මෙයින් අවුරුදු දෙදහස් විසි දෙකකට පෙර දෙසැම්බර් මාසයේ 24 වැනිදා මැදියම් රාත්‍රියේදී 25 වැනිදාට එළිවෙන්නට බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගව ලෙනකදි ජේසු බිලිඳාගේ උපත සිදු වුණා. ඒ වන විට රෝම අධිරාජ්‍යයේ පාලනය ගෙනගිය හොරෝප්ගේ අසාධාරණ පාලනය සහ අයුක්තිය හමුවේ ජනතාව දැඩි පීඩනයට පත් වෙලා සිටියා. අසාධාරණ ලෙස බදු අය කිරීම්, කෲර දඬුවම් ලබා දෙන අයුක්ති සහගත අසාධාරණ පාලනය හේතුවෙන් ජනතාව දැඩි කලකිරීමට බඳුන් වී සිටියා. මිනිසුන් අතර වෛරය, ක්‍රෝධය, අසමගිය, පැතිරී ගිය ඒ යුගයේදී ලෝකයට සාමය රැගෙන රජ කුමරුවකු බිහි වෙනු ඇතැයි මිනිසුන් අපේක්ෂා කළා. ලෝකයට සාමය රැගෙන කන්‍යාවකගේ කුසින් ‘එම්මෑනුවෙල්’ නමින් කුමරෙකු බිහිවෙනු ඇතැයි දිවැසිවරුන් අනාවැකි පළ කර තිබුණා. ඒ අනාවැකිය ඇත්තක් බවට පත් කරමින් කන්‍යා මරිය මව්තුමිය විසින් ජේසු බිලිඳා මෙලොවට බිහි කරනු ලැබුවා.


දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා රජ කුමරකු වෙනු ඇතැයි මිනිසුන් අපේක්ෂා කළා. එහෙත් ජේසු බිලිඳා උපත ලැබුයේ දිළිඳු එf`ඩ්ර ගම්මානයක.


දිළිඳු ගවලෙනක. සැතැපුණේ ගව ඔරුවක. සාමාන්‍ය දුප්පත් මිනිසුන්ගේ පුත්‍රයකු ලෙස දේව වාක්‍ය ඉටු කරමින් ජේසු බිලිඳා මෙලොවට බිහිවුණු බව වල්ගා තරුවක් පායලා ලෝකය වෙත දන්වා සිටියා. ජේසු බිලිඳා සාමාන්‍ය ජනතාව අතර හැදී වැඩී සාමයේ පණිවුඩය ලෝකයට බෙදා දීමේ මෙහෙවර වයස අවුරුදු තිහේදී පමණ ආරම්භ කළා. 

 


කිතු උපත සැමරීම හෙවත් දේව පුත්‍රයාගේ උපත සැමරීම ඇරඹෙන්නේ ක්‍රිස්තු වර්ෂ තිස් තුනේදී පමණ ශුද්ධ වූ සභාවේ ආරම්භයත් සමගයි. ඒ අනුව ලෝකයේ සෑම රටකම ක්‍රිස්තු භක්තිකයන් දෙසැම්බර් 24 වැනිදා මැදියම් රාත්‍රියේ දේව පූජාවට සහභාගි වීම සඳහා දේවස්ථාන වෙත යනවා.        


පසුදා එනම් 25 වැනිදා කිතු උපත සමරමින් ප්‍රීති උත්සව පවත්වනු ලබනවා. 

 

වර්තමානයේ නත්තල වාණිජකරණයට ලක්වෙලා
අතීතයේ පැවැති නත්තල බොහොම සරල ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වූ එකක්. වර්තමානයේ මෙන් අති උත්කර්ෂවත්, බාහිර අලංකරණයට මුල් තැන දුන් එකක්  නොවේ. මෙකල මෙන් විශාල ලෙස වියදම් කරමින් බාහිර ආටෝප සාටෝපයන්ගෙන් සැරසෙමින් නත්තල සමරන්නැයි දේව සභාව උපදෙස් ලබා දී නැහැ.


වර්තමානයේ නත්තල වාණිජකරණයට ලක්වෙලා. එය බාහිර සැරසිලිවලින් අලංකාර විසිතුරු ලෝකයක් මවා දෙන ප්‍රීති උත්සවයක් බවට පත්වෙලා. ජනතාව විසින්ම ඇති කර ගෙන තිබෙන මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන වෙළෙඳුන් හෝ වානිජමය අරමුණු ඉටු කෙරෙන නැති බැරි මිනිසාට සරලව සමරන්න බැරි උත්සවයක් බවට නත්තල පත් වී තිබීම කනගාටුදායකයි.

 

සාමය, සමග බෙදන නත්තලක් 
සැබවින්ම නත්තලේ අරුත මෙය නොවේ. නත්තලෙහි සැබෑ අර්ථය වන්නේ එකිනෙකා අතර සාමය සමගිය ආදරය කරුණාව බෙදා හදා ගැනීම, නැති ගතිගුණ ප්‍රවර්ධනය කර ගැනීමයි. එකිනෙකා අතර වන පටු  අදහස් හා භේද දුරලා, ආදරය දයාව පතුරුවා හැරීමයි. සමගි සම්පන්නවීමයි. අද වන විට අපේ රටේ  ජනතාව විශාල ආර්ථික ගැටලුවකට මුහුණ පා සිටිනවා. අසල්වැසියාට ප්‍රේම කරන්න යැයි ක්‍රිස්තු ධර්මයේ කියාදෙනවා. අපේ අසල්වැසියා කුසගින්නෙන් පෙළෙන බව අපිට නොදැනෙනවා නම්, අසල්වැසියාගේ ආර්ථික අපහසුතාව ගණන් නොගෙන තමන් පමණක් හොඳට කා බී ප්‍රීති වෙනවා නම් සැබෑ කිතුනු බැතිමතෙකු වෙන්නේ නෑ.

අසල්වැසියාට සැබවින්ම ඔබ ප්‍රේම කරනවා නම් නැතිබැරි අයගේ දුක හඳුනාගෙන ඒ අයටත් පිහිට විය යුතුයි. තමන්ට තිබෙන ප්‍රමාණය අනුව බෙදා හදා ගෙන නත්තල සැමරිය යුතුයි. එයයි නත්තලේ සැබෑ අරුත වන්නේ. ඒවාගේම විසිතුරු අලංකාර වර්ණවත් ලෝකයක් මවා පානවාට වඩා අනවශ්‍ය වියදම් කපා හැර ඒ සඳහා වැයවන අමතර මුදල් දිළිඳු නැති බැරි අයගේ ආහාරපාන, ඇඳුම් පැලඳුම්, බේත් හේත්, පොත්පත් වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පරිත්‍යාග කළ හැකි නම් ඔබගේ නත්තල සැබවින්ම අරුත්බර සැමරුමක් බවට පත්වේවි. නත්තල සැමරීම සඳහා අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් ණය වෙන්නටත්, ඉදිරි වසරේ වියදම් සඳහා මුදල් මදිවීමටත් ඉඩ තිබෙනවා. එහෙයින් නත්තලෙහි සැබෑ අරුත පසක් වන පරිදිි සරලව, සාමයෙන් සහයෝගයෙන් හා ආධ්‍යාත්මික භක්තිය පෙරදැරි කරගෙන නත්තල සැමරීම කාලෝචිතයි.

සාගරිකා දිසානායක


 

 

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Previous

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment