සෙනසුරු මාරුව රටට බලපාන හැටි

 

  • ලබන වසරේ ආණ්ඩුව හෙළවෙයි?
  • ප්‍රබල කටක ලග්න හිමියෝ දෙදෙනෙක් රටේ බලය ගනීද?   

මේ වසර මුලදීම එවකට සිටි පාලකයන්ට රාජ්‍ය තන්ත්‍රය අතහැර යාමට සිදුවෙන බව පැවසීම වගේම විදේශීය ග්‍රහණයකට රට නතුවනබව සහ ජනාධිපතිවරයා කවුද යන්න පිළිබඳව අපි සාර්ථක අනාවැකි ඔබට රැගෙන ආවෙමු. ඒ අනුව ඉදිරියේදී සිදුවන ග්‍රහමාරුව සැලකිල්ලට ගනිමින් ඒ ඇසුරින් කරන ලද ජ්‍යෝතිෂ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ඉදිරි කාලයේදී රටේ දේශපාලනය සහ රටට උදාවන යහපත අයහපත තොරතුරු පිළිබඳ ජ්‍යෝතිෂ විග්‍රහයකි මේ, 
මිනිසුන්ගේ නැගිටීම පාලනය වුවත් අ`ඵ යට ගින්දර ඇවිලෙමින් තිබේ. ඒ ඇවිලෙන ගින්දර ආණ්ඩුව වෙනස් කිරීමට උත්සහ කරයි. කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් තුළින් ආණ්ඩුව එහා මෙහා වීමක් සිදු වේ. 

 


සෙනසුරු මාරුවක්

ප්‍රවීණ ජ්‍යොතිෂාචාර්ය නීතිඥ නාමල් ප්‍රේමවර්ධන,
පාදුක්ක

 


ශ්‍රී ලංකා කේන්දරයේ අපි බැලිය යුත්තේ ලග්නාධිපති කුම්භ ලග්නයට හිමි ප්‍රධාන ග්‍රහයා සහ දේශපාලන සන්නිවේදකයා වන සෙනසුරු ග්‍රහයා පිළිබඳවයි. ඉදිරියේදී වසර විසි නවයකට පසුව නැවතත් සිදුවන සෙනසුරු ග්‍රහ මාරුවෙන් රටේ ඉදිරි කාලය ගැන ජ්‍යෝතිෂය අනුව අනාවැකි පල කළ හැකිය. එයින් බොහෝවිට රටේ අනාගතය තීරණය වන බවද කිව යුතුය. 


ලබන වසරේ එනම් දෙදහස් විසිතුනේ ජනවාරි මස දාහත්වැනි දින නැවත එවැනි ග්‍රහමාරුවක් සිදු වේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තිබේ. එනම් මීට සමාන ග්‍රහ මණ්ඩලයක් එක්දහස් නවසිය අනූ තුන වසරේදී ද (1993) ඇති වී තිබෙන බවයි. අවුරුදු විසි නවයකට පසුව නැවත එය සිදු වේ. 


එක්දහස් නවසිය අනූ තුන වසරේ නොවැම්බර් නව වැනිදා සෙනසුරු කුම්භ ලග්නයට පැමිණ තිබේ. එසේ පැමිණීටම පෙර සෙනසුරු ග්‍රහයා විටින් විට මකර රාශියේ සහ කුම්භ රාශියට මාරුවෙමින් සිට ඇත. විශේෂයෙන් මකර සහ කුම්භයට යමින් සෙනසුරු තමන්ගේම රාශියක ගමන් කරමින් සිටීමෙන් එම කාලයේ තාවකාලික නායකයින් පත් වේ. එදා බිහි වූයේ ඩී.බී. විජේතුංග නම් ජනාධිපතිවරයායි. ඒ ලෙසටම මේ වසරේ එනම් දෙදහස් විසි දෙකේ ජූලි හය වනදාත් සෙනසුරු මකරට සහ කුම්භයට මාරුවීම සිදුවීමෙන් අනතුරුව එහි ප්‍රතිඵලයක් ලෙස රටට නව ජනාධිපතිවරයෙන් පත්වීම සිදුවිණි. මේ දෙකම සිදුවූයේ එකම විදියකටය. 


ඉන්පසු අනූ තුන වසරේ නොවැම්බර් නවය සෙනසුරු කුම්භයට ගිය පසුව අනූ තුන වර්ෂයේ සිට අනූ පහ වසර දක්වා සමස්ත ආණ්ඩුවම වෙනස් වී නව පාලනයක් බිහි වී තිබේ. එසේම 2023 ජනවාරි 17 වැනිදා මෙලෙසම කුම්භයට සෙනසුරු ගමන් කරයි. එය වසර දෙකක් පවතී. එහිදී නිසැක වශයෙන්ම ආණ්ඩුව පෙරලෙන බව කිව හැකිය. පත්ව සිටින ජනාධිපතිවරයාගේ උප්පත්ති කේන්දරයේ බලවත් බව  අනුව ටික කාලයක් ඉන්නට ඉඩ ලැබුණත් ඉක්මනින්ම බලයෙන් ඉවත්වීමට සිදුවන බව පැවසිය හැකිය. එහෙත් දැනට බලය දරන පිරිස අතින් බලය ගිලිහී ගොස් විපක්ෂයේ පොදු සන්ධානයක් තුළින් නව ආණ්ඩුවක් බිහිවන බවද සඳහන් කළ හැකිය.
මේ ආකාරයේම ග්‍රහ පිහිටීමක් අනූ තුන වර්ෂයට කලින් තිබී ඇත්තේ එක්දහස් නවසිය හැටහය වර්ෂයේදීය. එහිදී එවකට සිටී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියටද මේ තත්ිත්වය උදා වූ බව කිව හැකිය. ඇයගේ පාලන තන්ත්‍රයේ සිට ආණ්ඩුව පෙරලී නැවත ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවක් 1966 වසරේදී ඇතිවූයේ මෙම ග්‍රහ වෙනස්වීම සමගය. ඒ අනුව කිව හැක්කේ සෙනසුරු කුම්භයට යන සෑම අවස්ථාවකම ආණ්ඩුව පෙරලෙනබවයි. 1966 වසරේදීත් 94 වසරේදීත් එය සිදුවූවා සේම 2023 වර්ෂයේදීත් මේ ක්‍රියාව එලෙසම සිදුවන බව ප්‍රකාශ කළ හැකි වේ.


මේ කාලයන්හීදී රට දරුණු ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්බව රහසක් නොවේ. 1966දීත් විශාල පරිහානියකට පත්ව තිබේ. සෙනසුරු යනු භූමියට සහ ලංකාවට අධිපතියායි. එම නිසා අනිවාර්යයෙන් මේ පිඩාකාරී තත්ත්වයට රටේ ජනතාවට මුහුණ පාන්නටම සිදුවෙනු ඇත. 

 


මෙය සිදුවන්නේ කොහොමද?
එයට හොඳම තල්ලුව ලැබෙන්නේ 2023 අප්‍රේල් මාසයේදී සිදුවන විශේෂ ග්‍රහ මාරුවක් තුළයි. ඒ ගුරු ග්‍රහයා මේෂයට පැමිණීමත් සමගයි. එනම් කුජගේ රාශියට පැමිණීමෙනි. 1994 වර්ෂයේදී පොදුජන එක්සත් පෙරමුණ පැමිණෙන විටදී ගුරු ග්‍රහයා සිටියේද කුජගේ රාශිය තුළයි. ඒ අනුව ලබන වසරේ ජූනි සහ ජූලි මාසය වනවිට නිසැක වශයෙන්ම මෙම ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු සිදුවනු ඇත.


නම්ගම් වශයෙන් බලයට පැමිණෙන පුද්ගලයන් ජ්‍යෝතිෂ අනුව පැවසිය නොහැකි නමුත් මීළඟට පැමිණෙන්නේ මීන ලග්න හිමියෙකු බව පවසමින් මීළඟ ජනාධිපතිවරයා පැමිණීම ගැන අප කළ අනාවැකිය සඵල වුණා සේම නැවත ආණ්ඩුව පෙරලෙන විට ඒ පිළිබඳ තවත් අනාවැකියක් සඳහන් කළ හැකිය. එනම් විපක්ෂයේ ප්‍රබල කටක ලග්න හිමියන් දෙදෙනකු මේ ආණ්ඩුව ඩැහැ ගැනීමට කටයුතු කරනු ඇති බවයි. එම කටක ලග්න හිමියන් දෙදෙනා අතිශයින් බලවත් වේ. වෘශ්චික ලග්න හිමියෙක් බලවත් වුවත්, රටේ නායකත්වය දැරීමට තරම් ප්‍රබල තත්වයක් නොපෙන්වයි.

 


ආර්ථික පීඩනයෙන් නිදහසක් ලැබෙයිද?
දැන් පවතින්නේ ජනතාවට හිස එසවීමට නොහැකි ඉතාමත් අපහසු කාලයකි. ඒ පවතින ආර්ථික පීඩනයෙන් ජනතාවට සහනයක් ලැබෙන්නට නම් සෙනසුරුත් මාරු වී ගුරුත් මාරු විය යුතුය. එම නිසා මේ තත්ත්වයෙන් යන්තම් හෝ සහනයක් ලැබෙන්නේ ලබන වසරේ ජූනි මාසයෙන් පසුව බව සඳහන් කළ හැකිය.  


 


නයනා උදයංගනී 


          

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post

Leave a comment