සොරකම් වැඩිවෙලාද?
“ගෙයක් කඩා ලක්ෂ ගණනක රන්, සල්ලි උස්සලා..”
“පාරේ ගිය කතගේ පවුමක් වටිනා මාලය කඩාගෙන”
“කඩයකට පැන මුදලාලිගේ බෙල්ලට පිහියක් තියා සිගරට් බණ්ඩලයක් අරන් පැනලා”
පසුගිය කාලයේ බොහෝ මාධ්‍ය මඟින් මෙවැනි සිදුවීම් එක දිගට වාර්තාවෙද්දී බොහෝ දෙනකුගේ මතය වූයේ පවතින ආර්ථික අර්බුදය මත සොරකම්, මංකොල්ලකෑම්වල යම් ප්‍රවණතාවක් සිදුව ඇති බවයි. රට පුරා යම් ආර්ථික අර්බුදයක් දක්නට හැකි වුවද මෙයට සාපේක්ෂව සමාජය තුළ වංචා සහගත සිද්ධීන් වැඩි වී ඇති දැයි සොයා බැලිය යුතු කාරණාවකි.
ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව
මහතා පැවසුවේ මෙවැනි අදහසකි.
රට පුරා ගෙවල් බිඳුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, කැරලි කෝලාහල, පැහැර ගැනීම් ආදියෙන් පිරී පවතින්නේද යන්න පිළිබඳ යම් නිගමනයකට එළඹෙන්නේ එම සිද්ධීන් සම්බන්ධව පොලිස් ස්ථානවලට ලැබෙන දත්ත මගිනි. උදාහරණයක් ලෙස 2018 වසරේ රටපුරා වාර්තා වූ ගෙවල් බිඳුම් සංඛ්‍යාව 8000 ආසන්නය. පිළිවෙළින් 2019 වසරේ 8000 කට ආසන්න වන අතර 2020 දී 6500 පමණ වාර්තා වුණා. 2020 වසරේ පෙර වසරවලට වඩා ගෙවල් බිඳිම් සංඛ්‍යාව අඩු වී ඇත්තේ කොවිඩ් වසංගතය ව්‍යාප්තවීමත් සමග බොහෝ දෙනකු නිවෙස්වලම කාලය ගත කළ බැවින් නැවත පසුගිය වසර (2021) තුළ වාර්තාවන ගෙවල් බිඳුම් සංඛ්‍යාව 6800 කි. වසර 2022 සැප්තැම්බර් 30 වැනි දිනට එනම් මාස 9කදී වාර්තාවන සංඛ්‍යාව හයදහසකට ආසන්නයි. වසර අවසානවීමට තවත් කාර්තුවක් තිබියදී වාර්තාවන සංඛ්‍යාව පෙර වසර හා සංසන්දනය කිරීමේදී ගෙවල් බිඳුම් වාර්තාවීම් වැඩි වී ඇතැයි පූර්ව නිගමනයකට පැමිණිය නොහැකියි. ඒවගේම
මංකොල්ලකෑම් 2021 වසරේ මාස අටක් තුළ 350කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මේ වසරේ එම
කාලය තුළ වාර්තා වන්නේ හාරසියයකට අඩු සංඛ්‍යාවක්.
අපරාධ වැඩිවෙන්නේ ඇයි?
පසුගිය කාලය තුළ සමාජයේ බොහෝ දුරට දක්නට ලැබුණේ නීතියට අවනත නොවීමේ තත්ත්වයකි. විවිධ ආර්ථික ප්‍රශ්න, පෝලිම්, රැකියා අහිමිවීම් වැනි අර්බුද මත බොහෝ මිනිසුන් ජීවත්වූයේ ආවේගශීලීවය. බොහෝ අය නීතියට අවනත නොවී කටයුතු කළ අයුරු දක්නට ලැබුණු අතර පහරදීම්, මරණයට පත්කිරීම්, වෙඩි තැබීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා සාමාන්‍ය දෙයක් ලෙස සිතන මට්ටමට සමාජය පත්විය. සංවිධානාත්මක අපරාධකරුවෝ පවා මෙම අර්බුදය ඉදිරියට දමා තම පළිගැනීම් ක්‍රියාවල නිරත වූහ.
යම් සිද්ධීන්වල සුළු වැඩිවීමක් දක්නට ලැබුණද බොහෝ අපරාධමය සිද්ධීන් වාර්තාවීම රටේ ජනගහනය හා සංසන්දනය කිරීමේදී ගන්නේ සුළු ප්‍රතිශතයකි. රටේ පවතින යම් අර්බුදකාරී තත්ත්වය මත මෙවැනි සිද්ධීන්වලින් සමාජය මුදවාගැනීමට යම් කාලයක් අවශ්‍ය ය.
මෙය ආසියාතික රටවල වාර්තාවන සිද්ධින් හා සමාන කෘාරත්වයට පත්වන තරමේ අපරාධ බහුල සමාජයක් නොවේ.
මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා
අදහස් දැක්වීම - |
ලංකාවේ සියලු පොලිස් ස්ථානවලට ලැබෙන පැමිණිලි මත මෙම සිද්ධීන් පිළිබඳව තොරතුරු ගණනය කෙරේ. සංඛ්‍යාලේඛන අනුව පෙන්වන ප්‍රමාණයට වඩා සමාජයේ සොරකම්, වංචා සිදුවෙතැයි සාමාන්‍ය ජනතාවට සිතෙන්නේ වෙනදාට වඩා සාපේක්ෂව මාධ්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බැවිනි.
අද වනවිට බොහෝ ස්ථානවල සී.සී.ටී.වී. කැමරා පද්ධති සවිකර තිබීම නිසා යම් සොරකමක්, මංකොල්ලකෑමක්, පැහැරගැනීමක් සිදු වූ විට මෙහි රූප රාමු පොලීසියටත් පැමිණීමට ප්‍රථම සමාජ මාධ්‍ය වෙත මුදා හැරේ. එකම සිද්ධිය විවිධ කෝණ මගින්, විවිධ සටහන් මගින් පළවීම මත බොහෝ දෙනා සිතන්නේ සිදුවීම් කිහිපයක් බවය. ප්‍රධාන මාධ්‍ය හරහා ද වාර්තාවීමත් සමග එය තවත් වැඩි වේ. ඒ නිසා මෙවැනි සිද්ධීන් වාර්තා කිරීමේදී මාධ්‍යයට වඩා වැඩි වගකීමක් පැවරෙයි.
පොලීසියට සෑම සිද්ධියකම පැමිණිලි ලැබෙනවාද?
නොලැබෙන පැමිණිලිත් ඇත යැයි සිතිය හැකිය. නිවෙසකට පැන ඉතා සුළු දෙයක් පැහැරගැනීමේ වැනි සිද්ධියක් පැමිණිලි කිරීමට යාම කාලය කා දැමීමකැයි සිතිය හැකි කොටසක් ඇත. එහෙත් බහුතරයක් පැමිණිලි ලැබෙනවායැයි සිතියද හැකිය.
උදාහරණයක් ලෙස බසයකදී, දුම්රියකදී පසුම්බියක් සොරකම් කර ඇති අවස්ථාවක එහි තිබුණේ සුළු අපරාධ මුදලක් බැවින් පැමිණිල්ලක් දැමීම නිෂ්ඵල කාර්යයක් යැයි සිතුණද එහි ඇති ලියකියවිලි (හැඳුනුම්පත්, බැංකු කාඩ්) සොයාගැනීම මත පැමිණිල්ලක් කිරීමට සිදු වේ. ඒ අනුව පොලිසියට සුළු අපරාධමය පැමිණිලි ලැබෙන්නේ නැතැයි සිතිය නොහැක.
කාලයත් සමග සමාජයේ වෙනසක්
අතීතයට වඩා වෙනස්ම සමාජයක් වර්තමානයේ දක්නට ඇත. මිනිසුන්ගේ අවශ්‍යතා වැඩිවන විට, ලෝකය දියුණු වනවිට අපරාධ වැඩිවෙයි. අද වනවිට මත්ද්‍රව්‍ය වෙළඳාම බහුලව සිදුවෙයි. මේ සඳහා තරුණ පරපුර යොමුවන අතර බොහෝ සොරකම් සිදුවන්නේ ඔවුන් අතිනි. ගිනි අවි, ගංජා, කුඩු වැනි දෑ පුද්ගලයන් නොමැතිව අත්අඩංගුවට ගැනීම් සිදු වේ.
තාක්ෂණය දියුණු වීමත් සමග පරිගණක, ජංගම දුරකථන සමාජගතවීම සමග සිදුවන වංචා, සොරකම් ආදියද දවසින් දවස එකතු වේ. එය පාලනය කළ නොහැකි තත්ත්වයකි.
වංචාව හා බැඳුණු සමාජයක්
අද වනවිට දැකිය හැක්කේ ආත්මාර්ථකාමී බවෙන් සහ වංචාවෙන් පිරුණු මිනිසුන් පිරි සමාජයකි. එකිනෙකා එකිනෙකාට වංචා කරයි. සමාජයේ වගකීම් සහිත වෘත්තිකයන්ගේ සිට සෑම පුද්ගලයකු තුළම ඇත්තේ වංචාව ය.
උදාහරණයක් ලෙස සිල්ලර කඩයක් ගතහොත් එතැන බඩු කිරා දෙන්නේ පාරිභෝගිකයා රවටමිනි. වෙළෙන්දා පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සලකන්නේ නැත. ආපන ශාලාවක කුණු කෑම විකුණන්නේ එය මිලට ගන්නා පුද්ගලයාගේ සෞඛ්‍යය ගැන නොසිතමිනි. මේ අනුව බලන විට සමාජයේ අයකුම තම තමන්ගේ අරමුණු උදෙසා කාට හෝ වංචාවක්, අගතියක් සිදු කරයි. මේවා දඬුවම් දිය නොහැකි අපරාධ ය. සමාජය පිරිහීමට පත්ව ඇත්තේ මෙවැනි ක්‍රියා හේතුවෙනි.
දෙකෝටියකට අධික ජනගහනයක් ජීවත්වන රට තුළ වසරකට අපරාධමය සිදුවීම් වෙනත් ආසියාතික රටවල් හා සැසඳීමේදී වාර්තාවන්නේ ඉතා සු`ඵ ප්‍රමාණයකි. සංඛ්‍යාත්මකව බැලුවහොත් 900කට එකක් වශයෙනි. ඒ අනුව බලන කල අපට රට දරුණු ගණයේ සොර මැරකම් බහුල විවිධ අපරාධ පිරුණු රටක් ලෙස හැඳින්විය නොහැක. කෙසේ නමුත් මෙවැනි අපරාධමය තත්ත්වයන් රට තුළ නොමැති වුවද වංචාව, ආත්මාර්ථකාමිත්වය මූලික කරගත් මිනිසුන් දවසින් දවස සමාජගතවන බව පැහැදිලි කරුණකි.
සුජිත් ප්‍රසංග
Leave a comment