හරියට ගොතා හැඩ බීරලු රේන්දේ ලෝකෙ පුරා යවමුද අපි රෝන්දේ

 

දකුණු පළාතේ වැල්ලබඩ ආශ්‍රිතව ජීවත්වන කාන්තාවන්ට ආවේණික හැට්ටයකි කබාකුරුත්තාව. මේ කබාකුරුත්තාවේ කර ප්‍රදේශය සහ අත් වාටිය හැඩවුණේ බොහොම අලංකාර රේන්දයකිනි. දකුණු පළාතටම ආවේනික මේ බීරළු රේන්දය පසු කාලයක උඩරටටත් ව්‍යාප්ත වූ අතර මේ බීරළු රේන්දය අලුත් තාලයට හැඩ ගැසීමට කාලයයි.


බීරළු රේන්ද කලාව කුමන කාලයක, කොතැනින් ඇරඹුණා දැයි සාධක නැතිවුවද මේ රේන්ද ප්‍රයෝජනයට ගත්තේ ප්‍රභූ පරම්පරාවයි. ප්‍රංශයේ 14 වැනි ලුවී රජතුමා,  එංගලන්තයේ ⁣තුන්වැනි හෙන්රි රජතුමා බීරලු කලාවට ඇල්මක් දැක් වූ අතර ඉතාලියේ milunese sfoza  පවුලට අනුව බීරලු රේන්දයේ ආරම්භය සිදු වී ඇත්තේ බීරලු 12කිනි.


මුල් කාලයේ රන් සහ රිදී පැහැ වර්ණවලින් යුතු සිල්ක් නූල් භාවිතා කළත් පසුව සුදු කරන ලද (bleach) ලිනන් නූලද කපු නූලද භාවිතා කරනු  ලැබ ඇත.


පෘතුගීසින් මෙරට පැමිණීමත් සමග බීරලු රේන්ද කලාව දකුණු දිග වෙරළ තීරය ආශ්‍රිතව ව්‍යප්ත වූ අතර එහි කාන්තාවන්ට පමණක් ආවේණික වූ කබාකුරුත්තාව හෙවත් අත් දිග හැට්ටය හැඩවූයේ මෙම බීරලු රේන්දයෙනි. එය පහතරටින් උඩරටට ව්‍යාප්ත වූයේ භාණ්ඩ හුවමාරු ක්‍රමය ඔස්සේය.⁣


මේ වනවිට ගාල්ල, මාගාල්ල, කොටුව, මාතර, වැලිගම ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් මෙම කර්මාන්තය භාවිතා වුවද බස්නාහිර සහ මධ්‍යම පළාත්වලද බීරලු ශිල්පීන් බිහි වී ඇත.


මොනවද මේ බීරලු රේන්ද
 ලීයෙන් කපන ලද කුඩා මෙවලමකට හෙවත් බීරලුවකට ඔතන ලද නූල් කොට්ටයක රඳවන ලද මෝස්තරයකට අනුව ඇල්පෙනිති රඳවමින් ගොතනු ලබන කලාත්මක වියමනකි. බීරලු රේන්ද කලාවේ මූලික වශයෙන් වර්ග 2 ක් ඇත. ඒ දෙපට වියමන සහ හතරපට වියමනයි. තවද මූලික වශයෙන් රේන්ද පටි වර්ග 2 ක් වන අතර එය  බීක්කු සහ පූච්චිය යන නම්වලින් හඳුන්වයි.


මෝස්තර අතර මූලික වශයෙන් මැස්සා මැද පටිය, වියමන මැද පටිය, හින්නි මැස්සා, කෙරුම් පෙත්ත බීක්කුව, වියමන් පෙති හතර පූච්චිය, මැස්සා සහිත වියමන් දෙක පූච්චිය, ලේන් හත්ත, අයින් පටිය, ලියවැල අයින් පටිය, කොට සැලැක්ක නවය, පුටු මැද්ද සහිත පිච්ච මල ප්‍රධාන තැනක් ගනී.

අදහස් දැක්වීම - 
ජාතික ශිල්ප සභාවේ ගුරු උපදේශිකා 
ස්ටෙලා එදිරිසිංහ 

 


බීරලු රේන්ද ගෙතීම සඳහා බීරලු කොට්ටයක් සදා ගත යුතුය. ඒ සඳහා කාලයෙන් කාලයට විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ හැඩ අනුව සකසා ගනී.


බීරලු රේන්ද (bobbing lace) අත් රේන්ද (crochet) තැටින් රේන්ද (tatting) රේන්ද වර්ග අතරින් ඉහළම ඉල්ලුමක් ඇත්තේ බීරලු රේන්ද සඳහාය. බීරලු රේන්දයේ තිබෙන කලාත්මක බව, එකිනෙකට වෙනස් වූ හැඩතලවලින් නිම වූ පාරම්පරික මෝස්තර සහ නව නිර්මාණ එහි වටිනාකම වැඩි කරයි.

 


බීරළු රේන්දය අද කාලෙට ගළපමු
සියවස් ගණනාවක් ඉපැරණි⁣ බීරලු රේන්දය අද දවසට ගැළපෙන ලෙස මංගල සාරිය දක්වාම භාවිතා කරයි, ගවුම්, සපත්තු, හෑන්ඩ් බෑග්, කරාබු ආදියට මෙන්ම මේස රෙදි ඇඳ ඇතිරිලි, ටේබල් මැට්, වීදුරු ආවරණ වැනි දෑට බීරලු රේන්දය භාවිතා කිරීමෙන් එම නිර්මාණවලට නැවුම් බවක් ලැබී ඇත. එමෙන්ම බීරලු රේන්දය භාවිතා කළ දෑ අධික මිල ගණන් යටතේ අලෙවි කළ හැකිය.

 

බීරලු ගෙතීමෙන් ලැබෙන වාසි
ඃ බීරලු ගෙතීම භාවනාවක් වැනිය. මනස සන්සුන් වේ.
ඃ බීරලු රේන්ද පිටරටවලට පවා අලෙවි කළ හැකිය.
ඃ තමන්ටම ආවේණික ලෙස නව නිර්මාණ කළ හැකිය.
ඃ දරුවන් පාසලට ඇරලවා නිකරුණේ කාලය ගතකරන මවුවරුන්ට සේම රැකියා විරහිතව සිටින තරුණියන්ට බීරලු රේන්ද කලාව ඉගෙන ගැනීමෙන් ආර්ථික වාසි අත්කරගත හැකිය.
ඃ තාක්ෂණය පසුපසම යන වයස අවුරුදු 13 - 15 දූ දරුවන්ටද බීරලු රේන්ද කලාව ප්‍රගුණ කිරීමට ඉඩදීමෙන් ඔවුන්ගේ මනස නිරවුල් කළ හැකිය.

 

ඉගෙනගන්න මේ ටිකත් ඕනෑ
බීරලු කොට්ටයක්, බීරලු, නූල්, ප්‍රස්ථාර කොළ, බි්‍රස්ටල් බෝර්ඩ්, අල්පෙනිති, ගොතන කටුව ආදී දෑ
 

නොමිලයේම ඉගෙන ගන්න 
බීරලු රේන්ද කලාව මේ වනවිට ජාතික ශිල්ප සභාව මගින් වයස අවුරුදු 18 - 45 අතර කාන්තාවන්ට නොමිලයේ ඉගැන්වීම් කරන අතර ඒ සඳහා එම ආයතනයෙන් විමසීම තුළින් මේ සඳහා සම්බන්ධ විය හැකි ය.
වැඩි විස්තර සඳහා  විමසන්න
ජාතික ශිල්ප සභාව
දු.අ. 0112787604
(ජායාරූප - ජාතික ශිල්ප සභාව )


සුජිත් ප්‍රසංග


 

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment