හැදුණොත් හොඳ කරන්න බැරි හිතේ ලෙඩ

 

නිරෝගීි පුද්ගලයෙකු වශයෙන් ජීවත්වීමට නම් ගතේ මෙන්ම සිතේ සුවයත් වැදගත් වෙයි. සිතේ සුවය ගැන විශේෂයෙන් මතක් කර දෙන දවසක් පසුගියදා නම් කෙරුණි. ඒ ‘ලෝක මානසික සෞඛ්‍ය දිනයයි.’ මෙවර මෙදින තේමාව වූයේ ‘මානසික සුවයට ප්‍රමුඛතාව දෙමු’ යන්නයි. 


කොවිඩ් -19 වසංගතයත්, අද අපි මුහුණ පා ඇති සමාජ - ආර්ථික දුෂ්කරතාවන් මුල් කර ගෙන මානසික සෞඛ්‍යය විශාල ලෙස අභියෝගයකට ලක්වෙමින් පවතී. මානසික සෞඛ්‍යය මේ තරම්ම වැදගත් වන්නේ අප සිතන ආකාරයට, අපට දැනෙන ආකාරයට මෙන්ම අප ක්‍රියා කරන ආකාරයටද බලපාන නිසාය. මෙයින් අප එදිනෙදා ආතති තත්ත්වවලට මුහුණ දෙන ආකාරය හා අප අන් අය සමග සබඳතා පවත්වන ආකාරය තීරණය කරයි. මානසික සෞඛ්‍යය අපගේ ජීවිතයේ හැම අවධියකටම වැදගත් වන්නේ ඒ නිසාය.

 


ගතට ඇති උනන්දුව හිතට නෑ 

අදහස් දැක්වීම:  -
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 
මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල


අපේ ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කර ගන්නට බොහෝ දෙනා දක්වන උනන්දුව මානසික සෞඛ්‍යය නංවාලීම කෙරෙහි නොදක්වයි. ඊට ප්‍රධානම හේතුව වන්නේ මානසික සෞඛ්‍යය  පිළිබඳව, මානසික සෞඛ්‍යය නංවාලන ක්‍රම පිළිබඳව බොහෝ අය තුළ ඇති දැනුවත්කම මදිකමයි. ඒ නිසා අපට ජීවිතයේ අත්විඳින්නට සිදුවන විවිධ දුක් කම්කටොලු, දුෂ්කරතා හමුවේ ඇතිවෙන ආතති තත්ත්වයන්ට හරිහැටි පිළියම් නොයෙදීම නිසා මානසික රෝගාබාධ දක්වා වර්ධනය වූ පසු ප්‍රතිකාර සඳහා යොමුවන අවස්ථා එමටය.


ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කර ගැනීමට අප කරන දේ තුළින් ලැබෙන ප්‍රතිඵල අපට පහසුවෙන් පෙනෙන හා මැනිය හැකි ඒවාය. උදාහරණයකින් දැක්වුවහොත් ව්‍යායාම කිරීමෙන් ශරීරයේ බර අඩු කර ගැනීම දැක්විය හැකියි.


එහෙත් මානසික සෞඛ්‍යය දියුණු කර ගැනීමට කරන දේ තුළින් ඒ ආකාරයට එකවිටම ප්‍රතිඵල නොපෙනේ. ඒ නිසා සමහර අය තුළ මේ පිළිබඳව උනන්දුවක් ඇති නොවෙයි.

 


ඔබේ වෙනස අනෙක් අයට දැනෙනවා 
හොඳින් සිතා බලන්න. ඔබ ඔබගේ මානසික සුවය සඳහා කරන යම් යම් දේ තුළින් (භාවනා කිරීම, සතිමත්වීම, සංගීතයට සවන් දීම වැනි) ඔබගේ තරහ පාලනයට, ආතතිවලට හොඳින් මුහුණ දීමට ඇති හැකියාව වැඩි වී ඇති බව පසක් වනු ඇත. සමහර විට එය ඔබට නොපෙනුණත් ඔබ ඇසුරු කරන අයට පෙනෙනු ඇත, දැනෙනු ඇත. 


ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට යහපත් මානසික සෞඛ්‍යයක් තිබීම යනුවෙන් අදහස් වන්නේ හුදෙක් මානසික රෝගයක් නොමැති වීම පමණක්ම නොවේ. යම් කෙනෙකුට තමන්ගේ හැකියාවන් පිළිබඳව අවබෝධයක් තිබීම, එදිනෙදා ඇතිවෙන ආතතිවලට සාර්ථකව මුහුණ දීමට හැකිවීම, තමන් කරන කාර්යය ඵලදායී ලෙස ඉටු කිරීමට හැකිවීම මෙන්ම සමාජයට රටට වැඩදායක පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට හැකිවීමද මෙහිදී වැදගත් වෙයි.

 


මනස සතුටින් නම් කය නිරෝගියි
කෙනෙකු නිරෝගී වෙන්නට නම් කායික සෞඛ්‍යය යහපත් විය යුතු සේම මානසික සෞඛ්‍යයද යහපත් විය යුතු වේ. ඒ තරමටම මානසික සෞඛ්‍යය ශාරීරික සෞඛ්‍යය හා බැඳී පවතී. මානසික සෞඛ්‍යය හොඳින් පවතින විට ශාරීරික රෝග වැලඳීමේ හැකියාවද අඩු වෙයි. එසේ වැලඳුනත් ඉක්මනින් සුවය ලැබෙයි. මනස එතරම්ම බලවත් ය.


මානසික සෞඛ්‍යය අයහපත්වීම නිසා ඇති වන අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම වැඩි වීම, මාංස පේශිවල වේදනාව, හෘදයාබාධ ආදියට ප්‍රතිකාර ගැනීම මෑත කාලයේදී ඉතාමත්ම වැඩි වී ඇත. ජීවන රටාව ඉතාම සංකීර්ණවීම, මානසික විවේකයක් නොමැතිවීම ආදිය මීට මූලික හේතු වී ඇත.


මේ වන විට ආසියාතික රටවලද මානසික සෞඛ්‍යය පිරිහෙමින් යන බව එම රටවල සමාජ දත්ත සඳහන් කරයි. ඇමෙරිකාවේ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික සංගමය සඳහන් කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර පතන සෑම රෝගීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මානසික හා චිත්තවේගී කැලඹීම්වලට සබඳකම් පවත්වන රෝගයකින් පෙළෙනබවය. මෙයින් කියැවෙන්නේ රෝගාබාධ සියල්ලක්ම මානසික සෞඛ්‍යය අයහපත්වීම නිසා ඇති වූ ඒවාබව නොවේ. රෝගීන්ගේ ආබාධවලට මානසික හෝ චිත්තවේගී කැලඹීම් කිසියම් ප්‍රමාණයකින් බලපාන බවයි. 


ඕනෑම පුද්ගලයෙකුට තම අභ්‍යන්තරය මගින්ද, බාහිර සමාජයෙන්ද ආදරය හා ගෞරවය හිමි වේ නම් ඔවුන් තුළ අභිමානයක් ඇතිවෙයි. තමාට තමා පිළිබඳ ඇති විශ්වාසය, තමා යහපත් කෙනෙකු යැයි යන හැඟීම අනුව තම අභිමානය ගොඩනැගෙයි.  සමාජයේ සෑම මිනිසෙකුටම අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටු කර දෙමින් සමාජය තුළ ආදරය, රැකවරණය සහ ගරුත්වය හිමිකර දෙන්නේ නම් හැම කෙනෙකුටම අභිමානවත් ලෙස ජීවත්වීමට පුළුවනි.
අප ජීවිතයේ බාල, තරුණ, මහලු යන සෑම අවදියකම මානසිකව සුවයෙන් සිටින්නට වගබලාගත යුතුය. ජීවිතයේ සතුට ලැබිය හැකි දේ ඒ ඒ අවධිවලදී වෙනස් විය හැකියි. ඒ නිසා සිතේ සතුට දිගටම පවත්වා ගැනීමට උත්සුක විය යුතුයි.

 


සුබෝධිනී පෙරේරා


 

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment