හිත රිදෙන විවේචන හිතේ සනීපෙට හරවගන්නෙ මෙහෙමයි

 

මේ සමාජයේ සෑම කෙනෙකුම ජීවිතයේ යම් අවස්ථාවකදී විවේචනවලට මුහුණ දී ඇතිවා නිසැකය. විවේචන කිරීම යනු හොඳ හෝ නරක ආකාරයට විනිශ්චය කිරීමක් හෝ ඇගයීමක් වේ.


එය සියලු දෙනාටම පොදු අත්දැකීමක් වන අතර එහිදී තරහා, ලැජ්ජාව හෝ බිය වැනි හැඟීම් ඇති වේ.


කිසිම කෙනෙකු තමන් විවේචනය කරනවාට කැමැති නැත. ඒ නිසා එවැනි අවස්ථාවකදී දැනෙන පසුබෑම හා අපහසුතාව නිසා විවේචනවලින් මිදෙන්නට උනන්දු වෙයි. එහිදී බොහෝ විට පළමු ප්‍රතිචාරය වනුයේ නිදොස්බව වෙනුවෙන් කතා කිරීම හෝ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. 


බොහෝ දෙනෙකු පුරුදු වී ඇත්තේ ‘විවේචන’වල සෘණාත්මක පැත්ත පමණක් දැකීමටය. එහෙත් එය සත්‍ය නොවේ. අඩුපාඩු හා වැරදුණු තැන් ඉස්මතු වුවද සමහර විවේචන කරනුයේ වැරදි අදහසකින් නොවේ. 

 


විවේචන ක්‍රම දෙකක් 

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල

 


විවේචන ක්‍රම දෙකකින් සිදු කළ හැකියි. මේ විවේචන ක්‍රම දෙක අතර වෙනස හඳුනාගත හැකි නම් අපට එල්ලවන විවේචනවලට මුහුණදීමට එය උදව්වක් වනු ඇත.


විනාශකාරී විවේචනවල චේතනාව වන්නේ කෙනෙකුට අවැඩක් කිරීම ය, කෙනෙකු යටපත් කිරීම හෝ කෙනෙකුගේ කීර්තිය, ආත්මාභිමානය විනාශ කිරීම විය හැකිය. එහෙත් වැඩදායක විවේචන මගින් ඉතා සුහදව වැදගත් හා හේතුසහගත ධනාත්මක මෙන්ම සෘණාත්මක අදහස් ලබා දෙයි. ඒ නිසා වැඩදායක විවේචන ඔබව පහත හෙළීමට නොව ඔබගේ දියුණුවට මඟ සලසන ප්‍රයෝජනවත් දෙයක් ලෙස සිතන්න.


කාරුණික ලෙස ඔබ කෙරෙහි දයානුකම්පාවෙන් ඔබ ගෞරව කරන කෙනෙකු ඔබව විවේචනය කරනවා නම්, යම් විශේෂිත කරුණක් ගැන, ඔබගේ දියුණුවට නිසි මඟ පෙන්වීමක් සහිතව විවේචන ලැබෙනවා නම්, ඔබගේ හැඟීම් හා උනන්දුවට ගැළපෙන විවේචන ලැබෙනවා නම් මේවා වැඩදායක විවේචන ලෙස සිතන්න. මෙවැනි වැඩදායක විවේචනවලට ඔබට හොඳින් මුහුණ දීමට හැකිනම් එය ඔබගේ වැදගත් ජීවන කුසලතාවකි.


අප කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවේ. එනිසා වැඩදායක විවේචන නිවැරැදි ලෙස කෙනෙකු වෙත යොමු කිරීමත්, නිවැරැදි ලෙස අනෙක් පුද්ගලයා එය භාර ගැනීමත් තුළින් අපගේ අඩුපාඩු සපුරා ගැනීමට හැකියාව ලැබේ. ඔබ වෙත එල්ල වන විවේචනවලට ඔබගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති නොවන ආකාරයෙන් පිළිගැනීමට හා මුහුණදීමට දැන සිටීම ඉතා වැදගත් වෙයි.

 


විවේචනය කරන්නේ කවුද?
ඔබට ලැබෙන ‘විවේචන’ ඔබගේ මානසික සෞඛ්‍යයට අහිතකර නොවන ආකාරයට ඔබට මුහුණදීම නම් විවේචන කරනු ලබන පුද්ගලයා කවුද යන්න මුලින්ම දැනගන්න. පුරුද්දක් ලෙස සෑම කෙනෙකුවම, සෑම දෙයක්ම විවේචනය කරන පුද්ගලයෙකු ඔබවත් විවේචනය කරනවා නම් ඒ විවේචන ගැන එතරම් බරපතළ ලෙස සිතිය යුතු නැත. 

 


සෞඛ්‍යමත් ලෙස විවේචන පිළිගන්න
ඔබට එල්ල වන විවේචන ඔබගේ මානසික සෞඛ්‍යයට අහිතකර නොවන ආකාරයට පිළිගන්න. එසේ කළ යුත්තේ කෙසේද යන්න විමසා බැලීම වැදගත් වෙයි.

 


හොඳින් සවන් දෙන්න
විවේචනය එල්ල කරන පුද්ගලයාට හොඳින් සවන් දෙන්න. මෙතැනද එම පුද්ගලයා කියන දෙයට බාධා නොකර වාද විවාදවලට නොයා හෝ නිවැරැදි කිරීමට නොයා සාවධානව අසන්න. විවෘත මනසකින් සවන් දෙන්න. විවේචනය අවසන් වූ පසු ඔබගේ අදහස ඉදිරිපත් කරන්න.

 


ආතතියට පත් නොවන්න
කෙනෙක් ඔබව විවේචනය කරන විට ඔබ ආතතියට පත් වෙයි.  වැඩදායක විවේචන ඔබගේ යහපතට බව තේරුම් ගන්න. එවිට සන්සුන් මනසකින් ඔබට ඒවාට මුහුණදීමට හැකිවෙයි. කිහිප වතාවක්ම ගැඹුරු ලෙස සෙමින් හුස්ම ගන්න.  එවිට ඇති වූ ආතතිය මඟ හැරගත හැකියි.

 


පෞද්ගලික නොවන බව සිතන්න
‘විවේචන’ ඔබගේ දක්ෂතාව තව දුරටත් ඔපමට්ටම කර ගැනීමටත්, ඔබගේ දුර්වල තැන් හදා ගන්නටත් ඔබට ලැබූ හොඳ අවස්ථාවක් ලෙස සලකන්න. එය ඔබ උනන්දු කරන ධනාත්මක අවස්ථාවක්බවට පත් කරගන්න.

 


තර්කානුකූලව සිතන්න
විවේචනයට ප්‍රතිචාර දැක්වීමට පෙර හොඳින් හුස්ම ගෙන තර්කානුකූලව මොහොතක් සිතන්න. ඔබ බලාපොරෙත්තු නොවූ මොහොතක එල්ල කළ විවේචනවලට පිළිතුරු දීමට යම් කාලයක් ඉල්ලා සිටින්න. 

 


නිදහසට කරුණු නොකියන්න
ඔබගේ වැරැද්දක් ඇති බව පෙනෙන්නට ඇත්නම් එය වසන් කිරීමට නොයන්න. නිවැරැදි ආකාරයෙන් කරනා විවේචන පිළිගන්න. ලැබුණු ප්‍රතිචාරවලට ස්තූති කරන්න. විවේචනයට පළමුව සවන් දීි දෙවනුව ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම වරදක් නොවේ.

 


ඉගෙන ගැනීමට අවස්ථාවක්
විවේචනවලට මුහුණදීම ඔබට යමක් ඉගෙන ගැනීමට ලැබුණු හොඳ අවස්ථාවක් බව සිතන්න. සෑම දෙනා අතින්ම වැරැදි සිදුවෙයි. අපේ ජීවිතයේ ඉගෙන ගැනීමට හා දියුණුවීමට බොහෝ අවස්ථා                              අපට ලැබේ. ධනාත්මක විවේචනවලින් වුවද ඔබගේ හිත රිදෙන්නට පුළුවන. එහෙත් එම විවේචනවල නිවැරැදිතාවක් ඇත්නම් ඔබ ඒවා පිළිගන්න. ඒ අනුව නැවත කටයුතු කරන්න.


කෙනෙක් විවේචනය කළ යුත්තේ විවේචනය ලබන්නාට අගෞරවයක් නොවන ලෙසටය. ඔබව අපහසුතාවට පත් වන ආකාරයට විවේචනය කරන බව හැඟේ නම් ඔබ වෙනුවෙන් කතා කිරීමට ඔබට අයිතියක් ඇත. ඒවාගේම සුදුසු ලෙස විවේචනය කරන්නේ නම් එයට සවන් දීමට ඔබ සූදානම් බව දන්වන්න. 


ඔබට වේදනා ගෙන දෙන විවේචන එල්ල වූ විට එය ඔබ තුළ සිර කර නොගෙන විශ්වාසනීය අයෙකුට පවසන්න. ඔවුන් එම අවස්ථාවේදී ඔබට වඩා තර්කානුකූලව සිතීමේ හැකියාවකින් යුක්ත වන නිසා ඔබට නිවැරැදි මාවත  පෙන්වනු ඇත.


විවේචනවලින් හිත රිදුණද ඒ දෙස ධනාත්මකව බැලීමට පුරුදුවෙන්න. ඇතැම් විට එය ඔබගේ දියුණුවට ලැබුණු මහඟු අවස්ථාවක් ද විය හැකිය.


 


සුබෝධිනී පෙරේරා


 

 

 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post

Leave a comment