හිත්වල විෂ සර්ප විෂටත් වඩා භයානකයි
‘විෂ’ කිව්වාම ඔබට එකවරම මතක් වෙන්නේ මොනවාද? විෂ දුම, ආහාරපාන විෂවීම, ආදිය නේද? ඒත් අද අපි කතා කරන්නේ එවැනි විෂ වර්ගයක් ගැන නොවේ. අද කතා කරන්නේ විෂ සහිත පුද්ගලයෝ ගැනයි. මිනිසාගේ හැසිරීම් ගත් විට ‘විෂ’ යනුවෙන් හඳුන්වන්නේ අයහපත් වයස සහ ක්‍රියාවන් තුළින් අනෙක් අයට ආතතියක්, නොසන්සුන්බවක් ඇති කරන පුද්ගලයින් ය.
අප අවට සමාජයේ, රාජකාරි ස්ථානයේ හෝ නිවස තුළින්ම මෙවැනි පුද්ගලයින් අපට හමුවෙයි. කවුරුන් හෝ ඔබව නිරතුරුවම කලකිරුණු ස්වභාවයට, ව්‍යාකූලතාවයට හෝ අවුල් සහගතබවට පත් කරනවාද? එසේ නම් ඒ ඔබ ගනුදෙනු කරනුයේ විෂ සහිත පුද්ගලයෙකු (ඔදංසජ ඡැරිදබ) සමග වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙවැනි පුද්ගලයෙකු අපට එකවරම හඳුනාගත නොහැක. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ හැසිරීම් ඉතා සියුම් නිසාය.
විෂ ගතිගුණ ඇති පුද්ගලයෙකු හඳුනා ගන්නේ කොහොමද?
* හැම විටම අනෙක් පුද්ගලයින්ව විනිශ්චය කරයි.
* හැමවිටම අනෙක් අයව හැසිරවීමට පෙලඹේ.
* දෙයක් සිදු වූ විට එය අන් අයගේ වරදක් නිසා සිදු වූ බව පවසයි. ‘ගැටලුව’ තමන් බව නොසිතයි.
* අවංකබවින් අඩුයි.
* තමන් කලින් කියූ දෙයක්, නොකී බවම තරයේ ප්‍රකාශ කරයි.
*වාචිකව හෝ ශාරීරිකව අනෙකාට හිරිහැර කරයි.
* ඔවුන්ගේ අහිතකර හැඟීම් (තරහා යාම, කලකිරුණු බව) ඔබ තුළින් එන ඒවා සේ සලකයි.
* ඔවුන් තමන් අතින් සිදු වූ වරදකට බොහෝ විට සමාව නොගනී.
* ඔබගේ සතුටුදායක අවස්ථාවලදී සතුට බෙදා නොගනී. එය සතුටුවීමට තරම් දෙයක් නොවන බවට ඒත්තු ගන්වයි.
* ඔබගේ දුරකථන ඇමතුම්වලට, කෙටි පණිවුඩවලට ප්‍රතිචාර නොදක්වයි.
* ‘විෂ සහිත වචන’ භාවිතා නොකොට, එහෙත් විෂ ගැබ් වූ හඬකින් ඔබව අමතයි.
* යම් ගැටලුවක් විසඳා ගැනීමට කතා කරන විට ගැටලුව ගැන නොව ඔබ කතා කරන ආකාරය ගැන කතා කිරීමට පටන් ගැනීමෙන් ඔබව ව්‍යාකූලත්වයට පත් කරයි.
* ඔබ කරන වැඩකටයුතුවල අවසානයක් දැකීමට ඉඩ නොසලස්වයි.
* හැමවිටම ඔබේ වැඩ සංකීර්ණ බවට හෝ ව්‍යාකූලබවට පත් කිරීමට උත්සාහ දරයි.
* ඔබේ අතින් සිදු වූ එක් අතපසුවීමකදී, එය හැමවිටම සිදුවන්නක් ලෙස හුවා දක්වයි.
එවැන්නෙක් සමග ගනුදෙනු කරන්නේ කොහොමද?
* ඔබ ඔවුන් සමග කතා කරන්නට යන දේ හෝ කරන කාර්යය පිළිබඳ හොඳින් බලගැන්වී, මනා ලෙස සූදානම් වී යන්න. එවිට ඔවුන්ට ඔබව පාලනය කිරීමට හෝ යටත් කිරීමට හැකි නොවනු ඇති.
* ඔබ තුළ ඇති වටිනාකම් හා අගය (අවංකබව, කරුණාවන්තබව, පරිත්‍යාගශීලීබව) ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න. එවිට ඔබ ගැන ‘ආත්මාභිමානය’ නොනැසී පවත්වාගත හැකියි. ඒවාගේම ඔබ බොරුකාරයෙකු, නපුරු අයෙකු ලෙස හංවඩු ගැසීමට හැකියාවක් ඔවුන්ට නොලැබෙයි.
* ඔබට සැවොම සතුටට පත් කිරීමට හැකියාවක් නැත. ඔබව අපහසුතාවට පත් වන පරිදි යමෙකු කටයුතු කරයි නම් විනීත ලෙස ‘නැහැ- බැහැ’ යැයි කීමට පුරුදු වෙන්න. මේ වචන කුමන භාෂාවකින් පැවසුවත් ඉතා බලවත්, ඔබව විෂ සහිත පුද්ගලයින්ගෙන් ආරක්ෂා කරන රැකවලුන් හා සමානය.
* ඒ අය වුවමනාවෙන් ඇති කරගන්නා පීඩාකාරී, උණුසුම් වාතාවරණවලදී උදව් කිරීමට නොයන්න.
* ඔවුන්ගේ විෂ හැසිරීමෙහි වෙනසක් කිසිම අවස්ථාවක බලාපොරොත්තු නොවන්න. ඔබ කළ යුත්තේ ශක්තිමත්ව ඔබේ ස්ථාවරයෙහි පිහිටා සිටීමයි.
* ඔවුන් සමග සටන් කරන්නට නොයන්න. මෙවැනි පුද්ගලයින් සමග ගනුදෙනු කිරීම යනු ඔබගේ කායික, මානසික ශක්තීන් නිශ්ඵල ලෙස වැයවීමකි. ඒ නිසා ඥානාන්විත ලෙස ඔවුන් ඔබව ගැටුම්වලට පොලඹවා ගැනීමට දරන උත්සාහයන්ගෙන් ගැලවෙන්න.
* විෂ සහිත පුද්ගලයින්ට බොහෝ විට අන් අය සමග සම්බන්ධ වීමට ඇති එකම ක්‍රමය ගැටුම් ඇති කර ගැනීමයි. එයින් ඔවුන් තමන්ව අන් අයගේ අවධානය ගැනීමට ‘වැදගත්බව’ ලබා ගැනීමට උත්සාහ කරති. ඔබ ඔවුන් සමග ගැටුමට යාමෙන් සිදුවන්නේ ඔවුන්ට අවශ්‍ය දේ ඔබ නොදැනුවත්වම ඔවුන්ට ලබාදීමයි. ඒ නිසා ඔබ ඔවුන්ගේ ‘ගොදුරක්’ බවට පත් නොවන්න.
* ඔවුන් සමග ගත කරන කාලය හැකි තරම් සීමා කරන්න. රාජකාරි ස්ථානයකදී මෙය මඳක් අපහසුවුවත් අත්‍යවශ්‍ය මොහොතකදී පමණක් ඔවුන් මුණගැසෙන්න.
* ඔවුන්ට ඔබගේ සිත තුළ සමාව දෙන්න.
එයින් අදහස් කරන්නේ ඔබ ඔවුන්ගේ අයහපත් හැසිරීම් පිළිගන්නා බව හෝ සාධාරණීකරණය කරන බව නොවේ. ඔවුන්ගේ හැසිරීම් නිසා ඔබට දැනුණු තරහා, වේදනාව, කලකිරීම, නොසන්සුන්බව, හෝ වරදකාරී හැඟීම්, ඔවුන් ඔබ තුළ වපුරන ලද, බලහත්කාරයෙන් ඔබ සිත තුළට දැමූ ‘විෂ’ ය. සමාව දීමෙන් එම විෂ ඔබේ සිතින් ඉවත් කිරීමට ඉඩ සැලසේ.
* ඔවුන්ගෙන් ඔබව අගය කිරීමක් බලාපොරොත්තු නොවන්න. ඉඳහිට ඔබව අගය කරනවා නම් එය වෙනත් යටි අරමුණක් ඇතිව කරන දෙයක් විය හැකියි.
ඔබ කරන කාර්යයන් යහපත් සිතින් කරනවා නම් ඔබට කාගේවත් පිළිගැනීම් අවශ්‍ය නොවේ. ස්වභාවධර්මය ඔබව හැමවිටම නිසිතැන තබාවි.
විෂ සහිත පුද්ගලයින් සමග කටයුතු කිරීමේදී අපට හානියක්වීම හැකි සෑමවිටම වළක්වා ගත යුතුයි. ඒ නිසා විෂ සහිත පුද්ගලයින්ගේ ලක්ෂණ හඳුනාගෙන හොඳින් සිතා බලා ප්‍රතිචාර දැක්වීමෙන් ඔවුන්ගෙන් සිදුවන අහිතකර බලපෑම් අඩු කරගෙන යහපත් මානසික සුවයක් පවත්වා ගැනීමට පුළුවන.
සුබෝධිනී පෙරේරා
Leave a comment