හෙට දවස සිහිනයක් වුණු දරුවෙකුට කැපකරු මවක් පියෙක් වෙන්න කැමතිද?

 

මේ වන විට ආර්ථික ඛේදවාචකය පෑළ දොරින් නොව ඉදිරි දොරින්ම ගෙට පැමිණ අවසන්ය. එයින් රටේ සමස්ත ජනතාවම පීඩා විඳින බව රහසක් නොවේ. ඒ අතර රටේ අනාගතය එහෙමත් නැතිනම් මේ රටේ කොඳුනාරටිය ලෙස සැලකෙන දරු පරපුරේ වැඩි පිරිසක් මේ ආර්ථිකයෙන් බැටකමින් මන්දපෝෂණයෙන් පෙළෙති. තුන්වේලට මොනවා හෝ කෑමට ගෙන කුස පුරවා ගැනීම ජයක් වන්නේ නැත. හැදෙන වැඩෙන වයසට ඔවුන්ට නිසි පෝෂණයක් නොතිබීමෙන් අනාගත ලෝකය බාරවන්නේ නිරෝගී නොවන ජාතියකට ය. එම නිසාම මෙලෙස ආර්ථික පීඩාවෙන් දුක්විඳින අපේ රටේ දරුවන්ට හැකි පමණින් පිළිසරණක් වීමට තිබෙන වටිනා අවස්ථාවක් ලෙස ‘කැපකරු මා පිය ක්‍රමය’ හැඳින්විය හැකිය. 


එහෙත් මේ ගැන වැඩි පිරිසක් හරිහැටි නොදැන සිටීම නිසා හැකියාව තිබුණත් ඊට වැඩි උනන්වදුක් දක්වන්නේ නැත. මේ අවස්ථාවේ අපේ රටේ බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් සහ ආර්ථික ගැටලු රාශියකින් පීඩාවට පත්වී ඇති නිසා හැකියාවක් තිබෙන අයෙකුට එවැනි දරුවකුට කැපකරු මවුපියන් හෙවත් භාරකාර මවුපියන් බවට පත්වෙමින් ඔවුන්ගේ සියලු වගකීම් පවරාගත හැකිය. කැපකරු මවුපියන් වීමට යා යුතු නිවැරදි මග මෙලෙසය.

 


මොකක්ද මේ කැපකරු මවුපිය ක්‍රමය 
රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ තමන්ගේ දරුවන් ජීවත් කරවීම බොහෝ මවුපියන්ට අභියෝගයක් වී ඇත. ඒ නිසාම දරුවන්ට උපකාර, සහාය ඉල්ලමින් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව වෙත දිනපතා ඉල්ලීම් රැසක් ලැබෙමින් තිබේ. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් එම දරුවන්ගේ පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතා නිසා ඇතිවන ගැටලු තත්ත්වයන්ය. එම නිසා සුරක්ෂිත පවුලක දරුවකුට ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරමින් එම දරුවාගේ සමස්ත සංවර්ධනය සැලසීමේ අරමුණින් මෙම කැපකරු එසේත් නැතිනම් අනුග්‍රාහක මාපිය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ. එහිදී මෙම අනුග්‍රාහකයින් සහ ආධාර අපේක්ෂා කරන දරුවන් සිටින පවුල් අතර සම්බන්ධතාවය ඇතිකිරීම සිදුවන්නේ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මඟිනි. මේ ක්‍රමයට අනුව එම පුද්ගලයාට යම් දරුවකු හෝ පිරිසකගේ නඩත්තුව භාරගෙන තමන්ට හැකියාව තිබෙන පරිදි සම්පූර්ණ වියදම් හෝ අවශ්‍යතා සපුරා දිය හැකිය. 


මෙහිදී දරුවා අදාළ අනුග්‍රාහකයාගේ නිවසට රැගෙන යන්නට හෝ එවැනි අයිතියක් ලබාගැනීමක් සිදුවන්නේ නැත. කැපකරු මාපිය ක්‍රමය ලෙස හඳුන්වන්නේ දරුවා තම පවුලේ සිටියදීම දරුවාගේ වියදම් හෝ අවශ්‍යතා සැපයීම පමණි. එසේ දරුවකුගේ වගකීම භාරගත හැකි අවම කාල සීමාව වසර දෙකක් වන අතර ඊට වඩා හැකියාව තිබේ නම් එම දරුවන් උසස් අධ්‍යාපනයට යොමු වී විවාහවන තෙක්ම සියලු අවශ්‍යතා සැපයීමේ අයිතිය කැපකරු මාපියන්ට ඇත. 

 


දරුවන් තෝරාගන්නේ කොහොමද?
නැතිබැරි දරුවන් සිටින පවුලකට කැපකරු මාපියන්වීමට කෙනෙක් කැමති නම් ඒ සඳහා අවශ්‍යතාවක් තිබේ නම් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සෘජුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන සහකරුවන් තම කොට්ඨාශය තුල අපකාර අවැසි, බරපතල අවධානමකට ලක්විය හැකි දරුවන් හඳුනාගෙන “අත්වැල” නම් වූ මෘදුකාංගයට තොරතුරු ඇතුළත් කරනු ලබයි. 

 


ප්‍රතිලාභ ලබාදෙන්නේ කොහොමද? 
මූල්‍යමය ආධාර අවශ්‍ය දරුවන්ට එම දරුවන් නමින් අරඹන ගිණුමක් හරහා මුදල් ලබා දිය හැකිය. එමෙන්ම අවශ්‍ය ද්‍රව්‍ය හෝ වෙනත් ආධාර හා සහාය සේවාවන් ලබාදේ නම් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හරහා හෝ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සෘජුව ලබාදීම කළ හැකිය. 


ආධාර ලබාදීම මාසිකව හෝ වාරික වශයෙන් දිගුකාලීනව සිදුකිරීමට අදහස් කරන්නේ නම් එම වසර ගණන පිළිබඳ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග පූර්ව එකඟතාවකට පැමිණ එසේ සිදු කිරීමේ හැකියාව පවතී. එහිදී මාසිකව ලබාදිය යුතු අවම අනුග්‍රාහක මුදල රුපියල් 5000 කි. අනුග්‍රාහකයාගේ කැමැත්ත පරිදි අවුරුදු 18 ඉක්මවුවද දරුවාට ප්‍රතිලාභ ලබාදිය හැකිය. 

 


කැපකරුවෙකු වෙන්නේ කොහොමද?
කැපකරු මාපියන් වීමට කැමැත්තෙන් සිටින අයෙකුට ඒ සඳහා පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ හෝ දුරකථන ඇමතුමක් ලබාදීම මඟින් අනුග්‍රාහක මාපිය යෝජනා ක්‍රමයට ලියාපදිංචි වීම පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම කැපකරු මාපියකු ලෙස ලියාපදිංචි කරගත් පසු දෙපාර්තමේන්තුව සතුව ඇති දත්ත පද්ධතියේ ඇතුළත් දරුවන්ගෙන් ඔබ කැමති දරුවෙකු හෝ දරුවන් තෝරා ගැනීමේ හැකියාවද තිබේ. කැපකරු මාපියන් වීමට විශේෂ නීතියක් නොමැති අතර සද්භාවයෙන් දරුවන් වෙනුවෙන් සහයක් ලබාදීමට කැමති දේශීය විදේශීය ඕනෑම අයෙකුට කැපකරු මාපියන් වීමට අවස්ථාව ඇත.

 


පොදු එකඟතා කිහිපයක් 
කැපකරු මාපියන් වීමට කැමති සියලුම අනුග්‍රාහක මාපියන් දෙපාර්තමේන්තුව විසින් දරුවන්ගේ යහපත උදෙසා සකස් කර ඇති ආචාර ධර්මවලට අනුකූලව සෑම විටම ක්‍රියාකළ යුතුව ඇත. එම නිසා එම ආචාර ධර්මවලට පටහැනිව කටයුතු කරන ඕනෑම අවස්ථාවක අනුග්‍රාහක මාපිය ලියාපදිංචිය අහෝසි කිරීමට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට බලය ඇත. 


එමෙන්ම දරුවන්ගේ අනන්‍යතාව හෙළිවන හා ගෞරවයට හානිවන ආකාරයට කටයුතු නොකාරීමටත්, කිසිදු අවස්ථාවක දරුවන්ගේ මවුපියන් හෝ භාරකරුවන් නොමැතිව දරුවන් හුදකලාව මුණගැසීම හෝ පිටතට රැගෙන නොයෑමත් පොදු එකඟතා වේ.


ඔබටත් කැපකරු මාපියන් වීමට කැමැත්තක් තිබේ නම් එය මේ මොහොතේ අගහිඟකම් ඇති දරුවන් වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් සිදුකරන විශාල සේවයකි. විශේෂයෙන් එය පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතා නිසාම, දරුවන්, තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වී ආයතනගතවීම වළක්වා සුරක්ෂිතව තම පවුලේ සෙනෙහස තුළම රැඳෙන්නට ඔබ ලබාදෙන මහඟු සේවාවක් ද වනු ඇත.

තොරතුරු පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව ඇසුරිනි. 
වැඩිදුර තොරතුරු සඳහා විමසීම්
0112187283
0769905755 

 

සටහන - නයනා උදයංගනී                  

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post