ෆින්ලන්තයට ලංකාව හඳුන්වා දුන් උපේන්ද්‍රා ගේ කතාව
පසුගිය දිනක ජාත්‍යන්තර වැඩසටහනක් වූ The voice of Finland තරගාවලියේදී, ෆින්ලන්තයේ මෙන්ම ලෝකය පුරා බොහෝ රටවල ලාංකීය නම සනිටුහන් කරමින් කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නට ලාංකීය කතකට හැකියාව ලැබුණා. ලාංකේය සම්ප්‍රදායේ අනන්‍යතාව මුසුවූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතවත් කළ , විමල් ජේ. සාගර ගායනා කරන අපූරු ගීතයකින් ලොවක් මුසපත් කරන්නට ඇය සමත් වුණා. නමින් උපේන්ද්‍රා සිරිවර්ධන වන ඇය පිළිබඳ උණුසුම් කතාබහක් ඇතිවී තිබෙන මේ මොහොතේ පින්ලන්තයේ සිටින ඇයව සිරිකත හා සම්බන්ධ කරගැනීමට අපට අවස්ථාව ලැබුණා.
- කවුද මේ උපේන්ද්‍රා?
මම උපේන්ද්‍රා සිරිවර්ධන. ඉපදුණේ, හැදුණේ වැඩුණේ සහ පාසල් ගියේ මොනරාගල. මගේ මව පුෂ්පා කුමාරී ඇය ගෘහිණියක්. තාත්තා ෂියන් සිරිවර්ධන. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු ව්‍යාපාරිකයෙක් වුණත් තාත්තයි අම්මයි දෙන්නම කලාව සමග හුඟක් සමීපව කටයුතු කරන දෙන්නෙක්. තාත්තට සංගීත කලායතනයක් තියනවා. අම්මට ලස්සනට චිත්‍ර අදින්න පුඵවන්. අපේ පවුලේ මට තව සහෝදරියෝ දෙන්නෙකුයි සහෝදරයෙකුයි ඉන්නවා. අක්කයි නංගියි මල්ලියි. මගේ නංගිත් හොඳට සින්දු කියන්න හැකියාව තියන කෙනෙක්. මම විවාහකයි. ඔහු දේශාන් ගමගේ. එයා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිය හදාරපු කෙනෙක්. ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහායි මම ඔහු සමග පින්ලන්තයට එන්නේ. ඒ ආව ගමනෙදි තමයි මම The voice of Finland තරගාවලිය සඳහා එක්වෙන්නේ.
- මේ තරගයේ Blind Audition වටය සඳහා ඔබ තෝරාගත් සිංහල ගීතය අභියෝගාත්මක වුණත් ඔබට ලොකුම අභියෝගය තියෙන්නේ ඉදිරියේදී නේද?
මෙතනදී ඇත්තටම විදේශීය ගීත ගායනා කිරීමට සිදුවීමට වඩා අභියෝගයක් ලෙස මම දකින්නේ විදේශිකයෙක් විදියට ස්වදේශීයන් එක්ක තරග වදින එක. මොකද හුඟක් වෙලාවට තරගයක් යද්දි ඕනෑම කෙනෙක් කැමති තමන්ගේ රටේ කෙනෙක් දිනනවට. කොහොම වුණත් මම උත්සහ කරනවා ඔවුන්ගේ ආදරය දිනාගෙන ඉස්සරහට යන්න. ඉදිරියේදී අනිවාර්යයෙන්ම හුඟක් අභියෝගාත්මක ගීත ලැබෙන්න පුළුවන්. අභියෝගාත්මක තරගකරුවන් ලැබෙන්න පුළුවන්. එස්.එම්.එස් වටය එද්දි ස්වදේශිකයන්ගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා කියන්න බැහැ. විශේෂයෙන් finnish භාෂාවේ ගීතයක් ලැබුණොත් ඒක ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ හැමදෙයක්ම දැනගෙනයි මම මේ තරගයට ඉදිරිපත් වුණේ.
- ඔබ ලංකාවේත් රියැලිටි තරගවලට සහභාගිවුණ කෙනෙක්
ඔව්, මම ලංකාවේ රියැලිටි තරග දෙකකට සහභාගිවෙලා තියනවා. ඒ වගේම එක් තරගයක මූලික වට සඳහා මම වෝකල් කෝච් කෙනෙක් විදියට කටයුතු කරලා තියනවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් තරගයක් සහ රියැලිටි තරගයක තියන ස්වභාවය ගැන දැනුමක් ඇතිවයි මේ තරගයට එන්නේ.
- The voice of Finland තරගයට ඉදිරිපත්වීමේදී මූලික බලාපොරොත්තුව වුණේ මොකද්ද?
ඇත්තටම මට වුවමනාව තිබුණේ අපේ රටට අවධානයක් දිනාගන්න. මම දැනට ජීවත් වෙන්නේ ෆින්තලන්තයේ කොව්වොලා කියන නගරයේ. මේ නගරයට අපි මුලින්ම එනකොට ලංකාව කියලා රටක් තියනවද කියලා බහුතරයක් දන්නේ නැහැ. හුඟක් අය හිතන් ඉන්නේ අපි ඉන්දියාවේ එක ප්‍රාන්තයක් කියලා. අපේ භාෂාව හින්දි කියලා. සිංහල භාෂාව කියලා භාෂාවක් තියනවා, ශ්‍රී ලාංකික කියලා ජන පිරිසක් ඉන්නවා කියලා එයාලා දන්නේ නැහැ. මම දැක්කා මෙහෙ එක ආයතනයක එයාලා නිර්මාණය කරලා තිබුණ ලෝක සිතියමක්. ඒකේ ලංකාව තිබුණෙත් නැහැ. ඉන්දියාව විතරයි තිබුණේ. ඉතින් මට අවශ්‍ය වුණේ ලංකාව කියලා ලස්සන රටක් තියනවා, ඒ රටේ මෙහෙම සංගීතයක් තියනවා, සහ උපේන්ද්‍රා සිරිවර්ධන කියලා කෙනෙක් මේ පුංචි දූපතෙන් ඇවිත් ඉන්නවා කියලා පින්ලන්තයට දැනුම් දෙන්න.
- මේ තරගාවලියේ ඔබ මුහුණ දුන් සුවිශේෂී සිදුවීම් ගැන කතා කළොත්?
ඇත්තටම මම මේ වෙලාවේ මාව අගය කරපු, ගීතය ශෙයා කරපු සෑම ලාංකිකයකුම ආදරෙන් මතක් කරනවා. මොකද මට මේ තරගයේදී මගේ රටේ ජනතාවගෙන් ලැබුණ ආදරේ අසීමිතයි. ලංකාවේ හැමෝම එකතුවෙලා මේ තරගය ඇතුළෙ තවත් වාර්තාවක් තැබුවා. ඒ තමා The voice of Finland official face book පිටුවේ පැය 24කටත් වඩා අඩු කාලයකින් මගේ ගීතය සහිත විඩියෝව නැරඹුම් වාර මිලියනය පසුකරන්න සමත් වුණා. ඒ ලාංකික රසික ජනතාවගේ අසීමිත ආදරය සහ ඇගයීම නිසා. මට ඒක මේ තරගාවලියේ විශේෂ මොහොතක්.
- විනිසුරු මඬුල්ලෙන් ලැබුණ ප්‍රතිචාර?
ඔවුන් ඇත්තටම විෂ්මයට පත්වුණා. එක විනිසුරුවරියක් කිව්වා මම ගීතය ගායනා කරද්දි ඇගේ මනසේ විවිධ ලෝකවල් මැවුණා කියලා. අනෙක් කෙනා කිව්වා ඇත්තටම ඇය වචන විරහිත වුණා කියලා. වචනවලින් කියාගන්න බැරිතරම් ලස්සන ගායනාවක් කළා කියලා. මම ඒක කිව්වේ කොහොමද කියලා ඇයට හිතාගන්නවත් බැහැ කිව්වා. ඇය දැඩිව ඉල්ලීමක් කළා ඇයගේ කණ්ඩායමට එන්න කියල. තව විනිසුරුවරයෙක් කිව්වා ඔහු මේ සංගිතය ඉගෙන ගන්න කැමතියි කියලා. ඒ වගේ ගොඩක් ඉහළ ප්‍රතිචාර ඔවුන්ගෙන් ලැබුණා.
- උපේන්ද්‍රාට මේ තරගයේ තවත් විශේෂ වාර්තාවක් තැබීමට හැකිවුණා?
මේ යන්නේ පින්ලන්තයේ 14වෙනි සීසන් එක. මේ අවුරුදු 14ටම මේ තරගයේ ගීත ගායනා කරපු පළමු ශ්‍රී ලංකිකයා මම. ඒ වගේම මේ අවුරුදු 14ටම ඉතාම ඉක්මනින්ම බසරය නාදවුණ තරගකාරියගේ වාර්තාව හිමිකරගන්න මට අවස්ථාව ලැබුණා. එය ඔවුන් නිලවශයෙන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා දැනුම් දී තිබුණා. ගීතය පටන්ගෙන තත්පර පහෙන් පළවෙනි විනිසුරුවරයා හැරෙනවා. තත්පර 10 වෙද්දි මුල් විනිසුරුවරයන් තුන්දෙනාම හැරිලා ඉවරයි. මේක මට වගේම රටක් විදියට අපි සියලු දෙනා ලැබූ ජයග්‍රහණයක් විදියට සතුටු වෙන්න පුඵවන්.
- විවාහක කාන්තාවකට මේ තරම් දුරක් එන්න සැමියගේ සහයෝගය අවශ්‍යයි. ඔබ කොහොමද බිරිඳක් විදියට ඔහුව දිනාගත්තේ?
පොඩිකාලේ ඉඳලම මම කාන්තාව වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. අම්මා මල්ලිට බත් එක ඉස්සරෝම බෙදුවොත් මම ඒගැන ප්‍රශ්න කළා. මොකද්ද වෙනස කියලා ඇහුවා. කාන්තාව සම්බන්ධයෙන් තවමත් විවිධ මත අපේ සමාජයේ තියනවා. මම ඒ සෑම වෙලාවකම මම වෙනුවෙන් හඬ අවදිකරපු කෙනෙක්. ඉතින් මම සෑම කාන්තාවකටම කියන්නෙත් විවාහයෙන් පස්සේ වුණත් තමන් ගැන කතාකරන්න තමන්ට අයිතියක් තියනවා. හුඟක් කාන්තාවන් විවාහයෙන් පසු තමන් කැමති හැමදෙයක්ම හිතේ තියාගෙන ඉන්නවා. ඒ ගැන සැමියා එක්ක කතාකරන්නෙ නෑ. සැමියා ඒවා තේරුම්ගනී කියලා ඔවුන් හිතන් ඉන්නවා. නමුත් මම මගේ සියලුම අවශ්‍යතා කැමති අකමැති දෑ ගැන මගේ මහත්තයත් එක්ක කියනවා. බෙදාගන්නවා.
- කාන්තාවෝ එයාලා කැමති අකමැති දේවල් කතාකළත් සමහර වෙලාවට හැම සැමියෙක්ම ඒවට ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. ඒ ගැන මොකද කියන්නේ?
ඔව් ඒ කතාව ඇත්ත. අපි කාන්තාවක් විදියට එයාලව දිනාගන්න ඕනෑ. උදාහරණයක් විදියට කියනවනම් මම සින්දු කියන්න කැමති කියලා වැඩි කාලයක් ඒ වෙනුවෙන් දීලා පවුල ගැන හොයන්නේ බලන්නේ නැතුව ගෙදර යුතුකම් වගකීම් පැහැර හැරගෙන මගේ ගමන යනවා නම් එතන ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා අනිවායෙන්ම පවුල් ජීවිතේ ඇතුළෙ බිරිඳට මොනතරම් වැඩ තිබුණත් එයාට ඒ හැමදෙයක්ම සමබර කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය සැමියෙකු ඇතුළෙ ගොඩනගන්න බිරිදක් දක්ෂ වෙන්න ඕනෑ. එතකොට තමයි සැමියෙක් එයාගේ බිරිඳට උදවු කරන්නේ. ඇහුම්කන් දෙන්නේ. සමහර අවස්ථාවලදි ඒ සමබරතාව ගිලිහෙන්න පුඵවන්. නමුත් ඒක දීර්ඝකාලීනව සිදුවෙන දෙයක් නෙවෙයි. ඒ අවබෝධය දෙන්නා තුළම තියෙනවා නම් ජීවිතේ හරි ලස්සනයි.
Leave a comment