‘ආදරෙයි ’නොකීවට ඔහු අපිට හදපු ලෝකය ලස්සනයි - ප්‍රවීණ දේශක හේමප්‍රිය කවිරත්න පියා ගැන අවදි කළ මතකය
මෙලොව ජනිත වූ ඕනෑම පුතෙකුට තම පියා පිළිබඳව මිහිරිවූත්, ආශ්වාද ජනකවූත්, අනුවේදනීය වූත් මතක ගොන්නක්ම ඇත. තමන් වීරයෙකුයි සිතා පියවරුන්ට එරෙහිව කැරැලිද ගසන පුතුන් සියල්ල අවසන තම ලොව වීරයා අන් කවුරුන් හෝ නොව පියාට බැව් වටහා ගන්නා තැන් අනන්තවත් ඇති අතර අද ‘ළතෙත් ගුණැති තාත්තා’ ගැන කතා කරන්නේ මෙරට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා ගුරුවරයකු වන හේමප්‍රිය කවිරත්නය.
‘‘මගේ තාත්තා මීට අවුරුදු 15කට කලින් නැතිවුණා. ඔහු ආනන්ද කවිරත්න, වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඇත්තෙන්ම මට ඒ කාලෙ නම් තාත්තා වීරයෙක් හැටියට පෙනුණෙ නෑ. ඒත් අද මමත් තාත්තෙක් වෙලා ඉන්න කොට තමයි දැනෙන්නෙ මගේ තාත්තා කොයිතරම් නම් වීරයෙක්ද කියල. තාත්තයි මමයි අතරෙ ගැටුම් ඇතිවුණු තැන් පවා තියෙනවා. හරියටම කිව්වොත් මම ‘සිංහබාහු’ගේ චරිතයට පණ පොවපු කාලයක් තිබුණා. ගුරුවරයකු විදියට මට ඉස්මතුවෙන්න පාර හැදුණෙත් මේ වටාපිටාව තුළම තමයි. තාත්තා මට ලොකුවට නීතිරීති නොදැම්මත් යම් යම් සීමා පනවල තිබුණා. ඒ අාධිපත්‍යයට එරෙහිව මම එදා කටයුතු කළත් ඇත්තෙන්ම අද නම් මට හිතෙන්නෙම ඔහු තුළ එවැනි ආධිපත්‍ය ලක්ෂණ තිබිල නෑ කියලමයි. ඇත්තෙන්ම කීවොතින් කැරැලි ගහන්න තරම් දෙයක් එතැන තිබිල නැහැ. මගේ පරිණතබව සම්බන්ධ ප්‍රශ්නයක් තමයි එදා තිබිල තියෙන්නෙ. කොහොමහරි අද මම ආර්ථිකමය වශයෙන් ජයග්‍රහණ අත්පත් කරගෙන ඉන්නවා. අද ඉන්නා තැනෙක සිට මම අද ඉන්න තැන දිහා බලලා සතුටුවෙනවා ඇති.’’
‘‘මගේ අම්මා වගේම තාත්තත් ලොකුවට ඉගෙනගත් අය නොවෙයි. ඒත් එයාලා අධ්‍යාපනයේ වටිනාකම් දැනගෙන හිටියා. අම්මා අපේ ඉගෙනීමේ කටයුතු ගැන හොයල බලද්දී තාත්තා කළේ ඇයට ඒ සඳහා අවශ්‍ය නිදහසදීම. දැන් ඇත්තෙන්ම මට හිතෙනවා ඔහු මමත්, මල්ලිත්, අක්කත් ළංකරගෙන ලස්සන කතාවක් නොකීවට ලස්සන කතන්දරයක් නිර්මාණය කරන්න පසුබිමක් සකසා දීපු කෙනෙක් කියල. මම කොළඹට ඇවිත් ස්වාධීනව ජීවත් වුණත් අම්මාට, මල්ලිට සහ අක්කට ගමට වෙලා බයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරය හැදුවේ මගේ තාත්තා.’’
‘‘මගේ තාත්තා මටවත්, සහෝදරයන්ටවත් අනවශ්‍ය විදියට මොනම දේකටවත් බලපෑම් කරපු කෙනෙක් නොවෙයි. ලොකු පීඩනයක් අපට තිබුණේම නෑ. හැබැයි දැඩි දඬුවම් දීපු තැන් ඕනෑතරම් තිබුණා. මට මතකයි දවසක් දා යාළුවොත් එක්ක නොහොඹිනා චිත්‍රපටයක් බලන්න ගිහින් තාත්තගෙ අතටම අහුවුණා. මට එදා මදි නොකියන්න ගුටි හම්බවුණා. සමහර තැන්වලදී අපි කොලුකමට කරපු විලාසිතාවලට එහෙමත් තාත්තා ඒ හැටි කැමති වුණේ නෑ. එදා වරදවා තේරුම් ගත්තට මොකද ඒ හැම එකක්ම ඔහු කළේ අපිව යහමගට ගන්නම තමා කියලා මට දැන් තේරෙනවා. අපේ ගෙදර වාහන ගොඩක් තිබුණා. හැබැයි කවදාවත් ඔහු අපිට ඒවා එළවන්න දුන්නෙ නෑ. කොල්ලො එක්ක එකතුවෙලා වාහන දක්කන්න පටන් ගත්තොත් අපේ අධ්‍යාපනය කඩාකප්පල් වනබව ඔහු හොඳටම දැනගෙන උන්නා.’’
‘‘ තාත්තා හැම දේකම සීමාව දැනගෙන හිටියා. ඒ ඔහුට තිබුණු සමාජ දැනුම නිසාමයි. නරක දෙයක් වුණත් හොඳ විදියට, හානිය අවම වන විදියට කරන්නේ කොහොමද කියන එක තාත්තා අපට කියාදීපු පාඩම් අතර ඉහළින්ම තිබෙන්නක්. ඉවසීම හා දරා ගැනීම වගේ පවුල් ජීවිතයට නැතිවම බැරි දේවල් මම උගත්තෙ මගේ තාත්තාගෙන්. ජීවිතේ හැම අභියෝගයක් දිහාම බොහොම උපේක්ෂාවෙන් බලන කෙනෙක් තමයි මගෙ තාත්තා. දවසක් දා මම මොකක්හරි දේකට තරහවෙලා ගෙදරින් යන්න ගියා. ඒත් තාත්තා ඒ ගැන ඩිංගිත්තක්වත් කලබල වුණේ නෑ. කොහේ ගියත් අන්තිමේ මම ගෙදර එනබව හැමෝම දැන උන්නා. හැමදේකින්ම අත්දැකීමක් විඳගන්න ඉඩදුන් කෙනෙක් තමයි මගේ තාත්තා. ඒක හරි මිහිරි මතකයක්.’’
‘‘ අවුරුදු නවයක්ම මම ගැහැනු ළමයෙක් එක්ක යාළුවෙලා හිටියා. මම විවාහ වෙද්දී තාත්තා නැතිවෙලා. කසාදය පවා මං කරගත්තෙ මගේ හිතුමතයට. දවසක්දා මම මගේ ඒ තීරණය ගැන තාත්තාගෙන් ඇහුවා. එදා තමයි මම ඔහු දුටු අන්තිම දවස. හැබැයි එදා ඉතින් වෙනදා වගේ ලොකුවට තර්කයක් ඇතිවුණේ නෑ. මම කී දේ බොහොම උපේක්ෂාවෙන් හිනාවෙලා විඳ දරා ගත්තා. එය මගේ ජීවිතේ සදාතනික මතකයක්. තාත්තගේ මරණයත් මගේ ජීවිතේ අනුවේදනීයම සිද්ධියක්. අවුරුදු 51දි මියගියත් මම හිතනවා ඔහු තව කලක් ජීවත්වෙන්න ඕනෑ කෙනෙක් කියල. එයාගෙ ජීවිතේ යම් අරමුණක් තිබුණා ජීවිතේ මොනයම්ම හරි කාලෙක හොඳට සැප විඳල ඉන්න ඕනෑ කියලා. නිදහසේ පාඩුවෙ සැප විඳල ඉන්න ඕනෑ කාලෙ එයාට ඒක කරගන්න බැරිවුණු එක ගැන මට දුකයි. අපට සැප විඳින්න හැකි පරිසරය හදල තියල එයා හැමෝටම කලින් යන්න ගියා.’’
Leave a comment