කන දේවල් වමනේ දාන්න හිතෙන - Anorwxia Nervosa

එක් දිනෙක මනෝ වෛද්‍යවරයා හමුවීමට දහසය හැවිරිදි  දියණියක් පැමිණියේ ඇගේ මවුපිය දෙපළද සමගය.. ඇය දුටු විගස පෙනී ගියේ ඉතාමත් සිහින් ශරීරයකින් යුත් මලානික පෙනුමක් ඇයට තිබෙන බවය. ඇයගේ මව ප්‍රකාශ කරනු ලැබුවේ ඇයගේ ආහාර රටාව අවසාන වසර තුළ බොහෝ ලෙස වෙනස් වූ බවයි. එම කාල සීමාව තුළ ඇයගේ බර කිලෝ ග්‍රෑම් 20ක් පමණ අඩු වූ බවත් ඇය ඉතාමත් කනස්සල්ලෙන් පසු වූ බවත් මව පැවසුවාය.

වසරකට පමණ පෙර කාලය ඇය කිසිදු ගැටලුවක් නොමැතිව සිටියත් ඇයගේ මවට සන්ධි වේදනාවක් හටගත් පසු වෛද්‍යවරයා විසින් තම මවගේ බර අඩුකර ගැනීමට දුන් උපදෙස් පිළිබඳ ඇය බොහෝ සේ කල්පනා කළ බව ඇයගේ මව ප්‍රකාශ කළාය.. එම කාල සීමාවේදී ඇයගේ ආහාර රටාවවෙනස් වූ බව ඇයගේ මවට පැහැදිලි වූ අතර ඇය ලබා ගන්නා ආහාර වේල් ප්‍රමාණය මෙන්ම එම එක ආහාර වේලකදී ආහාරයට ගන්න ප්‍රමාණය ද  අඩු කළාය.
බත් කෝප්ප දෙකක් පමණ දවල් වේලකට ගන්නට පුරුදු වූ ඇය එය එක කෝප්පයකට පමණ අඩු කළාය. එම ප්‍රමාණය පවා ඇය බොහෝ විට ආහාරයට නොගත් අතර පිඟානෙහි ආහාර ඉතිරි කර යෑමට පුරුදු වූවාය.
කාලයත් සමග ආහාර වේලකට සීමා වූ අතර ඇයට බඩ ගින්නක් නොමැති බව ඇය පැවසුවාය. ඇය පෙර ආහාරයට ගත් ආහාර වර්ග ගැනීමෙන් වැළකුණු අතර ආහාර වේල සව් වැනි ආහාරවලට සීමා වූවාය. කලින් කිලෝ ග්‍රෑම් 55ක බරක් තිබුණු ඇය කිලෝ 35කට පමණ අඩු වූවාය.
මෙම අවස්ථාවේදී වෛද්‍යවරයා ඇයගෙන් අසා සිටියේ ඇය කුමන හේතුවක් නිසා මෙම ආකාරයෙන් ආහාර රටාව වෙනස් කළාද යන්නය. ඇය ප්‍රකාශ කරනු ලැබුවේ, ඇය තම පන්තියේ අනෙකුත් ගැහැනු ළමයින්ට වඩා මහතින් වැඩි බවත්, එම හේතුව නිසා ඉතා අවලස්සන බවත්ය. ඇය තවදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ අන් අය තමා මහතින් වැඩි අයකු යැයි කියා තමා ගණන් නොගන්නා බවත්ය. බරින් වැඩි තරබාරු පුද්ගලයන් දුටු පමණින් අනෙක් අයට පවා අලස හැඟීමක්  එනබව ඇය ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවේදී ඇයගේ මව, ඇය කුඩා කල සිට නිරූපණ ශිල්පිනියන් ගැන විස්තර සෙවීමට ඉතාමත් රුචි බවක් දැක්වූ බවත් අනාගතයේදී නිරූපණ ශිල්පිනියක් වීමේ සිහිනයක් ඇති බවත් ප්‍රකාශ කළාය.
ඇය දිනකට විශාල කාලයක් කණ්ණාඩිය ඉදිරිපස ඇය දෙස බලා සිටීමට පෙලඹෙන අතර දිනපතා තම බර මැන පොතක සටහන් කිරීමට පුරුදු වී සිටියා. මින් අමතරව ඇය අන්තර්ජාලය හමුවේ බර අඩුකර ගැනීමේ වීඩියෝ, අඩු කැලරි සහිත ආහාර පිළියෙල කර ගැනීමේ වීඩියෝ මෙන්ම වෙනත් ආහාර පිළියෙල කිරීමේ වීඩියෝ නැරඹීමට වැඩිවේලාවක් ගත කරයි.
මෙම අවස්ථාවේදී ඇයගේ පියා ප්‍රකාශ කරනු ලැබුවේ ඇය ඇතැම් අවස්ථාවලදී අයිස් ක්‍රීම්, ජෑම් වැනි ආහාර විශාල ප්‍රමාණයක් කෙටි කාලයකදී ලබා ගන්නා අතර පසුව වැසිකිළිය වෙත ගොස් තම උගුරට ඇඟිල්ල දමා වමනය කිරීමට පෙලඹෙන බවය.
මෙම අවස්ථාවේදී ඇය ප්‍රකාශ කළේ තමා මෙවැනි අවස්ථාවල සීනි සහිත ආහාර ලබා ගැනීමට දැඩි රුචියක් පැමිණියත් එම ආහාර ගත් පසු ඇයට ඉතා අපහසුවක් දැනුණු බවත් වමනය දැමීම මඟින් සහනයක් අත්වූ බවය.
මෙසේ වසරක් ඔස්සේ ආහාර අඩු ප්‍රමාණයක් ගත් ඇයට කෙස් කලඹෙන් විශාල ප්‍රමාණයක් නැතිවී ඇති බව වෛද්‍යවරයාට ඇගේ මව ප්‍රකාශ කළාය. කෙස්වලට අමතරව හමෙහි, නියපොතු වල පවා වෙනස්කම් ඇති වූ අතර මාසික ශුද්ධි වීම  නොවූබවද වෛද්‍යවරයාට මව ප්‍රකාශ කළාය.
නිතරම වට පිටාව ඉතාමත් සීතල බව ප්‍රකාශ කරන ඇය ක්ලාන්තයක් ඇති බව නිතරම ප්‍රකාශ කරන්නීය. ඇයට නින්ද යෑම පවා අඩුවී ඇති අතර පාසල් කටයුතුවලදී අවධානය තබා ගැනීමත්, ඇයගේ මතක ශක්තියටත් බලපෑමක් වී ඇති බවට හැඟී ගොස් ඇත. ඇය නිතරම කලකිරුණු හැඟීමෙන් පෙළෙන අතර ඇය කුඩා කල සිට ආහාර පාලනය ​ෙනාකළ බැවින් මෙසේ මහත් වූ බව විශ්වාස කරන්නීය. කිසිදු දෙයකට උනන්දුවක් නොමැති  ඇයට ජීවිතයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නිතර හැඟෙයි.
ඇයට තිබෙන රෝගී තත්ත්වය Anorexio Nervosa (ඇනොරෙක්ෂියා නර්වෝසා) තත්ත්වය බවට එය                                                 අනිවායෙන්ම ප්‍රතිකාර කළ යුතු බවත් එසේ නොකිරීමෙන් විශාල ජීවිත අවධානමක් ඇති බවත් ප්‍රකාශ කළේය.  Anorexio Nervosa තත්ත්වයට මනෝ චිකිත්සක ක්‍රම ප්‍රතිකාර සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කළත් ඖෂධ අවශ්‍ය අවස්ථාවක් ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

අප දන්නා ලෝකයේ අවසානයද මේ? Read Previous

අප දන්නා ලෝකයේ අවසානයද මේ?

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ Read Next

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

Realted Post

Leave a comment