බබා හම්බවුණාට පස්සේ අම්මට හුඟක් කේන්ති යනවද?

දරු ප‍්‍රසුතියට සුදානම් වන සෑම මවක්ම මේ ගැන බිය විය යුතු නැහැ. එහෙත් අවබෝධයෙන් සිටීම වැදගත්. එසේ කළ යුත්තේ මෙවැනි තත්ත්වයක් මඟ හැරීමෙන් සිදුවිය හැකි හානිය ඉතා විශාල වන නිසයි.

සුරේඛා මුල්වරට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට මා වෙත පැමිණියේ දින කීපයකට පෙරය. දෑත් ගැට ගසා නිසි ඇඳුමෙන් සැරසුණු අවුරුදු 30 ක පමණ ඇය රෝහලට ගෙනාවේ එදින මධ්‍යම රාත‍්‍රියේ ය.

නැන්දම්මාගේ අතේ සිටියේ රෝස මලක් වැනි පියකරු ඉතා කුඩා බිලිඳෙකි. දිගින් දිගටම සැමියා සහ නැන්දම්මා සුරේඛාට චෝදනා කළේ ඇය සිත් පිත් නැතිව තම සිඟිති දියණිය නිදාගෙන සිටියදී කොට්ටයකින් මුහුණ තද කර මරා දැමීමට උත්සාහ කළ බවය.
මේ සුරේඛාගේ කතාවයි. 
ධනවත් පවුලක උපත ලද  සුරේඛාට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. පියා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. යාන වාහන, ඇගේ සියලූමදේට අතට පයට සේවකයෝ සිටියා. තරුණ කාලය ගත කළේ බාහිර ලෝකය ගැන කිසිම අවබෝධයක් නැතිවයි. ඇයගේ අධ්‍යාපන කටයුතුවලදී බාහිර පන්ති ගුරුවරුන් ගෙදරට ගෙන්වා ගත්තා. එසේ තිබියදී ඇය  අසංක සමග පේ‍්‍රම සම්බන්ධයක් පටන් ගත්තා. ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ කෙනෙක්. ඇය යෞවන කාලය ආරම්භයේම තම සිහින කුමරයා සමග පැන ගියේ අලූත් ජීවිතයක් ආරම්භ කරන්නයි.
ටික දවසක් ගත වෙද්දිම ඇයට පසක් වුණේ තමා කරගත් මෝඩකම ගැනයි. ඇය ඔහු සමග අනේක දුක් වේදනා වින්දා. බීමත්ව පැමිණෙන ඔහු ඇයට ගුටි බැට දුන් වාර අනන්තයි. කෑමට යමක්, ඇඳීමට වස්ත‍්‍රයක් පවා ඇයට ලැබුණේ නැහැ. ඇයගේ පවුලේ අය ඇය බාර නොගත්තේ පවුලට සිදු වූ අපකීර්තිය නිසයි. ඇයට කිසිදු හව්හරණයක් තිබුණේ නැහැ. එපමණක් නොව නැන්දම්මා පවා නිරන්තයෙන් ඇයට බැණ වදින්නට වුණා. පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණේ ඇය නිසා යැයි අවලාද නගන්නට වුණා. මේ තාඩන පීඩන මැද ඇය සිය දිවි නසා ගැනීමටද කිහිප වතාවක්ම උත්සාහ කර තිබුණා.  කෙසේ හෝ මේ සියලූ දුක් කරදර විඳගෙන ඇය තම කුළුදුල් දරුවා බිහිකිරීමට ලෑස්ති වුණා.
ඇයට පිළිසිඳ ගත් කුළුදුල් දරුවා නිසාවත් සැමියා තමාට පහරදීමවත් අඩන්තේට්ටම් කිරීමවත් අඩු කරාවි යැයි සුරේඛා සිතුවා. නැන්දම්මාගේ ඇනුම් බැනුම් අඩු කරාවි යැයි, සැමියාගේ මත්ද්‍රව්‍ය පාවිච්චිය අඩු වෙතැයි සිතුවා.
සිදුවූයේ එහි හාත්පසින් විරුද්ධ පැත්තයි. ඇය වෙත එල්ලවුණු තාඩන පීඩන තවත් වැඩි වුණා. සැමියා නිරන්තරයෙන් තර්ජනය කළේ දරුවා නැතිකර ගන්නා ලෙසයි. දරුවකුත් කුස දරාගෙන ඇයට ගෙදර සියලූ වැඩ කටයුතු කරන්නට වුණා. කෙසේ හෝ දියණිය බිහිකිරීමට ඇය රෝහලට ඇතුළු වුණා.
උපත ලබන ගැහැනුු දරුවාට රෝස පාට ඇඳුම් ඇන්දවීමට සිහින මැවූ ඇයට සිදුවූයේ පරණ චීත්ත කැබලිවලින් දරුවාගේ විලි වසන්න.
දරුවා නිවසට කැඳවාගන ගොස් සතියකට පමණ පසු ඇයගේ හැසිරීම වෙනස් වුණා. ඇයට නිරන්තරයෙන් තරහ යන්න පටන් ගත්තා. පොඩි දෙයටත් තිගැස්මට පත්වුණා. මුලදී පවුලේ අය මේ වෙනස්කම් ගණන් ගත්තේ නැහැ. ඇගේ නින්ද අඩු වුණා. වටේ සිටින අය නිරන්තරයෙන් හදි හූනියම් කර ඇතැයි චෝදනා නැගුණා. බිලිඳාට සති දෙකක් පමණ වනවිට මේ තත්ත්වය තවත් උග‍්‍ර වුණා. ඇය ආහාර ගැනීම පවා ප‍්‍රතික්ෂේප කළේ ඥාතීන් ඒවාට වස දමා ඇතැයි චෝදනා කරමින්. දරුවාට කිරිදීම සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළා. දරුවා ළඟටවත් ගත්තෙ නැහැ. සමහර වෙලාවට ඇය පැවසුවේ මේ තමාගේ දරුවකු නොව යකෙකුගේ් දරුවෙක්බවයි. ඥාතීන් සිතුවේ ඇයට වැලඳී ඇත්තේ වැදූගෙයි සන්නිය කියාය. යාගහෝම කිරීමට කපුවකු පවා නිවසට  ගෙන්නුවා. 
සැමියා ඇය මට්ටු කරන්න හැමවිටම ගුටිබැට දුන්නා. ඇය ඇඳුමක් පවා සෝදා ගත්තේ නැහැ. මේ අතර ඇය කීපවරක්ම කොට්ටයෙන් මුහුණ තදකර දරුවා මරා දැමීමට උත්සාහ කර තිබුණා. එහෙත් ඇය එසේ කරන්න හදන විටම නැන්දම්මාගේ ඇස ගැටී සිදුවීමට ගිය මහා විනාශයක් වැළකුණා. මෙයින් තැතිගත් ගෙදර සියලූ දෙනාම සුරේඛාව රෝහලට රැගෙන ගියා. 
‘වැදු ගෙයි සන්නිය’ ලෙස හඳුන්වන මෙය දුලබ මානසික තත්ත්වයකි.
දරු ප‍්‍රසූතියෙන් සති දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් මේ තත්ත්වය පටන් ගන්නවා. මෙය සාමාන්‍යයෙන් මවුවරුන් දහසකින් එක් අයකුට වැලඳෙන තත්ත්වයක්.
රෝගියාගේ රෝග ලක්ෂණ විවිධ විය හැකියි. සමහර විට අන්දුන් කුන්දුන් ස්වභාවයක සිටීම, නිරන්තරයෙන් තරහයාම සහ කලබල ගති, අධික ලෙස වැඩ  කිරීම, වැඩවල අපිළිවෙළ, නින්දේ වෙනස්කම්, නිරන්තරයෙන් අඬන ස්වභාවය, සැක ගතිය, වෙනත් අයට නෑසෙන ශබ්ද ඇසෙන ගතිය, ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කිරීම මේ රෝගයේ ලක්ෂණයි. මෙයට ජානමය බලපෑමක් ද ඇතැයි සොයාගෙන තිබෙනවා. 
විශේෂයෙන්ම කාන්තාවකට පළමු වැනි දරු ප‍්‍රසුතියේදී මෙය ඇතිවීමට හැකියාව වැඩියි.
සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් තිබුනොත් මුලින්ම එය හඳුනා ගන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්. ඔවුන් මේ තත්ත්වය හඳුනා ගැනීමට විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා. එම නිසා පවුල් සෞඛ්‍ය සේවිකාව නිවෙසට පැමිණීම දරු ප‍්‍රසුතියෙන් පසුවද සිදුවිය  යුතුයි.
මවකට මෙවැනි තත්ත්වයක් ඇති වූ වහාම ළඟම ඇති මනෝ වෛද්‍ය සායනයකට යා යුතුයි. දරුවාට හානියක් සිදුවීමේ අවදානමක් තිබේ නම් එහිදී මවගෙන් දරුවා වෙන්කර තබනවා. එහෙත් වෛද්‍යවරුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මවත් දරුවාත් පූර්ණ අධික්ෂණයක් යටතේ එකට තබා ගැනීමටයි. එමෙන්ම දරුණු තත්ත්වවලදී විද්‍යුත් කම්පන ප‍්‍රතිකාර පවා යොදා ගන්නවා. 
මේ තත්ත්වය වළක්වා ගැනීමට තමන්ගේ ප‍්‍රසූතිය අවස්ථාවේදී හොඳ මානසික සහ කායික සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම, සැමියා සමග හොඳ සම්බන්ධතාවක් පැවැතීම, සුව නින්දක් ලබා ගැනීමේ පුරුදු ඇතිකර ගැනීම, තමන්ට උපකාර ලබා ගැනීමට හොඳ සම්බන්ධතා පවත්වා ගැනීම ආදිය උදව් වෙනවා. කලාතුරකින් මේ තත්ත්වය දරු ප‍්‍රසුතියෙන් මාසයකට පමණ පසුවත් සමහර මවුවරුන්ට හැදෙන්න පුළුවන්.
මෙවැනි රෝගී මවක් මනෝ වෛද්‍යවරුන් හමුවට ආවිට පරීක්ෂණ ගණනාවක් සිදුකර මේ තත්ත්වයට හේතුව සොයා ගැනීමට උත්සාහ කරනවා. නිරන්තරයෙන්ම විශේෂඥ මනෝ වෛද්‍යවරයකුගේ  උපදේශ මෙවැනි තත්ත්වයකදී ඉතා වැදගත්.
විශේෂයෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ වෙනත් රෝහල්වල මව සහ බිලිඳා එකට තබා ගත හැකි විශේෂ ඒකක  සකස් කර තිබෙනන්නේ මෙවැනි තත්ත්වවලදී ප‍්‍රතිකාර කිරීමටයි.
මෙවැනි තත්ත්වයට ගොදුරු වූ මවක් ඊළඟ දරු ප‍්‍රසුතියේදී තත්ත්වය මීට වඩා බරපතළ විය හැකියි. එම නිසා අනුමත කරනු ලබන ඖෂධ ඒ අයුරින්ම ලබාගත යුතුයි. නැවත ගැබ් ගැනීමකදී තමන් විසින් ගන්නා ඖෂධ පිළිබඳව වෛදයවරයා දැනුවත් කළ යුතුයි. 
දරු ප‍්‍රසුතියට සුදානම් වන සෑම මවක්ම මේ ගැන බිය විය යුතු නැහැ. එහෙත් අවබෝධයෙන් සිටීම වැදගත්. එසේ කළ යුත්තේ මෙවැනි තත්ත්වයක් මඟ හැරීමෙන් සිදුවිය හැකි හානිය ඉතා විශාල වන නිසයි.

සටහන - ආරියසේන හඳුවල

මම මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහන කෙනෙක් Read Previous

මම මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහන කෙනෙක්

මම මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහන කෙනෙක් Read Next

මම මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහන කෙනෙක්

Realted Post

Leave a comment