තාත්තා දාලා ගියාම පුතා නැවතුණු තැන
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ පෞද්ගලික සමාගමක පරිපාලන නිලධාරිනියක්. මගේ සැමියා ඒ සමාගමේම අධ්‍යක්ෂවරයෙක්. පුතාල දෙදෙනකු සිටිනවා. ලොකු පුතාට අවුරුදු 14 යි. පොඩි පුතාගේ වයස අවුරුදු 7යි. අපි කොට්ටාව ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක ජීවත් වුණා. කාලයක් හොඳින් ගත වනවිට මගේ සැමියා එම ආයතනයේම සිටින වෙනත් නිලධාරිනියක සමග සම්බන්ධයක් ඇතිකර ගත්තා.
ඊට පසුව ඔහු අපෙන් වෙන්වී එම කාන්තාව සමග වෙනම ජීවත්වීමට ගියා. එහෙත් ඔහු අප සමග දිවි ගෙවූ නිවස හෝ වාහනයවත් ගත්තෙ නෑ. ඒ සියල්ල අපට බාර දුන්නා. මේ කාලයේ මම කාලය ගත කළේ කියාගන්න බැරි තරම් දුකකින්. කොහොම හරි මම ප‍්‍රශ්න මැද්දේ දරුවන් දෙදෙනාත් බලාගෙන හිටියා. මේ ප‍්‍රශ්නය වැඩියෙන්ම බලපෑවෙ මගේ ලොකු පුතාට. එයා තාත්තා ගැන පුදුම වෛරයකින් හිටියෙ. ඒ වනවිට කොවිඞ් රෝගය පැතිරුණු නිසා ඔන් ලයින් පන්ති පටන් ගත්තා. ඒ සඳහා මගේ පරිගණකය එයාට දෙන්න සිදුවුණා. එය ඔහුගේ කාමරයේම තබාගන සිටියා. දවස පුරාම ඔන් ලයින් පන්ති තබුණා. මේ අතර ඔහු පරිගණක ක‍්‍රීඩාවලටද යොමුවුණා. මුලින් පැයක් දෙකක් පරිගණකය පාවිච්චි කළා. කාලයක් යනවිට මෙය පැය හත අටක් තරමට දික් වුණා.
තාත්තා නැති දරුවා නිසා මම හිත හදා ගන්න කියල ඔහුට ඊට ඉඩ දුන්නා. එවිට සාමාන්‍යයෙන් ඔහු උදේ අවදි වූ වෙලාවෙ සිට සවස් වනතුරු වගේ එක දිගටම පරිගණක ක‍්‍රීඩාවට පුරුදු වුණා. එසේ නැති අවස්ථාවලදී රූපවාහිනියේ විශේෂයෙන් දෙමළ චිත‍්‍රපට නැරඹීමට හුරුවුණා. සටන් ජවනිකා තිබෙන දෙමළ චිත‍්‍රපට නරඹන්න පුරුදු වුණා.
මේ වනවිට ඔහු ටික ටික මහත් වෙන්නත් පටන් ගත්තා. මුලදි පන්තියේ පළමුවැනියා වෙලා සිටි පුතා ටික ටික දහවැනියා පහළොස්වැනියා ඊට පසුව 25 වැනියා බවට ඔහුගේ ලකුණු එන්න එන්නම අඩුවුණා. ගුරුවරුන් නිරතම දරුවාගේ මතකය අඩුබව, අවධානය අඩු බව, පන්තියේ සිටින විට වෙනත් වෙනත් දේවල් දෙස බලා සිටින බව ආදිය ගැන නිතරම මට පැමිණිලි කළා.
ටිකෙන් ටික ඔහුට තරහයාම නුරුස්සන ගතියත් වැඩිවුණා. ගෙදර බඩු පවා පොළොවේ ගැසූ අවස්ථා තිබුණා. විශේෂයෙන් රූපවාහිනි නැරඹීම අඩුකරන ලෙස මා අවවාද කළ විට ඉතාමත් ආවේගශීලි ලෙස ප‍්‍රතිචාර දැක්වූවා. මල්ලිත් සමග සහයෝගයෙන් සිටි අයියා මල්ලිට පහර දෙන්න පවා පටන් ගත්තා.
මල්ලිත් රූපවාහිනියේ වෙනත් වැඩ සටහන් නරඹන්න පුරුදු වුණා. මා නිවසට පැමිණෙනතුරුත් ඔහු ඒවා නරඹමින් සිටියා. මටත් පහසු නිසා මා එයට කිසිවක් කීවේ නැහැ.
ලොකු පුතාගේ මේ වෙනස්කම් මට දරා ගැනීමට නොහැකි වුණා. හැකි හැම අවස්ථාවකම මම ඔහුට සමීප වීමට උත්සාහ කළා. ඒ හැම විටකම ඔහු මා මග හරින්න පටන් ගත්තා. අපි කලින් හිටියෙ කොපමණ ආදරෙන්ද අපි හතර දෙනාම නිදා ගත්තෙ එකම ඇඳක. ලොකු පුතා කිසිම දවසක මම නැතුව නිදාගන නැහැ. කවුරුවත් නැතිදාට මගේ ළගින් හෙල්ලෙන්නෙවත් නැහැ. පසුව ඔහු මා ප‍්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. මුලදී ඔහු යාළුවන් ඇසුරු කළා. එයත් එන්න එන්න අඩුවුණා. අපේ ඔන් ලයින් බිල රුපියල් හාරපන් දහස දක්වා වැඩිවෙන්න ගත්තා. මේ ගැන මම පුතා සමග කතා කිරීමට ලෑස්ති වුණා. හැම වෙලාවකම ඉතාමත් ආවේගශීලිවයි ප‍්‍රතිචාර දැක්වූවෙ. මට හිතුණෙ ඔහු පියා සමග තිබූ වෛරය පළ කිරීමට මෙසේ හැසිරෙන බවයි. නමුත් දිනක් ඔහු පාසලේදී තම මිතුරකුට ඔහුගේ පියා ගැන කතා කළා කියල ඉතාමත් අමානුෂික ලෙස පහරදී තිබුණා. එම දරුවාගේ මව මේ පිළිබඳව විදුහල්පතිතුමාට පැමිණිලි කර තිබුණා. ඒ අනුව මට විදුහල්පතිතුමා හමුවීමට සිදුවුණා. එහිදී ඔහු මට දැන්වූවේ වහාම මගේ ලොකු පුතා මනෝ වෛද්‍යවරයකුට යොමු කරන ලෙසයි.
ඒ අනුව මම මනෝ වෛද්‍යතුමා හමුවුණා. ඔහු මා සමගත් පුතා සමගත් බොහෝ වෙලාවක් කතා කළා. මගේ පොඩි පුතා සමගත් බොහෝ වෙලාවක් කතා කළා. ඉන්පසු ඔහු මට කීවේ මගෙ ලොකු පුතාට පරිගණක ක‍්‍රීඩාවලට ඇබ්බැහි වීමක් තිබෙන බවත් මේ නිසා ඔහු විශාල වශයෙන් ආතතියට පත්ව තිබෙන බවයි. පුතාගේ ආතතිය විෂාදය තෙක් දුරදිග ගොස් තිබෙන බව මනෝ වෛද්‍යතුමාගේ මතයයි. ඔහු පුතාට ඖෂධ නියම කළා. ඊට අමතරව මනෝ චිකිත්සා ක‍්‍රම කීපයක් නියම කළා.
රූපවාහිනිය නැරඹීම ගැන ඔහු බොහෝ දේවල්වලින් අප දැනුවත් කළා. ඒවා මෙහෙමයි.
1. වයස අවුරුදු 2ට අඩු දරුවන් කිසිසේත්ම විද්‍යුත් උපකරණවලට නිරාවරණය වීම නුසුදුසුය.
2. අවුරුදු 2ත් 5ත් අතර දරුවකු දිනකට පැයකට වඩා විද්‍යුත් උපකරණවලට නිරාවරණය වීම නුසුදුසුය.
3. අවුරුදු 5ට වඩා අඩු දරුවන් රූපවාහිනියෙන් යමක් නරඹන විට වැඩිහිටියකු අනිවාර්යෙන්ම ඔවුන් සමග රැඳී සිටිය යුතුය.
4. වයස 6ත් 18ත් අතර දරුවෙක් දිනකට පැය 2කට වඩා අඩු කාලයක් පමණයි විද්‍යුත් උපකරණ සමග රැඳී සිටිය යුත්තේ.
මෙහිදී වෛද්‍යවරයා විශේෂයෙන් දැනුවත් කළේ සෞඛ්‍ය සම්පන්න සමබර ජීවිතයක් ගත කිරීමයි. නිතිපතා පාසල් පැමිණීම, අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යාම අඩුම වශයෙන් දිනකට පැයක්වත් ඇග වෙහෙසෙන කටයුත්තක නිරතවීම, යහළු මිත‍්‍ර සම්බන්ධතාවල යෙදීම පවුලේ අය සමග සතුටු සාමීචියේ යෙදීම පැය 8 - 12 අතර කාලයක් නිදා ගැනීම.
විද්‍යුත් උපකරණ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජංගම දුරකථන ටැබ් පරිගණක රූපවාහිනී ආදියයි. වයස අවුරුදු 13ට අඩු දරුවන්ට මේ සියලූ විද්‍යුත් උපකරණ භාවිතය හැකිතාක් අඩු කළ යුතුය. එයට හේතුව වන්නේ වයස 13ට අඩු දරුවන්ට මේවායේ පෙන්වන දේ සහ සැබෑ ජීවිතයේ වෙනස තෝරා බේරා ගැනීමට තරම් හැකියාවක් නොමැතිකමයි. එවිට මවුපියන් උදව් කළ යුත්තේ දරුවාට සැබෑව සහ මායාව අතර වෙනස හඳුනා ගැනීමටයි. නිතරම ඒවායේ තිබෙන සංස්කෘතික වටිනාකම් පවුල් සංස්ථාවේ අගය ආරක්ෂා කළ යුතු බව මනෝ වෛද්‍යවරයා පැහැදිලි කළා.
වයස අවුරුදු 13ට අඩු ළමයෙක් කිසිසේත්ම හිිංසාවන් තිබෙන වැඩසටහන්වලට නිරාවරණයවීම කිසිසේත්ම නුසුදුසුයි. එසේ නොමැතිව ටික කාලයක් හෝ එවැනි වැඩසටහන්වලට යොමුවන දරුවන් පවුලේ අය සමග ගත කරන කාලය, සෙල්ලම් කරන කාලය අඩුවන බව වෛද්‍ය මතයයි. එසේ වූ විට දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනයට අයහපත් ලෙස බලපානවා. මේ තත්ත්වය මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කරනවා. වැඩි වෙලාවක් නැරඹීමෙන් ශාරීරික ස්ථුලබව වැඩිවෙනවා. දරුවන් නින්දට යැවීමට අඩුම ගණනේ පැයකට පෙර රූපවාහිනිය ක‍්‍රියා විරහිත කළ යුතු බව වෛද්‍ය මතයයි.
ආරියසේන හඳුවල
Leave a comment