පුදුම ලොකුකමක් ඔළුවට ගහන Bipolar Affective Disorder

 

දිනෙක වෛද්‍යවරයා හමුවට අවුරුදු විස්සක් පමණ වන දියණියක් සිය මවුපියන් ද සමග මනෝ වෛද්‍යවරයා හමුවීමට පැමිණියේ කලබල ගතියකිනි. කලබලයෙන් සිටින ඇය දුටු මනෝ වෛද්‍යවරයාට පැහැදිලි වූයේ, කලබල ගතියට අමතරව ඇයගේ රූප විලාශය හා හැඳ පැලඳ සිටි ආකාරයේ වෙනසක් තිබෙන බවය. අධික ලෙස තම මුහුණේ මේක්අප් ආලේප කර තිබූ ඇය රත්තරන් පැහැති ආභරණවලින් සැරසී සිටියාය. වාඩිවුණු සැණෙකින් එක් කකුලක් උඩින් අනෙක් කකුල තැබූ ඇය ඉතාමත් උජාරුවෙන් වෛද්‍යවරයා දෙස බලා සිටියාය. .

මවුපියන්ගෙන් දියණියට තමා හමුවීමට හේතු වුණු කාරණය විමසූ වෛද්‍යවරයාට ඔවුන් පැවසුවේ, “මෙයාට පුදුම ලොකුකමක් ඔළුවට ගහලා ඩොක්ටර්” යනුවෙනි. එය පැවසූ සැණෙකින් ඊට පිළිතුරු දුන් දියණිය එවිට ප්‍රකාශ කළේ තම මවුපියන්ගෙන් තම අවශ්‍යතා ඉටු නොකෙරෙන බවත් ය.
ඇය වසරකට පෙර ප්‍රථම වරට උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර, වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට එහි ප්‍රතිඵල ප්‍රමාණවත් වූයේ නැත. යම්කිසි කලකිරීමකින් දෙමසක් පමණ ගත කළ ඇය, ඒ දිනවල ඉතාමත් සුළු දේවල්වලට පවා හැඬීමට පෙලඹුණාය. .
එහෙත් යම්කිසි කාලසීමාවකට පසුව එවැනි හැඟීමකින් තොරව උසස් පෙළ දෙවැනි වරට ඇය මහන්සි වී පාඩම් කළාය.
ඇය මෙම කාලසීමාවෙහි තරමක් අඩුවෙන් නිදාගත් අතර, ඇය එසේ කරන ලද්දේ පාඩම් කටයුතුවලදීය. එහෙත් ඇයගේ මවුපියන්ට ඇයගේ හැසිරීම් රටාවේ වෙනස්කමක් අවසාන සති කිහිපය තුළ පැහැදිලි විය.
ඇය ඉතාමත් අල්ප වශයෙන් නිදාගත් අතර, ඇය නිදිවර්ජිත වුවත් එම කාලසීමාවෙහි කිසිදු පාඩම් වැඩක නිරත නොවූවාය. ඇය උදේ 2 – 3 අතර කාලයෙහි අවදි වන අතර, ඉන් පසුව නිවස අතුගෑම, පොළොව සේදීම වැනි දෑ සිදු කළාය. මවුපියන් ඇය මෙසේ සිදු කරන හේතුව මන්දැයි ඇසූ කල්හි ඇය ප්‍රකාශ කරන ලැබූයේ තම පරිසරය පිරිසුදු නැති බවත්, එය තම මානසික තත්ත්වයටත්, අධ්‍යාපන කටයුතුවලටත් බලපාන බවය.

ඇය කතා කරන ප්‍රමාණය බොහෝ ලෙස වැඩිවුණු බව මවුපියන් විසින් ප්‍රකාශ කරන ලදී. ඇය මුලින් සතුටින් සිටි බව ඔවුන්ට හැඟී ගිය ද කලකට පසු ඇයට තරහ යන ප්‍රමාණය ද වැඩිවුණු බවත්, නිතරම දැඩි කෝපයකින් සිටි බවත් ඔවුහු ප්‍රකාශ කළහ. ඇය නිතරම ඇයගේ දක්ෂතාවන් සම්බන්ධයෙන් වර්ණනා කරගත් අතර, මෙවර උසස් පෙළින් ඉතා ඉහළින් සමත් වීම සක්සුදක් සේ පැහැදිලි බව ප්‍රකාශ කළාය.

ගිය වර උසස් පෙළින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට බැරි වූයේ යම්කිසි ප්‍රශ්න පත්‍ර මගහැරීමක් හේතු කොටගෙන බව ප්‍රකාශ කළ ඇය, ඒ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කළ ලියුමක් විභාග දෙපාර්තමේන්තුවට ද ඉදිරිපත් කළාය.
මෙවර පසුගිය ප්‍රශ්න පත්‍ර කළ ඇයගේ පිළිතුරු සියල්ල පාහේ නිවැරදි නමුත්, එම ප්‍රශ්න පත්‍ර විචාර ලියූ ලේඛකයන්ගේ විෂය සම්බන්ධ දැනුම ප්‍රමාණවත් නොවන බවද පැවසුවාය. මෙවැනි අදහස්වලට තම මව හෝ පියා විරුද්ධත්වයන් ප්‍රකාශ කළ විට දැඩි කෝපයට පත්වුණු ඇය, ඔවුන් ඉරිසියාකාරයන් බව පවසා බැණ වැදුණාය..
ඇයගේ මවුපියන් ඇයගේ නමින් බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය අතර, එහි තිබූ ලක්ෂ 3 ක මුදලක් ඇය ගෙන මෙම අවසාන සති කිහිපයේ වියදම් කර ඇත. විචිත්‍ර ඇඳුම්, මේකප් වර්ග, නිවෙස් අලංකරණ ද්‍රව්‍ය එම මුදලින් ඇය මිල දී ගෙන තිබූ අතර, එම ද්‍රව්‍ය ඇයට පාඩම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මානසික තත්ත්වයක් ඇති කිරීමට අත්‍යවශ්‍ය බව ඇය කීවාය.
වෛද්‍යවරයා විසින් ඇයට තිබූ තත්ත්වය හඳුනාගත් අතර, එම රෝගී තත්ත්වය “ද්විධ්‍රැව රෝගී තත්ත්වය” ලෙස හඳුනාගනු ලැබේ.
එවැනි තත්ත්ව ඇති පුද්ගලයන්ට යම් කාලවලදී විෂාද තත්ත්ව ඇති වේ. එවන් කාලවල ඉතා දුකින් පසුවන ඔවුන් හට ඉතා අඩු ශක්ති මට්ටමක් හා කිසිදු දෙයක නිරත වීමට උනන්දුවක් නොමැත.. එහෙත් ඔවුන්ට ඉතාමත් අධික ශක්තියක් හා සතුට අධික කාලයක් ඇති වේ.
එම කාලවල ඔවුහු ඉතාමත් කීර්තිමත් පුද්ගලයන් බව විශ්වාස කරන අතර, අනෙක් අයගේ අදහස්වලට වඩා තමාගේ අදහස් වැදගත් බව විශ්වාස කරති. එම විශ්වාසයන්ට ප්‍රතිරෝධයක් දක්වන අය කෙරෙහි කෝප වෙති. ඔවුන් නව ව්‍යාපෘතිවලට මෙම කාලවල එළඹෙන අතර, ඔවුන්ට අධික ශක්තියක් ඇත. ඔවුන්ට නිදා ගැනීමට පවා අවශ්‍ය නැත. නව ව්‍යාපෘති පටන් ගත්තත් ඒවා අවසන් කිරීමට ඔවුන්ට කිසි උනන්දුවක් නැත.
අධික ලෙස කතා කිරීමට පෙලඹෙන ඔවුන්ගේ ආහාර රුචිකත්වය බොහෝ සේ වැඩි වෙයි. ඔවුන් අධික ලෙස වියදම් කරන අතර, පටන් ගන්නා සමහර ව්‍යාපෘති ඉතාමත් අන්තරාදායකය. එමගින් විශාල ලෙස මුදල් නැතිවීමත්, තම ජීවිතයට හානිවීම පවා සිදුවිය හැකිය. ඔවුන්ගේ ලිංගික ආශාවන් පවා මෙම කාලවල වැඩිවන අතර, එමගින් ඔවුන්ට බොහෝ හානි සිදුවිය හැකිය.
මෙම ද්විධ්‍රැව රෝගී තත්ත්වය ඉතාමත් උග්‍ර ලෙස ඇතිවූ කල්හි රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වන අවස්ථා පවා ඇත. මෙම තත්ත්වය සුව කරගැනීමට ඖෂධ අත්‍යවශ්‍ය වන අතර ඒවා එම තත්ත්වය සුව වී යම් කාලයක් යනතුරු ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරයෙක් හමුවී නිවැරදි රෝග විනිශ්චයක් ලබා ගැනීමත්, එවැනි වෛද්‍යවරයෙක් එම ඖෂධ නවත්වන තෙක් යම්කිසි කාලයකට වරක් හමුවීමට මෙම රෝග පාලනයට අත්‍යවශ්‍ය වේ.

ආබාධිත දරුවෙක් කියන්නේ සොබාද Read Previous

ආබාධිත දරුවෙක් කියන්නේ සොබාද

මේ සතිය ඔබට -   ජන : 27 වන සඳුදා සිට පෙබ : 02 වන ඉරිදා අතර Read Next

මේ සතිය ඔබට - ජන : 27 වන සඳුදා සිට පෙබ : 02 වන ඉරිදා අතර

Realted Post

Leave a comment