පෙම්වතා messages නොකළට මැරෙන්න හිතෙන්නේ ඇයි?

දිනක් මනෝ වෛද්‍යවරයා වෙත රෝහලේ සර්වාංග වාට්ටුවෙන් රෝගියකු එවනු ලැබුවා. ඇය 21 වැනි වියෙහි පසුවුණු තරුණියක්. ඇය පැරසිටමෝල් පෙති 30 ක් එකවර බීම නිසා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව මනෝ වෛද්‍යවරයාට දන්වා තිබුණා.

ඇය එවැනි ක්‍රියාවක නිරතව ඇත්තේ තම පෙම්වතා සමග ඇති කරගත් ආරවුලකින් පස්සෙ. එම වාට්ටුවේදී දෙන ලද ප්‍රතිකාරවල විස්තර පිළිබඳව මනෝ වෛද්‍යවරයා අවධානය යොමුකළ අතර ඇයගේ අක්මාවට යම්කිසි බලපෑමක් ඇති වූ බවටත් ඇය විසින් ගනු ලැබූ පැරසිටමෝල්වල බලපෑම පාලනය කිරීමට ඉතා මිල අධික බෙහෙත් වර්ග එන්නත් කර ඇති බවත් සටහන් කර ගනු ලැබුවා.
මනෝ වෛද්‍යවරයා රෝගියාට  තමාව  හඳුන්වා  දුන් පසු  විමසා සිටියේ  මෙවැනි ක්‍රියාවක නිරත වූයේ කුමන හේතුවක්  නිසාද යන්නය. ඇය එයට මුලින් ප්‍රතිචාරයක් නොදක්වා බිම බලාගෙන සිටි අතර පසුව මඳ සිනාවක් පා

‘‘පොඩි  රණ්ඩුවක් වුණා... ඩොක්ටර්’’  යැයි කීවා ය. ඉන් පසු ඇය කීවේ තමා මාස 2කට පෙර රැකියා කරන ස්ථානයේදී හමුවූ  තරුණයකු සමග ආදර සම්බන්ධතාවක් ඇති කරගත් බවය. ඔහු  ඉතාමත් හොඳ පුද්ගලයකු බවත් තමාට බොහෝසේ ආදරය කළ බවත් කීවාය. එවන් පසුබිමක් තුළ මෙවන් ක්‍රියාවක් සිදුකළේ කුමන හේතුවකට දැයි විමසූ විට ඇය කීවේ කාර්යාලයේදී පෙම්වතා හමුවුවත් ඔවුන් අතර සම්බන්ධයක් තිබෙන බව කාර්යාලයේ අනෙකුත් අය නොදන්නා බවය. තමන් අතර සම්බන්ධතාව බොහෝ දුරට ගොඩනැගුණේ ජංගම දුරකථනයෙන් පමණක් බව ද ඇය කීවා. ‘‘එයා මුළු රෑම වගේ මාත් එක්ක කෙටි පණිවුඩ හුවමාරු කළා ඒ දවස්වල. එයා සදහටම මා සමග ඉඳීවියැයි මට මුල් දවස්වල හිතුණා. කාලයත්  එක්කම ඔහු මට වෙන් කරන කාලය අඩු වෙන්න පටන් ගත්තා. එයාට මාව එපාවෙලා කියා මට වැටහුණා. මගේ කෙටි පණිවුඩ වලට පැයක් යනතුරුත් පිළිතුරු නොලැබෙන්න පටන්  ගත්තා. ඒවගේ වෙලාවල්වල මට දරාගන්න බැරි දුකක් ඇතිවුණා. ඒ දුක මට පාලනය කරගන්න බැරිවුණා. මම ඔහුට ආදරය කරන ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි ඔහු මට ආදරය කරන්නෙ. මා ඒ බව කී විට ඔප්පු කර පෙන්වන ලෙස කීවා. මම වම් අතේ තුවාල දෙකක් සිදුකර එය ඡායාරූප ගතකර ඔහුට යැව්වා. මම එතරම් ඔහුට ආදරය කරන බව පැවසුවත් ඔහු  එතරම් මට ආදරය   කළේ නැහැ. ඇය කීවාය.

අත කපා ගැනීමේ සිද්ධියට ඔහු කුමන ප්‍රතිචාරයක් දැක්වීදැයි වෛද්‍යවරයා විමසූ කල ඇයගේ පිළිතුර වූයේ එම අවස්ථාවේදී ඔහු දැඩි සේ ආදරය කළ බවත් සමාව  අයැද සිටි බවත්ය. එහෙත් දින කිහිපයකට පසු නැවතත් තමාගේ කෙටි පණිවුඩවලට පිළිතුරු එවීමට කාලය ගතවූ අවස්ථාවක ඔහු සමග ආරවුලක පැටලුණු බවත් ඔහු තේරුම් ගැනීමට නොහැකිවූ නිසා පැරසිටමෝල් පෙති බිව් බවත් ඇය කීවාය.
මෙම සිදුවීමෙන් පසුව තම පෙම්වතා තමාව  බැලීමට රෝහලට පැමිණි බවත් ඔහු තමා ආදරය කරන බව නිසැකයෙන්ම දන්නා නමුදු යම් අවස්ථාවක ඔහු තමා අතහැර යාවිදැයි බියක් දැනෙන බව ඇය පැවසුවාය. ඇයට ඔහුගේ යම් යම් අඩුපාඩු හමුවේ  මතුවන හැඟීම් සහ ආවේග පාලනය කර ගැනීමට නොහැකි බවත් එවැනි අවස්ථාවල තමා දුරදිග නොබලා හදිසි තීරණ ගන්නා බවත් ඇය පැවසුවා ය.
පැරසිටමෝල් පෙති මෙපමණ ප්‍රමාණයක් ලබාගත් තමාට මිය යාමට කිසිදු අදහසක් නොතිබුණත් තම අක්මාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරයා  පැහැදිලි කළ පසු ඇය බියට පත්ව තමාගේ ක්‍රියා පාලනය කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.
මනෝ වෛද්‍යවරයා තවදුරටත් ඇයගෙන් විස්තර ලබාගත් අතර ඇයට පෞරුෂයාත්මක දුර්වලතාවක් (Borderline personality disorder) තිබෙන බව නිශ්චය කළේය. එවන් පුද්ගලයන්ට තම හැඟීම් පාලනය කිරීමට අපහසුය. යම් යම් සිදුවීම්වලදී දැඩි දුකක්, අධික සතුටක්,තරහක්, ඉතාමත් කෙටි කාලයකින් ඇතිවේ . ඔවුහු පසුව ඇතිවන ප්‍රති විපාක ගැන නොසිතා හදිසි තීරණවලට එළඹෙති. නිතරම තමන්ට  හානිවන ක්‍රියා සිදුකිරීමට පෙලඹෙති. අත් කපා ගැනීම්, බෙහෙත් අධිමාත්‍රා ගැනීමට පෙලඹෙති.
ඔවුන්ට නිතරම ජීවිතයේ හිස් බවක් දැනෙන අතර තමන්ගේ ප්‍රතිරූපය ගැන කිසිදු අදහසක් නොමැති බව කියයි. අන් අය මුලදි තමන්ට බොහෝ ලෙස ළංවුවත් පසුව අතහැර යන බව පවසයි. ඔවුන් බොහෝ විට නිරත වන්නේ කෙටි කාලීන ආදර සම්බන්ධතාවලය.
 මෙම පෞරුෂයාත්මක දුර්වලතාව මනෝ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ පාලනය කරගත හැකි තත්ත්වයකි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් මනෝ චිකිත්සක ක්‍රම භාවිත වුවද යම් යම් අවස්ථාවල ඖෂධ අවශ්‍යය. නිසි ප්‍රතිකාර මගින් මෙවන් පුද්ගලයන්ට අන් අය සමග යහපත් අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමට හැකිවන අතර අනවශ්‍ය රණ්ඩු සරුවල්, තමන්ට හානිකර ගැනීම්, සියදිවි හානිකර ගැනීම් වළක්වා ගැනීමට හැකිය.

 

හිත හැංගුවාම පවුලට වෙන විනාශය Read Previous

හිත හැංගුවාම පවුලට වෙන විනාශය

හැමවිටම පවුලට මුල්තැන දෙනවා  - Dinakshie Read Next

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

Realted Post

Leave a comment