එයාලට සවන්දෙන්න වෙලාවක් හොයා ගන්න
නව යොවුන්විය කියන්නේ ජීවිතයේ හරිම සුන්දර කාලයක් වගේම වැදගත්ම කාලයක්. මොකද අනාගතයෙදී යහපත් සමාජයක් ගොඩ නැගෙන්න නම්, නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ මානසික, කායික,සෞඛ්‍යය ඉතා යහපත් තත්ත්වයක තිබිය යුතුයි. නමුත් වර්තමානයේදී ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්වී තිබෙනවා. විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ නිරවුල් මානසිකත්වය බොහෝ හේතු නිසා පිරිහී ගිහින්. මේ තත්ත්වය පවුලට පමණක් නොව වර්තමානයේදී අනාගත ලෝකයටම මහත් ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසාම නව යොවුන් වයසේ සිටින දරුවන්ගේ මානසිකත්වය ඉතාම යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ඉඩකඩ නිර්මාණය කිරීම මවුපියන් වන ඔබේත් සමාජයේත් ලොකු වගකීමක් වෙනවා.
යොවුන් වියේ දරුවන්ට මානසිකව වදදෙන ප්‍රශ්න මොනවද? ඔවුන්ගේ නිරවුල් මානසිකත්වයට බලපෑම් කරන හේතු මොනවද කියලා දැනගැනීම ඉතා වැදගත් වෙනවා.
- හොඳ සවන්දෙන්නෙක් අවශ්‍යමයි
පවුලේ උදවිය මොනතරම් ජීවිතයට සමීපවුවත් නව යොවුන් වයසට පත්වුණාම ඇතිවන ගැටලු ඇතැම්විට පවුලේ අය සමග කතාකිරීමට අකමැති අවස්ථා තිබෙනවා. ඒ බොහෝවිට ඔවුන්ගේ හැඟීම්, ගැටලු තේරුම්ගැනීමට නොහැකිවේයැයි ඔවුන් සිතන නිසා වන්නට පුළුවන්. නමුත් මේ වයස් සීමාවේ සිටින තරුණ දරුවන්ගේ මානසික ගැටලු මඟහරවා ගැනීමට ඔවුන්ට ඉතාම හොඳ සවන්දෙන්නෙක් ඔවුන්ගේ ජීවිතයට සිටීම වැදගත්.
හුඟක් වෙලාවට නව යොවුන් වියේ දරුවන් සිටින්නේ ඉතාම කලහකාරී සිතුවිලිවල. ඔවුන් හරිම ආවේගශීලී. ඉක්මනින් තීරණ ගැනීමට පෙලඹෙන අවස්ථා තිබෙනවා. ඒ නිසාම ඔවුන්ට අදහස් හුවමාරුකර ගැනීමට, දොඩමලු වීමට හිතේ ඇති ගැටලු සාකච්ඡා කිරීමට, යහළුවෙක්, යෙහෙළියක්, හෝ එයාලට ඇහුම්කන් දෙන මවුපියන්, ගුරුවරයකු, අවශ්‍යයි. මේ කවුරුන් හෝ ඔවුන් සමීපයේ සිටීම ඔහුට හෝ ඇයට ඔවුන්ගේ මානසික ගැටලු විසඳාගැනීමට මූලික හේතුවක් වෙනවා.
විශේෂයෙන් අපේ වැඩිහිටියන්, මවුපියන්, ගුරුවරුන්, විසින් තරුණ දරුවන් හොඳින් තේරුම් ගැනීම වැදගත්. ඒ වගේම වැඩිහිටියන් ඔවුන් සමග හොඳ ශක්තිමත් බැඳීමක් ගොඩනගා ගැනීම නිසා මේ දරුවන් තුළ ඇතිවන ව්‍යාකූල මානසිකත්වය මගහරවා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. නව යොවුන්වියේ දරුවන් ශක්තිමත් වීමටත්, නිර්භීතව කටයුතු කිරීමටත් වගේම ජය පරාජයට මුහුණදිය හැකි, එය සමව දරාගත හැකි ප්‍රීතිමත් මානසිකත්වයක් ගොඩනගා ගැනීමටත් මේ වැඩිහිටි අවබෝධය ඔවුන්ට විශාල සහයෝගයක් එක් කරනවා.
- සියදිවි නසාගැනීම් වැඩිවෙලාද?
ලෝකය පුරා නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ විවිධ මානසික ගැටලු වර්තමානයේදී ඉහළ යමින් පවතින බව අප කවුරුත් දන්නා කරුණක්. විශේෂයෙන් සියදිවි නසාගැනීම් දිනෙන් දින ඉහළ යන තත්ත්වයක් දැක ගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන තරුණ දරුවන් සංඛ්‍යාවද වැඩිවෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. නමුත් මේ සියලු තත්ත්වයන් වෙනස්කළ හැකි ප්‍රධාන පාර්ශ්ව දෙකක් සිටිනවා. ඒ තමයි මවුපියන් සහ ගුරුවරු. මවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ මනා අවධානය ලබාදීමෙන් යොවුන් වියේ දරුවන්ගේ මානසික ගැටලු මුලින්ම හඳුනාගෙන මනා ලෙස පාලනය කරන්න පුළුවන්.
- ඔවුන්ට නිදහස සහ ක්‍රීඩාව අවශ්‍යයි
යොවුන් වියේ දරුවන් දිනපතා ව්‍යායාමයේ යෙදීම සහ ක්‍රීඩාවක නිරතවීම, නිරවුල් මනසක් පවත්වා ගැනීමට තවත් වැදගත්ම හේතුවක් වෙනවා. ඔවුන් කැමති ක්‍රීඩාවක යෙදෙන්නට ඔවුන්ව උනන්දු කිරීම වැඩිහිටියන්ගේ වගකීමක්. විශේෂයෙන් දරුවන් ක්‍රීඩාවට යොමුවීමෙන් මානසික පීඩනය, කාන්සාව වැනි මානසික ගැටලු අවම කරගන්න අවස්ථාව හිමිවෙනවා.
ඒ වගේම ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත් වැදගත්ම කාරණයක්. නව යොවුන් වියේ පසුවන දරුවන්ට යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමට නම් දිනකට අවම වශයෙන් පැය 8ක වත් නින්දක් අවශ්‍ය වෙනවා. නමුත් අද දරුවන් පරිගණක, ජංගම දුරකථන වැනි විද්‍යුත් තිර දෙස බලා සිටින කාලය වගේම සමාජ මාධ්‍යය තුළ ගත කරන කාලය ඉතාම වැඩිවෙලා. මේ නිසාම කාංසා සහ මානසික පීඩාකාරී තත්ත්වයන් ඇතිවන බව වෛද්‍ය පරීක්ෂණ මඟින් පවා මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඔවුන්ට සුව නින්දක් අහිමි කිරීමටද මෙය බාධාවක් ගෙනදෙන්න පුළුවන්.
ඒ වගේම සතුටින් ජීවත් වෙන්න, මානසික නිදහසකින් ජීවත්වෙන්න පුළුවන් විදිහට මනස හදාගන්න හැකියාව තිබෙන බවට යොවුන් වියේ දරුවන් දැනුවත් කළ යුතුයි. එවැනි මනසක් ගොඩනගා ගැනීමට සරල භාවනාවක යෙදීම, යහළු යෙහෙළියන් ඇසුරු කිරීම, විනෝද චාරිකා යාම, සුරතල් සතුන් ඇති කිරීම, සංගීතයට සවන් දීම වැනි විවිධ ක්‍රියා සිදුකරන්න හැකියාව පවතිනවා. ඒ වගේම යොවුන් වියේ දරුවන්ට පමණක් නොව මිනිසුන් වන සියලු දෙනාටම විවිධ මානසික ගැටලුවලට මුහුණ දෙන්න සිදුවන අවස්ථා තිබෙනවා. ඒ නිසා මානසික උපදේශනය අවශ්‍ය වන ඔනෑම මොහොතක ඒ සඳහා යොමුවීමෙන් ජීවිතේ බොහෝ ප්‍රශ්න දුරදිග යන්නට කලින් නිරවුල් කරගන්න හැකියාව තිබෙනවා. ඒ නිසා ජීවිතයේ වටිනා මෙන්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටින නව යොවුන් වියේ දරුවන් සතුටින් සාමකාමී ලෙස ජීවිතයට මුහුණ දෙන්න හුරුවීමෙන් ඔවුන්ගේ අනාගතය වගේම හෙට ලෝකය ලස්සන කරගන්න අවස්ථාව උදාකරගන්න පුළුවන්.
Leave a comment