මධුසමයට ගියාට වැඩක් නැහැ........

‘‘කොහොමද ඔබලා දෙන්නගේ මංගල රාත්‍රිය ගත කරන්න තියන සූදානම?’’
පූර්ව විවාහ උපදේශනය සඳහා මා හමුවීමට පැමිණි යුවළකගෙන් මම මේ ප්‍රශ්නය ඇසුවේ විවාහ උපදේශනයේ විවාහකයන් පිළිබඳව මට ඇති අත්දැකීම් පිළිබඳව සිහි කරමින්ය.

මගේ ප්‍රශ්නය යොමු වුණේ ඔවුන් දෙදෙනාම වෙතයි
ප්‍රශ්නය හමුවේ දෙදෙනාම යම් ලැජ්ජාශීලිබවකින් නිරුත්තර වෙලා යන අයුරු මට පැහැදිලිව දකින්න ලැබුණා. 
‘‘එහෙම විශේෂ සූදානම්වීමක් තිබුණේ නැහැ.’’ යන්තම් අමාරුවෙන් වචන ගැට ගසා ගනිමින් මනමාලයා පැවැසුවා.
තවදුරටත් ඔවුන් පවසා සිටියේ අඩුම තරමේ ඒ ගැන සාකච්ඡාවක්වත් කරනැති බවයි.
මම මුලින්ම ඔවුන්ට පැවසුවේ මා ඇසූ දෙය ගැන කතා කරන්න ලැජ්ජා විය යුතු නැති බවයි. මන්ද බොහෝ විවාහ තුළ ලිංගික ජීවිතය දෙදරා යාමට හේතුවන ආරම්භය අඹු සැමි දෙදෙනාගේ ප්‍රථම ලිංගික එකතුවේදී සිදු විය හැකි නිසයි. 
ඔවුන් දෙදෙනා උපදේශනය සඳහා යොමුවීමට හේතු වෙලා තිබුණේ විවාහ මංගල උත්සවයේ අධික වැඩ කටයුතු නිසා වෙහෙසට සහ මානසික ආතතියට පත්වීම නිසයි. ඒ තුළ ඔවුන් අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්ත්වය සමනය කර ගැනීමට සහය ලබා ගැනීමේ අරමුණින්.
විවාහ උත්සවය සඳහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් විශාල ලෙස මහන්සි වෙමින් කාලය කැප කරමින් ඔවුන් කටයුතු කර ඇත්තේ ඒ සඳහා සහභාගි වන අයව සතුටු කරන්න. දෙපාර්ශ්වයේ මවුපියන් නෑදෑයන්ගේ අභිරුචිකම් ඉටු කරන්න. විවාහ චාරිත්‍ර සිරිත් විරිත් ඉටු කරන්න. ඒ ඇරෙන්න ඔවුන්ගේ ලස්සන දවස සුන්දර කර ගන්න ඔවුන් දෙදෙනා වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් සිදු කළ යුතු දේවල් පිළිබඳව ඔවුන්ට හැඟීමක් තිබූ බවක් මට හැඟුණේ නැහැ.
ඒ අනුව මගේ දීර්ඝ පැහැදිලි කිරීම් හමුවේ ඔවුන් එහි ඇති බරපතළ තත්ත්වය මැනවින් තේරුම් ගත්තා.
ඇත්තටම ඔවුන් පමණක් නොව විවාහ වීමට සිටින බොහෝ අය විවාහයට පෙර ප්‍රථම ලිංගික එක්වීම පිළිබඳව විවෘතව කතා කරන්නේ නැහැ. ඒ සඳහා විවිධ හේතු බලපාන බව පැහැදිලියි. නමුත් මාගේ අදහස නම් විවාහයකදී අනෙක් දේවල් සේම එයද විවෘතව සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගැනීම ඒ පිළිබඳව හොඳින් දැනුවත් වීම ඉතාම වැදගත්.

ගැහැනු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා ලිංගික එක්වීමක් පිළිබඳව ප්‍රථම අත්දැකීම ලබන්නේ විවාහ වීමෙන් පසුවයි.
ඒ වගේම ලංකාව වැනි රටක විධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ලබා නොදීම නිසා ලිංගිකත්වය පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ ඉතාම වැරදි දෝෂ සහිත දැනුමක් සහ අවබෝධයක්. මිත්‍යාව, වැරදි විශ්වාස මේ තත්ත්වය අඹු සැමියන් අතර ලිංගික ජීවිතයේ ගැටුම් ගැටලු ඇතිවෙන්න මොන විදියට බලපානවද යන්න අපේ රටේ ඕනෑ තරම් අත්දැකීම් තියනවා.

උදාහරණයක් ලෙස සමහර තරුණියන්ට ප්‍රථම ලිංගික එක්වීම ඉතාම වේදනාත්මකයි කියන විශ්වාසය නිසා වැජිනිසම් වැනි ලිංගික ආබාධ හටගන්නා බව අනාවරණය වී තිබෙනවා. වැජිනිසම් යනු ලිංගික එක් වීමට අපහසුතා ඇති කරමින් කාන්තාවකගේ උකුළ, කලව සහ යෝනි බිත්ති තද වීම අවහිර වීම, එසේම යෝනි ස්‍රාවයවීම අවම වීම හෝ සිදු නොවීම. ඉතින් හිතන්න විවාහ වූ දෙදෙනකුගේ පළමු ලිංගික එක් වීම තුළ කාන්තාවක් එවැනි තත්ත්වයට පත් වුවහොත් එහිදී ඔවුන් පත් වන අසීරුතාවය. එහිදී ඇති වන කලබලය නොරිස්සීම මානසික ආතතිය නිසා කාන්තාවකට ලිංගිකත්වය ලිංගික එක් වීම ජීවිත කාලය පුරාවටම වදයක්, කරදරයක්, වේදනාවක් බවට පත්වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයට පත් වූ කාන්තාවන් ඕනෑ තරම් සමාජයේ ජීවත් වෙනවා. ලිංගිකව එකතු වීම සඳහා සුදුසු ලෙස ප්‍රවේශවීම පිළිබඳව මනෝ විද්‍යාත්මකව සහ ජීව විද්‍යාත්මක ඇති පියවර මොනවාද යන්න පිළිබඳව බොහෝ දෙනා දැනුවත් නැහැ.
සමහර ගැහැනු පිරිමි තමන්ගේ මංගල රාත්‍රියේදී තමයි ජීවිතයේ ප්‍රථම වතාවට සජීවීව කාන්තා ශරීරයක් පිරිමි ශරීරයක් නිරුවතින් දකින්නේ. සමහරවිට එහිදී අනෙකා පිළිබඳව බයක් අප්පිරියාවක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. එසේම විවිධ සෘණාත්මක සිතිවිලි සහ අසුබ හැඟීම් අනෙකා පිළිබඳව ඇති වෙන්න පුළුවන්. එලෙස හටගන්නා අප්‍රියජනක මානසිකත්වය යහපත් ලිංගික ජීවිතයක් සඳහා විශාල බාධාවක්.
ඒ වගේම සමහර පිරිමි සිටිනවා තමන්ගේ මංගල රාත්‍රිය හොඳින් ගත කිරීමට යයි සිතා විවිධ උත්තේජක වර්ග සමහරවිට මත්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් මේවත් සමහර අය සිදු කරන්නේ කිසිදු අවබෝධයකින් තොරව හිතුමතේ. සමහරවිට අනෙක් පාර්ශ්වයට හොරෙන්. ඒවා ඉතාම අහිතකර ලෙස බලපෑම් ඇති කරන්න පුළුවන්.
තවත් තරුණයෙක් කියපු කතාවක්.
මගේ යාළුවෙක් මගේ වෙඩින් එක දවසෙ මට යම් මත්ද්‍රව්‍යයක් ලබා ගන්න කියලා බල කළා. එයා කිව්වේ මේක ගත්තම හොඳ ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මට යාළුවන්ගේ හිත රිද්දන්න බැරි කමට ඒක ගන්න සිද්ධ වුණා. අන්තිමට ඒ ලබා ගත් දෙය නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මොකද ඒ මත්ද්‍රව්‍යයේ බලපෑම මත මගේ හැසිරීම බිරිදට ලොකු වේදනාවක් ඇති කළා. ඒක තාමත් අපේ විවාහ ජීවිතයට බලපෑම් කරනවා.
ඉතින් මෙවැනි තත්ත්ව ඇති වෙන්නෙ නිසි ලෙස දැනුමෙන් සහ අවබෝධයෙන් කටයුතු නොකිරීම නිසයි. විවාහ ජීවිතය සාර්ථක ⁣වෙන්න හොඳ ලිංගික ජීවිතයක් තිබිය යුතු බව අද සමාජයේ සිදුවෙන පවුල් ආරවුල් දිහා බැලුවම ඉතාම පැහැදිලියි.
ඒ නිසා විවාහවීමට සිටින අයට අපි ලබා දෙන පණිවිඩය නම් ඔබගේ පළමු ලිංගික එක්වීම ඉතාම ආකර්ෂණීය ලෙස දෙදෙනාටම සෑහීමකට පත් විය හැකි ලෙස අත් විඳින්න උත්සාහ කරන්න. ඒ පිළිබඳව විවාහයට පෙර දැනුවත් වෙන්න. ඒ ගැන කතා කරන්න. එකිනෙකාගේ ලිංගික අවශ්‍යතාව තේරුම් ගන්න. මොකද සාර්ථක ලිංගික ජීවිතයකට මූලික අඩිතාලම වැටෙන්නෙ ඔවුන්ගේ පළමු ලිංගික අත්දැකීමේ සාර්ථකවීම මතයි. 

 

කන දේවල් වමනේ දාන්න හිතෙන - Anorwxia Nervosa Read Previous

කන දේවල් වමනේ දාන්න හිතෙන - Anorwxia Nervosa

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය Read Next

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

Realted Post

Leave a comment