මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

බුදු දහමේ ගැබ්ව ඇති මනෝ විද්‍යාත්මක කරුණු ඒකාබද්ධව පුද්ගලයාගේ මානසික තෘප්තිය ඉහළ තලයක පවත්වා ගැනීමට පුද්ගලයා මෙහෙයවීමට අවශ්‍ය ක්‍රියා පිළිවෙත සකස්කර දීම බෞද්ධ මනෝවිද්‍යාව හෙවත් බෞද්ධ උපදේශනයෙන් සිදු කරයි.

බුදු දහම තුළ මනසේ ක්‍රියාකාරීත්වය ඉතා සියුම්ව සහ ගැඹුරින් විග්‍රහ කිරීමටත්, සියල්ල නිසි ලෙස අවබෝධ කර ගනිමින් මානසික සංතෘප්තිය, නිවීම නැතහොත් නිර්වාණාවබෝධය ඇතිකර ගැනීමේ මාර්ගය මෙන්ම ජීවිතයේ යථා තත්‍ත්වය මැනවින් අවබෝධ කර දීමට බුදු හිමියෝ කටයුතු කර ඇත.
පුද්ගලයාගේ ජීවිතය යහපත් අයුරින් පවත්වා ගෙන යාම සඳහා බුදු දහම තුළ ලෞකික හා ලෝකෝත්තර වශයෙන් මාර්ග දෙකක් පිළිබඳව කරුණු පහදා දී ඇති අතර, කුමන ආකාරයේ මාර්ගයක ගමන් කළද අවසන නිවීම හෙවත් නිවන් අවබෝධ කර ගැනීමේදී සියලු දේ අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන සංකල්පය ඔස්සේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධකර ගැනීමෙන්  නිර්වාණාවබෝධය සාක්ෂාත් කරගත හැකි බව පෙන්වාදී ඇත.
 අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන්න බුදු දහම තුළ ත්‍රිලක්ෂණය ලෙස හඳුන්වා දී ඇති අතර, සත්‍ය ලෙසටම අප ජීවත්වන සමාජය දෙස අවබෝධාත්මකව කරුණු අධ්‍යයනය කර බැලීමේදී ඒ බව මනාව පැහැදිලි කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.
මන්ද යත්, උදාහරණයක් ලෙසට මනුෂ්‍ය රූපය ගතහොත් පුද්ගලයාගේ ළමා කාලයේදී පවතින රූපයත්, තරුණ කාලයේදී සහ වයෝවෘද්ධව සිටින අවධියේ පවතින රූපයත් අතර ඇත්තේම ඉහතින් කී අනිත්‍යය නොවේද ?   ඒ අනුව අනිත්‍ය යනු ත්‍රිලක්ෂණය තුළ සාකච්ඡා කෙරෙන පළමු සිද්ධාන්තයයි.
හේතූන්ගෙන් හට ගන්නා සියලුම දේ තුළ අනිත්‍යතාව ඇති බව බුදුරදුන් දේශනා කොට ඇති අතර,
“සබ්බේ සංකාරා අනිච්චා - සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වේ ”
යන්නෙන් ඒ බව තව දුරටත් පැහැදිලි කළ හැකිය.
එම උදාහරණයම ගෙන බැලීමේදී කුඩා කල සිටම වයෝවෘද්ධව ජීවිතයේ අවසන් මොහොත දක්වාම පුද්ගලයා විවිධ කරදර, පීඩාවන්ට මුහුණ දෙයි. ඒ අනුව දුක යනු ත්‍රිලක්ෂණයේ දෙවැනි සිද්ධාන්තය වේ.
“ යධ නිච්චං ථං දුක්ඛං - යමක් අනිත්‍යයි නම් එය දුකකි ”
” සබ්බේ සංකාරා දුක්ඛා - සියලු සංස්කාරයන් දුක් සහගත වේ ”
යන ගාථා රත්නයන් තුළින් දුක යන්න කෙසේ ද යන බව තව දුරටත් පැහැදිලි කළ හැකි වන්නේය.
ත්‍රිලක්ෂණය තුළ බුදු දහමෙහි සාකච්ඡා කෙරෙන තෙවැනි සිද්ධාන්තය අනාත්මයයි. එයින් පැහැදිලි කරන්නේ තව දුරටත් ආත්මයක් නැත යන්න වේ. ආත්මවාදය තුළ රාගය, ද්වේශය, මෝහය යන කෙලෙස්  පුද්ගලයාගේ සිත අල්ලා බැඳ තබන අතර එය නැති කිරීම සදහා නැතහොත් මුලිනුපුටා දැමීමට නම් අනාත්මවාදය සිතේ පැළපදියම් කරගත යුතුය.
ඒ සදහා,
“යං දුක්ඛං ථද නත්තං - යමක් දුක් සහගතද එය අනාත්ම වේ ”
“සබ්බේ ධම්මා අනත්ථා - සියලු  ධර්මතා අනිත්‍යයි ”
යන දේශනා මූලික කරගත යුතු වන අතර, මාගේ කියා කිසිවක් නැත්තේය යන්න මනසින් මෙනෙහි කරමින් අනාත්ම වාදය තුළ සිත පිහිටුවා ගැනීම සිදු කළ යුතු බව බුදු දහම තුළ ඉගැන්වෙන සත්‍යතාවයකි.
එබැවින්. නිත්‍යතාවයක් තුළ ජීවත් වෙමින්, ඒ මත ඇති කර ගන්නා දුක්ක දෝමනස්සයන්ට විසඳුම් සෙවීමට ගොස් තව තවත් ඒ තුළ ගිලෙමින්, මමය මාගේය යන ආත්මවාදය හිස මතට ගෙන කටයුතු කිරීම නිසා පුද්ගලයා විවිධ මානසික ව්‍යාධීන් සඳහා නැතහොත් විවිධ මානසික ගැටලු සදහා ගොදුරු වී ඇති බව පැහැදිළි වන අතර, ඉන් මිදීමට නම් බුදු දහමට අනුව සියලු ධර්මතා අවබෝධ කර ගනිමින් තම ජීවිතය අර්ථවත් කරගන්න.

  • දුල්මිනි එස්. සෙනවිරත්න 

ඇමරිකානු මෝහන අධිකාරියේ 
ලියාපදිංචි මෝහනවේදිනී,   මනෝඋපදේශිකා(SLNIPC) සහ 
මනෝචිකිත්සිකා,  මනෝවිද්‍යා ප්‍රවීණ දේශිකා හා ලේඛිකා,  
   

Launch of the Times School of Higher Education Read Previous

Launch of the Times School of Higher Education

හැමවිටම පවුලට මුල්තැන දෙනවා  - Dinakshie Read Next

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

Realted Post

Leave a comment