මනාලියක් වෙන්න කලින්

විවාහය යුවතියකගේ ජීවිතයේ සුවිශේෂී වූ කඩඉමකි. විවාහයට සුදානම් වන බොහෝ යුවතියන් සිය පෙනුම පිළිබඳ සියලුම වගකීම රූපලාවන්‍ය ශිල්පියා සතු යැයි විශ්වාස කරයි. මනමාලියක්වීමට සුදානම් වන ඔබ බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර නිරෝගීතාව පිළිබඳවද සිතිය යුතු වේ. මේ ඒ ගැන සටහනකි. 

  • නිරෝගී සමක් පවත්වා ගැනීමට නම්

සම නිරෝගීව තබා ගැනීමට නම් සිරුරම නිරෝගීවීම අවශයි. විශේෂයෙන් ආසියාතික රටක ජීවත්වන තරුණියන්ගේ සිහිනය මුහුණ සුදු වී තොල් රෝස පැහැතිවීමය.  එහෙත් මෙවැනි දෑ බාහිර රූපයට කළ පමණින් කෙනෙකු ලස්සන වන්නේ නැත. සිරුර නිරෝගීභාවය අභ්‍යන්තරයෙන්ම පැමිණිය යුතුය. 

  • පෝෂණය ඉතාම වැදගත්

අභ්‍යන්තරව සිරුර නිරෝගී වූ විට බාහිර සමෙන් එය පෙන්නුම් කරයි. ඒ සඳහා පෝෂණීය ආහාර ඉතාම වැදගත් වෙවි. ප්‍රතිඔක්සිකාරක  බහුල විවිධ වර්ණයෙන් යුත් ආහාර ලබා ගැනීම වැදගත් වෙයි. කොළ පැහැති එළවළු, පලා වර්ග, පලතුරුවලින් සමට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ බොහොමයක් ලැබෙයි. මුළු සිරුරම පැහැපත්ව නිරෝගීව තබා ගත හැකියි.
ජල පානය කිරීම ඉතාම අවශ්‍යයි. දිනකට ලබාගත යුතු ජල ප්‍රමාණය ලබා ගැනීම සමේ නිරෝගීබවට හේතු වේ.
සුවපත් නින්දක් ලබා ගැනීමද අවශ්‍යය. සිරුර නැවත ප්‍රාණවත් ලෙස අලුත්වැඩියාවීමට සුවපත් නින්ද උදව් වෙයි.
ප්‍රමාණවත් නිරෝගී ආහාර ලබා ගැනීම සේම ව්‍යායාමත් අවශ්‍යයි. දිනකට විනාඩි 10 - 20 ක් වැනි කාලයක් ඇවිදීම වැනි සරල ව්‍යායාමයක යෙදිය හැකියි. 
මානසික නිරෝගීභාවය ද ඉතා වැදගත්. මානසිකව නිරෝගී නොවූ විට එම වෙනස සමෙන් පෙන්නුම් කරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මානසික නිරෝගීතාව වැදගත් වෙයි. භාවනාව වැනි දේවල්වලට යොමුවීම වයසට යාම අවම කර ගැනීමට අත්වැලක්. 

  • සමට කළ හැකි සත්කාර

සමෙහි යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේ නම් බාහිරින් නිවැරදි සත්කාර සිදුකළ යුතුයි. සූර්යාලෝකයට නිරාවණය වනවිට සන්ස් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. සම අඳුරුවීම, රැලි වැටීම වැනි සූර්යාලෝකයෙන් සමට වන හානිය වළක්වා ගැනීමට හැකියි. ඔබට තිබෙන සම හඳුනාගත යුතුයි. නිදසුනක් ලෙස තෙල් සහිත සමක් නම් කුණු, දූවිලි නිතර රැඳෙන සමක් නම් උදය සවස ක්ලෙන්සර් භාවිතය අවශ්‍ය නහැ.
වියළි සමක් නම් තෙතමනය රඳවන ආලේපන භාවිතය වැදගත් වෙයි. විටමින් C,E ඇතුළත් ආලේපන සුදුසුයි.
විටමින්A සහිත ක්‍රිම් වර්ගයක් භාවිත කිරීමෙන්  සම රැලි වැටිම අවම කරයි. 
මංගල දිනයේ අඳින ඇඳුම්වලින් සිරුර නිරාවරණය වී පවතින ස්ථානවල ඇති ලප කැළැල් මැකීමට කෙටි කාලීන උපක්‍රම භාවිත නොකළ යුතුයි. ඒ සඳහා මාස 6කට පෙර සිට ප්‍රතිකාර වෙත යොමුවිය යුතුයි. ඒ සඳහා චර්මවේද විශේෂඥ උපදෙස් ලබා ගැනීම කළ යුතුයි. 

හිසකෙස්වල නිරෝගීබව ජීවිත කාලය පුරාම තබා ගැනීම වැදගත්. විශේෂයෙන් මංගල දිනයේදී හිසකෙස් විලාසිතාව ඔබේ රුව වැඩිකරන එක් අංගයක්. මේ නිසා හිසකෙස් ගැටලු විසඳා ගැනීමත් අවශ්‍යයි. හිසකෙස් නිරෝගීභාවය තබාගෙන ලස්සනට වර්ධනයවීමට නම් අප ලබාගන්නා පෝෂණය වැදගත් වෙනවා. විටමින්, ඛනිජලවණ බහුල ආහාර ලබා ගැනීම කළ යුතුයි.

සමහර තරුණියෝ විවාහය ළංවෙද්දී විශාල ලෙස ආහාර පාලනය කරනවා. එය නිවැරදි ක්‍රමවේදයක් නොවෙයි. සිරුරට අවශ්‍ය  පෝෂණය ගිලිහී යාමට එය හේතුවක්. එය සිරුරේ සමස්ථ නිරෝගීභාවයටද බලපානවා. බර අඩුකර ගැනීමට අවශ්‍ය නම් නිවැරදි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රමානුකූලව සිදු කළ යුතුයි. 

 

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Previous

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Next

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

Realted Post

Leave a comment