රජකාලේ ජිම් එක - අංගම් මඩුව

අංගම් ශාස්ත්‍රය පාරම්පරිකව ලැබුණු සටන් කලාවකි. මෙම සටන් කලාව ඉගැන්වීමේදී ඒ සඳහා ආවේණික වුණු ක්‍රම ශිල්ප තිබේ. මේ රජ දවසේ සිට පැවත එන අංගම්පොර ශ්‍ාස්ත්‍රය අංගම් ගුරැ මහන්තආරච්චි සමග සිදුකළ සාකච්ඡාවකින් සකස් කළ ලිපියකි.

කිසියම් දරුවෙකුට මෙම ශාස්ත්‍රය හදාරන්නට අවැසි නම් ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍ර සටහන බලා තීරණය කරනු ලබයි. මෙම සටන් ශාස්ත්‍රයේ වැදගත්කම අතීතයේ මෙන්ම වර්තමානයද වැදගත් වෙයි. එම හේතුවෙන් ගිලිහී යාමට නොදී අනාගත පරපුර උදෙසා පවත්වා ගැනීම කළ යුතුය.
අංගම්බර ශාස්ත්‍රයේ අතීතය පිළිබඳව පැහැදිලි ඉතිහාසයක් නැත. එහෙත් ඉතිහාසයේ සඳහන් වන පරිදි සෘෂිවරුන් නම දෙනකු එක්වී මෙම දැනුම නිර්මාණය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. 
මෙහිදී කොරතොට ආරච්චි පරම්පරාවේ සටන් කලාව සීතාවක රාජධානිය සමය දක්වා දිවෙයි. රාජසිංහ රජ සමය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී යුද්ධයට අවශ්‍ය සියලුම ආයුධ නිර්මාණය කිරීම කොරතොට ආරංචි ප්‍රමුඛ ආරච්චිලා 18  දෙනෙකු එකට එක් වී සිදුකර ඇත. මෙම ආරච්චිල 18 දෙනා එනම් ඔවුන්ගේ මූලික අවධානය දළදාව ආරක්ෂා කිරීම සඳහා යොමු වී තිබී ඇත.
රාජාවලිය සීතාවක හටන වැනි පොත් තුළ මේ සම්බන්ධයෙන් තොරතුරු අන්තර්ගත වී තිබේ. 
අංගම් ශාස්ත්‍රය වර්ධනය වන්නේ සටන් කලා කිහිපයක් වර්ධනය කරගනිමින්. අංගම් ශාස්ත්‍රය ඉතා සුවිශේෂී කලාවකි. එමගින් ශිල්පියෙක් නිර්මාණය කරයි. අද වන විට ආධ්‍යාත්මික ගුණ වගා කරන සටන් කලාවන් අවම වී තිබේ.  එහෙත් දාර්ශනික සටන් කලා ක්‍රමවේදයට අංගම්පොර අයිති වෙයි. 
අංගම්පොර ශාස්ත්‍රය අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, නුවර යුගයේදී විවිධ රාජයන් සමග ගනුදෙනු කොට තිබෙන්නට පුළුවන. එහෙත් වර්තමානය වන විට මෙම සටන් කලාව පිළිබඳව නිර්මාණය වී ඇති යම් යම් දුර්මත පිළිබඳව කිසිදු සත්‍යයක් නොමැත. ජීවී කලාවක් කිසියම් දෑ මගින් ආභාසය ලබයි. ලෝකයේ ලිඛිත ඉතිහාසයක් තිබෙන ඔප්පු කළ හැකි සාක්ෂි සහිත පැරණිතම සටන් කලාවක අංගම්පොර ශාස්ත්‍රය. මෙරට බිහි වූ එම සටන් කලාව ලෝකයට ව්‍යාප්ත වීම සිදුවිය. එය සාක්ෂි සාධක සහිතව ඔප්පු කළ හැකිය. ලෝකයේ සටන් ශාස්ත්‍රයන්හි මව අංගම්පොර නම් ඒ මත අනෙක් සටන් කලාවන් බිහිවෙයි. ලෝකයට සටන් කලාව ගමන් කරන්නේ මෙරට පවත්නා ආභාසය ඔස්සේවීම විශේෂත්වයකි. 

ඇතැම් පුද්ගලයින් පවසන්නේ චීනයේ සටන් කලාව නිර්මාණය වී ඇත්තේ බෝධිධර්ම හිමියන් විසින් එම ශාස්ත්‍රය හඳුන්වාදීම මත බවයි. එමෙන්ම බොහෝ පිරිසකගේ අර්ථකථනය වන්නේ බෝධිධර්ම හිමියන් ඉන්දියාවේ සිට චීනය බලා ගිය බවයි. නමුත් සාක්ෂි ඇතුව ඔප්පු කළ හැකි ආකාරයට චීනයේ සටහන් වී ඇත්තේ බෝධිධර්ම හිමියන් චීනයට යන්නේ ලංකාවෙන් නැව් නැගී බවයි. බෝධිධර්ම හිමියන්ගේ බිරිඳ වන නන්දා තෙරණිය චීනයේ භික්‍ෂුණී ශාසනය ආරම්භ කරයි. ඒ හරහා එරට නව සටන් කලාවක් බිහිවීම සිදුවෙයි. එලෙස ලොව පුරා සටන් කලාව ව්‍යාප්ත වීම සිදුවී තිබේ.

ශ්‍රී ලංකාව තුළ තිබී ඇත්තේ ඉතිහාසය සමඟින් බද්ධ වූ සටන් කලාවකි. විශේෂයෙන්ම කුඩා දරුවන් මෙවැනි සටන් කලාවක් වෙත යොමු කළ යුතුයි. අංගම් ශාස්ත්‍රය සමගින් පරිපූර්ණ මනුෂ්‍යයෙක් බිහිවෙයි. අංගම් ශාස්ත්‍රය සටන් කිරීමට පමණක් උගන්වන ශාස්ත්‍රයක් නොවේ. 
කාන්තා, පිරිමි ඕනෑම පුද්ගලයෙක් ගොඩනැංවීමට පෞරුෂය වර්ධනය කරන්නට ඕනෑම අභියෝගයකට නොබියව මුහුණ දෙන්නට ධාරණ ශක්තිය වැඩි කරගන්නට නිරෝගී බව ඇති කරගන්නට ආංගම් ශාස්ත්‍රය වැදගත් වෙයි.
අවුරුදු පහෙන් ඉහළ ළමුන්ට අංගම් ශාස්ත්‍රය ඉගැන්වීම සිදුකරයි. එයට හේතුව වශයෙන් අර්ථ දැක්විය හැකි ශරීරයේ ඇති නම්‍යශීලීත්වයයි. එහිදී පුරාණ අණ පනත් පිළිපැදීම සහ එහි ප්‍රයෝගයන් පිළිබඳව පුළුල් අවබෝධයක් සහිතව අංගම් ශාස්ත්‍රය ඉගැන්වීම සිදුකරයි. 
මෙම ශාස්ත්‍රය තුළ ඇති විශේෂත්වය වන්නේ එය ඉගෙන ගැනීමෙන් සමාජයට කළ හැකි හානිය විශාලය.  එයට හේතුව වන්නේ මෙම ශාස්ත්‍ර තුළ ශරීරයෙහි ඇති මර්මස්ථාන පිළිබඳව විද්‍යාවක් ඉගැන්වීම සිදුවීමය. විශේෂයෙන්ම මෙම ශාස්ත්‍රය තුළ ඇති පහරදීම හරහා සිදුවන හානිය නූතන විද්‍යාවන්ට ද සොයාගත නොහැකි වී තිබේ. 
මෙම සටන් ශාස්ත්‍රයේ අන්තර්ගතය ගත් කල නාඩි ශාස්ත්‍රය නිල ශාස්ත්‍රය වෛද්‍ය ශාස්ත්‍රය, ජෝතිෂ්‍ය ශාස්ත්‍රය , සංගීතය, යෝග අභ්‍යාස ඔසු පිළිබඳ දැනුම වැනි කාරණා රැසක් එක් කර ගනිමින් නිර්මාණය වී තිබේ. 
අංග ගණනාවක පරිපූර්ණ පුද්ගලයෙක් නිවැරදි අංගම්පොර ශිල්පියෙක් බවට පත්වෙයි. අංගම් ශිල්පයේ ගුරුවරයෙක්බවට පත්වන විටදී වෛද්‍ය ශාස්ත්‍රය ජ්‍යෝතිර්වේදය හොඳින් හදාරා ඉන්පසු ගුරුවරයකු බවට පත්විය යුතුය. 
කාන්තාවන් වුවද, පුරුෂයන් වුවද අංගම්පොර සටන් කලාව තුළ එක සෙයින් ශක්තිමත් වෙයි. කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ලබාගන්නා ශරීර පෙනුම අභිබවා මෙම සටන ශාස්ත්‍රය පුහුණු කිරිම මගින් ලබාගන්නා ශරීරය කිකිසිදු අවස්ථාවකදී වෙනසකට පත් නොවේ. විශේෂයෙන් ම කාන්තාවන් හට ඇති රූපලාවන්‍ය ගැටලු මෙම සටන් ශාස්ත්‍රය තුළ භාවිත කරන ඖෂධ වට්ටෝරු මගින් විසඳා ගැනීමේ හැකියාව පවතී. එය මෙම සටන් ශාස්ත්‍රය තුළ ඇති සුවිශේෂිත්වයකි. විශේෂයෙන් ම කාන්තාවකට හිමිවිය යුතු ශරීර ලාලිත්‍යය ගොඩනංවා ගැනීම හා එය  එලෙසින් ම මිය යන තෙක් පවත්වා ගැනීමට හැකියාව ලැබීමත් විශේෂත්වයකි.

Model  - අක්නා වීරසේකර/ ශශිකාති විමලරත්න/ අජන්ත මහන්තආරච්චි
Location - කොරතොට අංගම් මඩුව
Pic : ඉන්දික මල්ලවාරච්චි

 

 

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Previous

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Next

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

Realted Post

Leave a comment