මංගල නැකතට සූදානම් වෙන ඔබට

 

තමන්ගේ මංගල දිනයේදී තමන් හැඩ ගැන්වෙන්නට කැමති විදිය සහ ඒ ගැන හිතේ තිබෙන සියල්ල රූපලාවන්‍ය ශිල්පියා සමග මුලින්ම සාකච්ඡා කරන්න ඕනෑ. එහිදී ඉතාමත්ම සුහදව ඇයට ඇහුම්කන්දීම සහ සේවාදායකයා තෘප්තිමත් වෙන ලෙස කටයුතු කිරීම ශිල්පියාගේ වගකීමක්.

 

මංගල සීනු හඬ ඇසෙන මංගල මල් මාසය ආරම්භවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. පහුගිය වසර කිහිපයක් තිස්සේ කොරෝනා වසංගතයත් සමග පැවති අපහසු කාල සීමාවත් සමග විවාහයට සූදානම්ව සිටි වැඩි පිරිසක් තමන්ගේ විවාහ උත්සව කල් දැමුවත් මේ වන විට ඒ සඳහා සුදානම්වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාවත් වැඩි නිසාම, ඊට සූදානම් වෙන්නේ කෙසේදැයි කතා කිරීමට සිරිකත අප සිතුවා. විශේෂයෙන් මවකගේ ජීවිතයේ සුබ සිහිනයක් වන්නේ තමන්ගේ දියණියගේ විවාහ මංගල්‍යය යි. ඒ නිසාම දියණිය පෝරුව මත ලස්සන මනාලියක් කරවීම මවක් දියණියට දෙන ආදරණීය තෑග්ගක් කියලත් කියන්න පු`ඵවන්. ඒ නිසා මුලින්ම මනාලිය සූදානම් වන්නේ කෙසේදැයි කතාබහ කරමු.


විවාහ මංගල්‍යයේ මනාලියට හිමිවන්නේ විශේෂ තැනක්. මනාලයා වගේම පැමිණෙන නෑදෑයෝ හිතමිතුරන් එදාට එන්නේ මනාලියගේ ලස්සන දකින්න ආසාවෙන්. ඒ නිසාම හුඟදෙනෙක් විවාහ උත්සවයට ආරාධනා කරන්න ගියාමත් කොහෙන්ද අඳින්නේ? කවුද අන්දවන්නේ වගේ දේවල් අහන්න පුරුදුවෙලා සිටිනවා. ඒ තරමටම මනාලිය ගැන කවුරුත් විමසිලිමත්. 

 

අතේ ඇති මුදලට සරිලන සැලසුමක් 
මංගල ගමනට සූදානම් වන යුවතියක් විදියට තමන්ගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය අනුව වියදම් ලැයිස්තුවක් හදාගන්න ඕනෑ. එසේ නැතිව අතරමඟදී සිතුණු සිතුණු වියදම් කරන්න ගියොත් අපහසුතා රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ අනුව තමන්ගේ හැකියාව අනුව පළමුවෙන්ම හොඳ රූපලාවන්‍ය ශිල්පියෙක් තෝරාගන්න අවශ්‍යයි. අඩු මුදලකට කියා පළපුරුදු නැති තැනැත්තකු ළඟට නොයන්නත් උත්සාහ කරන්න ඕනෑ. නැතිනම් කෑම බීම, හෝටලය සහ අනෙක් සැරසිලි කටයුතු සඳහා මොන තරම් විශාල මුදලක් වියදම් කළත් මංගල දවසේ මනාලියට ආකර්ෂණීය පෙනුමක්  එකතු නොවෙන්න පු`ඵවන්.

 

රූපලාවන්‍ය ශිල්පියා සමග කතාබහක්
තමන්ගේ මංගල දිනයේදී තමන් හැඩ ගැන්වෙන්නට කැමති විදිය සහ ඒ ගැන හිතේ තිබෙන සියල්ල රූපලාවන්‍ය ශිල්පියා සමග මුලින්ම සාකච්ඡා කරන්න ඕනෑ. එහිදී ඉතාමත්ම සුහදව ඇයට ඇහුම්කන්දීම සහ සේවාදායකයා තෘප්තිමත් වෙන ලෙස කටයුතු කිරීම ශිල්පියාගේ වගකීමක්. ඒ අනුව එහිදී තමන් ඇඳුම් පැලඳුම් කුලී පදනම මත ගන්නවාද? නැත්නම් මිලදී ගන්නවාද? දෙවැනි මනාලියන් සහ මනාලයන් කණ්ඩායමක් අවශ්‍යද නැද්ද? මල් කළඹ ස්වභාවිකද කෘත්‍රිම මල් ද? එසේ නැතිනම් මනාලිය පමණක් ස්වභාවික මල් රැගෙන කණ්ඩායමේ මනාලියන්ට කෘත්‍රිම මල් දෙනවද? යන මේ සියලුම කරුණු ශිල්පියා සමග සාකච්ඡා කරන්න ඕනෑ. 

 

අදහස් දැක්වීම ප්‍රවීණ 
රූපලාවන්‍ය ශිල්පී 
ප්‍රසන්න කොළඹආරච්චි

මනාලිය තමන්ට අවශ්‍ය හැඩගැන්වීම ප්‍රකාශ කළාට පසුව ඇයගේ අදහස්වලට ගරු කරමින් ඇයට නොගැළපෙන දෙයක් තිබේ නම් හෝ ඇයට අවශ්‍ය දේ ඇයට නොගැළපෙනවා නම් උදාහරණ සහිතව ඇයට එය තේරුම් ගැනිමට පහසු ලෙස පැහැදිලි කරදී ගැළපෙනම රුවගැන්වීම කරගැනීමට ඇයට සහයෝගදීම රූපලාවන්‍ය ශිල්පියකුගේ යුතුකමක්. 


එමෙන්ම මේ සියලුම දේවල් තමන්ගේ ශිල්පියා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මිල ගණන්ද සෘජුවම කතා කරන්න අවශ්‍යයි. එසේ නොමැති වුවහොත් ඇතැම් ශිල්පීන් අතර මඟදී විවිධ දේවල් එකතු කරමින් මිල ගණන් අලුත් කිරීමට හෝ වෙනස් කිරීමට ද යොමුවන අවස්ථා තිබෙන නිසා තමන්ගේ සියලුම අවශ්‍යතා කතාබහ කිරීමෙන් අනතුරුව මුදල් ගනුදෙනු ගැන සෘජුවම කතාබහ කිරීම පහසු වෙනවා. එම නිසා පළමු කතාබහේදී සිදුවන ගිවිසුම අවසන් වෙනතුරු වෙනස් නොකර දෙපාර්ශවයටම පහසුවෙන ලෙස ගනුදෙනු කරගන්න පු`ඵවනි. 

 

හැඩගැන්වීම කාගේ කැමැත්තටද? 
මනාලියගේ රූපය වෙනස් නොකර ඉතා සරල සහ අලංකාරවත් ලෙස මේක්අප් භාවිතය දැන් ලෝකයේ ඉතාමත් වේගයෙන් පැතිරී යන ජනප්‍රියම රැල්ලක් වී අවසන්. “අනේ මනමාලී අඳුන ගන්නත් බෑ” මේ වගේ කතාබහ සමහර වැඩිහිටියන් වගේම තරුණ අයගෙනුත් ඇසෙන අවස්ථා තිබෙනවා. එහෙත් කලින් දා නිවෙසේ සිටී යුවතිය පසුදා පෝරුවේදී හඳුනාගැනීමට නොහැකි වන සේ හැඩගන්වා ඇත්නම් එය සාර්ථක වේශ නිරූපනයක් වන්නේ නැහැ. ඒ නිසාම දැන් සමේ පැහැයට වඩාත් සමීප ලෙස චාම් මේක්අප් එකක් සහ අඩුම ආභරණ භාවිතය ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා.


අඩුම ආභරණ පැලඳීමේදී වුවත් සංස්කෘතියට හානියක් නොවෙන්නත් හැඩගැන්වෙන්න උත්සාහ කරන්න පු`ඵවන් නම් වඩාත් හොඳයි. එසේ වුවහොත් තවත් අවුරුදු දහයකින් නැවතත් ඔබේ ඡායාරූපය දෙස බලන විට එහි පැරණි බවක් නොදැනෙන්න පු`ඵවනි.


මනාලිය ශිල්පියා සමග සාකච්ඡා කළ යුතු තවත් වැදගත්ම අංගයක් තිබෙනවා. විවාහයට තෝරා ගන්ාන ස්ථානය පිළිබඳ අනිවාර්යයෙන් ශිල්පියා දැනුවත් කළ යුතුමයි. විශේෂයෙන් එම ස්ථානය වායු සමීකරණය කළ ස්ථානයක්ද නැද්ද? උත්සවය ගන්නේ එළිමහන් තැනකද? නිවසේදී ද? නැතිනම් මුහුදු වෙරළක වැනි ස්ථානයකද මේ සියල්ල ශිල්පියා සමග සාකච්ඡා කළ යුතු වන්නේ ඒ සඳහා යොදන මේක්අප් එක ස්ථානය සහ ආලෝකය අනුව වෙනස් කළ යුතු නිසයි. ස්ථානය අනුව යොදන මේක්අප්වල වර්ණ වෙනස්වන නිසා හොඳ පෙනුමක් එකතු කරගන්න නම් ඒ ශිල්පියා දැනුවත් කරන්න ඕනෑ.


ඒ වගේම රූපලාවන්‍ය ශිල්පියා තෝරා ගැනීමට පෙර  ඔහු සිටින ස්ථානයේ සිට විවාහය තිබෙන ස්ථානයට ඇති දුර, එමෙන්ම ඡායාරූප ගන්නා ස්ථානයට ඇති දුර සහ එම ස්ථානයේ සිට විවාහය තිබෙන ස්ථානයට ඇති දුර මේ සියල්ල ද මුලින්ම කළමනාකරණය කරගැනීමද ඉතා වැදගත්. නැතිනම් කාලය ඉතිරි කර ගැනීමේ අපහසුතා සමග මනාලියද කලබලයට පත්වීමෙන් ඇයගේ සුන්දර රුව ජීවිතයේ වැදගත්ම දිනයේදී අසුන්දර ලෙස පෙනෙන්නට පු`ඵවනි.

නයනා උදයංගන
ඡායාරූප සජීව ලක්ෂාන්


 

අයිස් ක්‍රීම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වේ. Read Previous

අයිස් ක්‍රීම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වේ.

අයිස් ක්‍රීම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වේ. Read Next

අයිස් ක්‍රීම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වේ.

Realted Post

Leave a comment