2023 නව වසර රටට-ඔබට කොහොමද?

ලැබුවා වූ 2023 නව වසර රටට සහ ඔබට කොහොමද? නව වසරේ ග්‍රහ පිහිටීම අනුව මෙවර නව වසරේ උදාව ඔබටත් රටටත් යහපතක් සිදුවේවිද? පවතින ග්‍රහචාරය සමග රටේ දේශපාලන ආර්ථික වාතාවරණයේ වෙනසක් සිදුවේද? මෙතෙක් කාලයක් ජනතාව ලක්ව තිබූ දැඩි පීඩනයෙන් තරමක හෝ නිදහස් කාලයක් උදාවේද? නව වසරේ රටටත් තමන්ගේ ලග්නයටත් යෙදෙන සුබ අසුබ ඵලාපල මොනවාද? මේ සියලු කාරණ කල් තියා දැන ගැනීම වඩාත් සුදුසු වන්නේ ඉදිරි කටයුතු ඒ අනුව නිසි පිළිවෙළකින් කළමනාකරණය කරගත හැකි නිසයි.


ජනවාරි මාසයේ සිට අප්‍රේල් 18 වැනි දා දක්වා ඇත්තේ එක් කාලපරිච්ඡේදයක් වන අතර අප්‍රේල් 18 සිට සැප්තැම්බර් දක්වා පවතින්තේ තවත් කාලයකි. එම සැප්තැම්බර් මාසයේ සිට නැවත ඊළඟ වසරේ ජනවාරි මාසය තෙක් ඇත්තේ වෙනස් කාල වකවානුවකි. ඒ අනුව පොදු වශයෙන් දකුණු ආසියානු කලාපයට සහ සමස්තයක් ලෙස ලෝකයටම මීළඟට ඇති ලොකුම අභියෝගය වන්නේ කාලගුණය සහ දේශගුණයයි. 2023 ජනවාරි මාසය ආරම්භ වන්නේම විශාල කාලගුණික කැලඹීමක් සහිතවයි. මෙය ලංකාව ඉලක්ක කර ගනිමින් ගතහොත් විශාල කාලගුණික විපර්යාස සමග ජල විපත්, සහ ඉඩෝර කාලවලටත්, මුහුණ දීමට සිදුවන අතර ඉදිරියේදී වැසි නැති අධික උෂ්ණ සහිත කාලයකට මුහුණ දීමට සිදු වේ. ලංකාව කෘෂිකාර්මික රටක් වන නිසා එය ආර්ථිකයටද බලපෑම් ඇති කරයි. ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතයටද එයින් පීඩා ඇති කරයි. ජනවාරි මාසය ආරම්භ වන්නේම විශාල වර්ෂාවක් සමගය. දේශපාලනික වශයෙන් ගතහොත් අප්‍රේල් මාසයේ සිට යම් වෙනස්වීම් සිදුවනු ඇත. එම වෙනස්වීම ප්‍රචණ්ඩකාරී ලෙසද සිදුවිය හැකිය. කෙසේ හෝ එහිදී සිදුවන්නේ මෙතෙක් පැවති සමාජික ආර්ථික රටාව බිඳ වැටී නව ආරම්භයක් ඇතිවීමයි. ආර්ථිකය 2022 වර්ෂයට වඩා යම් ස්ථාවරත්වයකට පැමිණෙයි.


2023 ඔබේ ලග්නයට

මේෂ  
ගැටලු විසඳෙන කාලයක් 
ජය වර්ණය - සුදු සහ රතු 
ජය අංකය 01
මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ එකොළොස් වැන්නට සෙනසුරු ග්‍රහයා පැමිණේ. එය අවුරුදු විසි නවයකුත් මාස හයකට පසුව යෙදෙන බලවත් තත්ත්වයක් ලෙස පෙන්වයි. ඒ බලවත් තත්ත්වය මේෂ ලග්න හිමියන්ගේ වෘත්තීය ජීවිතයට සහ ආදායම් මාර්ගවලට සහ කායික හා මානසික වශයෙනුත් පසුගිය අවුරුදු හතර හමාරක පමණ කාලය තුළ යහපත් ප්‍රතිඵලයක් ලබාගැනීම අසීරු විය. එහෙත් දැන් ජනවාරි මාසේ 17 වැනිදා සිට සෙනසුරු ග්‍රහයා 11 වැන්නේ බලවත් වීමත් සමග දිගු කාලයක් තිස්සේ තමන්ට විසඳා ගැනීමට නොහැකිව තිබූ ආර්ථිකමය, වෘත්තීමය, සහ සමාජමය ගැටලු විසඳා ගැනීමට හැකිවේ. එපමණක් නොව වෙනදට වඩා ඉතා පහසුවෙන් තමන් කරන වැඩ කටයුතුවලින් ප්‍රතිඵල ළඟා කරගනී. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වෙනවා නම් යහපත් කාලයකි. අලුත් ව්‍යාපාරයක්, අධ්‍යාපන කටයුත්තක් නැවත ආරම්භ කිරීමටද සුබ කාලයකි. එහෙත් රාහු සහ යුරේනස් ග්‍රහයන් දෙදෙනාගේ පිහිටීම අනුව මේෂ ලග්න හිමියා දුබලවන අවස්ථා ද ඇත. ඒ හේතුවෙන් නින්ද නොමැතිකම නිසා පීඩාකාරී රෝගාබාධයන්ට ලක්වීමටද ඉඩකඩ තිබේ. ක්ෂණික තීරණ ගැනීම් සහ අනවශ්‍ය සැකය, අන් අය කෙරේ නිතර නුරුස්සන ස්වාභාවයක් ඇතිවීම සහ වැරදි වැටහීම් ඇතිවිය හැකිය. එය තමන්ට අවාසිදායක වේ. එය විවාහ ජීවිතයටද බලපෑම් ඇති කළ හැකිය. සූරිය පිරිත සහ අභිසම්භිධාන පිරිත උදේ සවස සජ්ඡායනා කිරීමෙන් ඒ තත්ත්වය මඟහරවාගත හැකි වේ. අප්‍රේල් මාසයෙන් පසුව ගුරු ග්‍රහයා ලග්නයට පැමිණීමත් සමග එම අවාසිදායක තත්ත්වය වාසිදායක අතට හැරෙයි.

 


වෘෂභ 
ජීවිතයේ සුබදායී වෙනස්වීම් 

ජය වර්ණය - නිල්
ජය අංකය 03
වසර 2023 වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරය ආරම්භ වන්නේම විශාල වෙනස්කම් රාශියකට මුහුණ දීමට අවස්ථාව උදාකරමින්ය. එයට හේතුව වන්නේ රාහු සහ යුරේනස් ග්‍රහයන් මෙම ලග්න හිමියාගේ කේන්දරයේ 12 වැන්නේ දිගටම ගමන් කරමින් සිටීමයි. එය යම් අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. එහෙත් 2023 සැප්තැම්බර් මාසය දක්වාම මේ අවාසිදායක තත්ත්වය තිබුණත් මෙහි වාසිදායක පැත්තක්ද තිබේ. ඒ අප්‍රේල් මාසයේ දී වෘෂභ ලග්න හිමියාගේ කේන්දරයේ දොළොස් වැන්නට ගුරු ග්‍රහයා පැමිණීමත් සමගයි. එවිට මානසික වශයෙන්, කායික වශයෙන් සහ වෘත්තීමය වශයෙන් තිබූ අවාසිදායක තත්ත්වය මඟහැරී යයි. එවිට බුද්ධිය පාවිච්චි කර සියලු ගැටලු නිරාකරණය කරගත හැකි වේ. මෙතෙක් තමාගේ පිහිටට ආවේ නැති ගුණගරුක පුද්ගලයන් ගේ උදවු උපකාර හිමි වේ. අධ්‍යාපනය සඳහා විදේශගතවීමට යහපත්ම කාලයකි. මෙතෙක් කලක් සමාජයෙන් තමන්ට නොලැබුණු අවධානයක් සහ ආකර්ෂණයක් හිමි වේ. නිර්මාණශීලී බව වැඩි වේ. සමාජයේ ඉහළට ගමන් කරයි. සෙනසුරු වෘෂභයේ සිටින්නේ සිටිය යුතු උසස්ම ස්ථානයේ යි. එම නිසා ඕනෑම වැඩකටයුත්තක් ආරම්භ කිරීමට යහපත් කාලයක් උදා වේ. බාධක මැඩගෙන ගොස් බලවත් උසස්වීම් හිමිකර ගනී. සමස්තයක් ලෙස යහපත් කාලයක් උදා වේ.

 

මිථුන  
ව්‍යාපාරයක් අරඹන්න 

ජය වර්ණය - තද කොළ
ජය අංකය 02
නව වසරේ තවත් ජයග්‍රාහී ලග්නයක් ලෙස මිථුන ලග්නය හැඳින්විය හැකිය. එයට හේතුව වන්නේ මේ ලග්න හිමියාට වසර ආරම්භ වන්නේම රාහු ග්‍රහයා යුරේනස් සමග එකොළොස්වැන්නේ සිටියදීය. රාහු එකොළොස් වැන්නට බලවත් ග්‍රහයෙකි. වැඩි කාලයක් ගත නොවී ඉක්මනින්ම සියලු ලැබීම්වලට ඉඩකඩ සැලසේ. මිථුන ලග්න හිමියාද පසුගිය වසර ගණනක්ම කායික, මානසික, වෘත්තීමය වශයෙන් පීඩාවට පත්වූ අයෙකි. එහෙත් රාහු එකොළොස් වැන්නේ බලවත්වීමත් සමග ඒ තත්ත්වය මඟහැරී යයි. තමන්ගේම තනි උත්සාහයෙන් නැගී සිටීමට අවස්ථාව සැලසේ. මෙම වසර මිථුනයට වඩාත් විශේෂ වන්නේ ව්‍යාපාර කටයුතු සඳහායි. ජනවාරි මාසයේ 17 න් පසුව බොහෝ කරදර බාධා සිත් පීඩා අවසන් වේ. එහෙත් මිථුන ලග්න හිමියන් තරමක් පරෙස්සම් විය යුතු අවස්ථා කිහිපයක් ඇත. එනම් දැනට කරමින් සිටින රැකියා හෝ වෘත්තීන් වෙනස් කිරීමට යෑම සුබ නැත. එමෙන්ම ධන හානි ඇති විය හැකි කාලයක් නිසා ප්‍රවේසමෙන් වියදම් කළ යුතු වේ. කේතු ග්‍රහයා පස්වැන්නේ ගමන් කරන නිසා නිසැක වශයෙන්ම උසස් අධ්‍යාපනයට යහපත් කාලයකි. විදේශගතවීම් සහ එවැනි අවස්ථාවලට සම්බන්ධවීම සුබදායකය. විභාගවලින් ජය හිමි වේ. කුමන තත්ත්වයක තිබුණත් මිථුන ලග්නයට මේ වසර අභියෝගාත්මක වුවත් ජයගත හැකි වසරක් බවට පත් වේ.

 


කටක  
ලෙඩ රෝග ගැන සැලකිලිමත් වෙන්න

අදහස් දැක්වීම : - ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී 
කේ.සී.ජේ රත්නායක

ජය වර්ණය - සුදු
ජය අංකය 07
නව වසර කටක ලග්න හිමියන්ට තරමක් මතභේදාත්මක වසරක් වේ. වැරදි වැටහීම් ඇතිකර ගනී. සාම්ප්‍රදායික ලෙස කේන්දර බලන අය බොහෝ දුරට කටක ලග්න හිමියන් බියපත් කරන කාරණා තිබිය හැකිය. එනම් කටක ලග්න හිමියාගේ කේන්දරයේ අටවැන්නට සෙනසුරු ගමන් කිරීමයි. එහිදී කටක ලග්න හිමියාට අෂ්ටම ඒරාෂ්ටකය ලැබූබවට හුඟදෙනෙක් බිය ඇතිකර ගනී. එහෙත් නව වසරේ කටක ලග්න හිමියා කිසිසේත් එවැනි අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැත. සෙනසුරු කේන්දරයේ අටවැන්නට පැමිණි නිසා අනවශ්‍ය බියක් ගෙන දේවාල කෝවිල් ගානේ ගමන් කළ යුතු නැත. මෙහිදී පරිස්සම් විය යුතු කාරණා කිහිපයක් පමණක් ඇත. පළමු කාරණය වන්නේ තමන් ගන්නා ආහාරපාන වෙනදාට වඩා ඉතා සුපරීක්ෂාකාරී ලෙස ගැනීමයි. එමෙන්ම අක්මාව, වකුගඩු යන ඉන්ද්‍රියන්ට හිතකර ආහාරපාන ලබාගත යුතුය. සිරුරට පීඩා ගෙන දෙන ඇවතුම් පැවතුම් නොකළ යුතුය. ජීවිත බියක් හෝ අතපය කැඩීම් ආදිය ගැන කිසිදු බියක් ඇතිකරගත යුතු නැත. පාරම්පරිකව තමන්ට තිබූ දේපළක් හෝ උරුමයක් තිබුණේ නම් එය හිමිකර ගැනීමට හොඳ කාලයකි. රැකියාවෙන් හෝ වෙනත් කටයුත්තකින් යම් ප්‍රතිලාභයක් හිමිවීමට තිබුණේ නම් ඒවා ලැබීමට යහපත් වසරකි. සීවලී පිරිත සහ අභිසංභිධාන පිරිත නිතර සජ්ජායනා කිරීමෙන් එන අපහසුතා දුරුකරගත හැකිය.

 


සිංහ  
ධනය ලැබීමට සුබ කාලයක් 

ජය වර්ණය - තැඹිලි
ජය අංකය 05
සිංහ ලග්නය වසර 2023 තවත් මතභේදයන්ට ලක්විය හැකි ලග්නයක් ලෙස සැලකිය හැකිය. සෙනසුරු ග්‍රහයා මෙම කේන්දරයේ හත්වැන්නට පැමිණේ. සමාජය සමග තදින් සබඳතා පවත්වමින් වෘත්තීය ජීවිතය හා සමාජය සම්බන්ධ ගනුදෙනු කිරීමට යහපත් කාලයකි. සෙනසුරු හත්වැන්නට පැමිණීමෙන් තමන්ගේ යුග ජීවිතයට ගැටලුවක් වන්නේ නැත. හඳුනාගත නොහැකි රෝගපීඩා ගෙනදීම සහ සමාජ අපවාද ඇසීමට තිබූ පිහිටීමක් අවසන් වේ. ඒ අවසන් වීමම සිංහ ලග්නාධිපතියන් ලබන විශාල ජයග්‍රහණයකි. විදේශ රටවල් සමග වෙළෙඳ ගනුදෙනු හෝ අධ්‍යාපනය හදාරන අයට, ධනය උපයන ව්‍යාපාර කරන අයට සහ එවැනි බලාපොරොත්තුවක් ඇති සිංහ ලග්න හිමියන්ට ඒ ලබන කාල පරිච්ඡේදය ඉතා සුබදායක වේ. ලංකාවේ සිටියත් උසස් අධ්‍යාපනයට ජයග්‍රාහී වසරකි. එමෙන්ම නෙප්චූන් ග්‍රහයා අටවැන්නට පැමිණීමෙන් තරමක මායාමය සිතුවිල්ලකට සිංහ ලග්න හිමියා පත්විය හැකිය. ඒ තුළින් අනියත බියක් ඇති වේ. එය දුරුකරගත හැක්කේ තමන්ටම පමණී. නින්දට බාධා ඇති වේ. මෙයින් තරමක් හෝ සැනසිල්ලක් ළඟාකරගන්න නම් අභිසම්භිධාන පිරිත සහ ගිනි පිරිත සජ්ජායනා කිරීම සුදුසු වේ. රැකියාවේ මොනතරම් පීඩන ආවත් එයින් ඉවත්වීම නොකළ යුතුය. ජයග්‍රහණ ලැබීමට නම් අපහසු මොහොතේ දරාගෙන සිටිය යුතු වේ. 

 


කන්‍යා 
සමාජයේ ඉහළට යයි 

ජය වර්ණය - නිල්
ජය අංකය 03
කන්‍යා ලග්න හිමියන්ද 2023 සතුටුවිය හැකි පිරිසකි. සෙනසුරු ග්‍රහයා 2023 ජනවාරි මාසයේ 17 වැනිදා සිට කේන්දරයේ හය වැන්නට ඇවිත් බලවත් වේ. ශක්තිය ගබඩා කරන හය වැන්නට හොඳම ග්‍රහයෙකු ලෙස සෙනසුරු හැඳින්විය හැකිය. වසර 29කට පසු සෙනසුරු ග්‍රහයා කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයේ හයවැන්නට පැමිණ සිටී. පසුගිය කාලයේ පිරිහුණු කායික මානසික ශක්තිය, ආත්ම ශක්තිය, හැකියාවන් නැවත වර්ධනය කරගනිමින් සමාජයේ ඉහළට පැමිණෙයි. එම නිසා ශක්තිමත් ගමණක් ආරම්භ කළ හැකිය. විශේෂයෙන් කල්ගත වූ හඳුනා නොගත් රෝගවලට මොනතරම් ප්‍රතිකාර කළත් සුවයක් නොතිබුණා නම්, දැන් එයට ප්‍රතිකාර ගෙන සුවකර ගැනීමට කාලය පැමිණ ඇත. එමෙන්ම ඉතා ඉක්මනින් එම රෝගපීඩා සුව අතට හැරේ. දැන හෝ නොදැන මිනිසුන්ගෙන් තිබූ යම් යම් පීඩනකාරී තත්ත්ව පහසුවෙන්ම ජය ගනී. එමෙන්ම ඔවුන් ප්‍රවේසම්විය යුතු අවස්ථාවක්ද ඇත. එනම් 2023 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ගුරු ග්‍රහයා කේන්දරයේ අට වැන්නේ ගමන් කරයි. එය එතරම් හොඳ පිහිටීමක් නොවේ. එම නිසා සෞඛය ගැටලු මතුවීමට ඉඩකඩ තිබෙන නිසා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. ගුප්ත විද්‍යා විෂයන් ඉගෙනීමට යහපත් වේ.

 


තුලා 
රැකියාවේ උසස්වීම් 

ජය වර්ණය - සුදු
ජය අංකය 08
රාශි චක්‍රයේ හත්වැනි රාශිය වන්නේ තුලා ලග්නයයි. 2023 වර්ෂය ආරම්භවන විට තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ රාහු සහ යුරේනස් හත්වැන්නේත් සෙනසුරු පස් වැන්නේත් පිහිටයි. නෙප්චූන් හයේ පිහිටයි. කේන්දරයේ එක ළඟ මේ ග්‍රහයන් එක සමීපයේ පිහිටයි. රාහු සහ යුරේනස් හත් වැන්නේ පිහිටීම ප්‍රේමය සහ විවාහ කටයුතුවලට සහ සමාජ සම්බන්ධතාවලට හවුලේ කරන කටයුතුවලට තරමක් පීඩාකාරී ගතියක් පෙන්වයි. එහෙත් ඒ තත්ත්වය මැඩ ගැනීමට හැකියාව තිබේ. ඒ සඳහා උදේ සවස සූරිය පිරිත සහ අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීමට හැකි නම් ඉක්මනින්ම මේ පීඩාකාරී තත්වයන් දුරු කරගත හැකි වේ. මේ අවාසිදායක තත්ත්වය සැප්තැම්බර් දක්වාම පවතී. මීළඟට සෙනසුරු ග්‍රහයා ක්‍රියාත්මක වන්නේ කේන්දරයේ පස්වැන්නේය. මෙය හොඳ පිහිටීමකි. දැනට කිසියම් රැකියාවක් වෘත්තියක් හෝ ව්‍යාපාරයක නිරත වී සිටී නම් ඒවායේ වඩාත් ඉහළ ප්‍රතිඵල ළඟා කරගත හැකි වේ. රැකියාවල උසස්වීම් හිමි වේ. විධිමත් අධ්‍යාපනයක් සමගම මේ වෙනස සිදු වේ. වසර පහක් දක්වා වෘත්තීය ජීවිතයට එම යහපත් කාලය පවතී. ජනවාරී 17 සිට ඉදිරියට යහපත් කාලවකවානුවක් උදා වේ. තුලාවෙන් උපන් ස්ත්‍රීන් ගර්භාශගත රෝග, ඔසප් චක්‍රය සම්බන්ධ දෝෂ, එවැනි දෝෂ සහිත අය ඉතා පරිස්සම්විය යුතු කාලයකි. විවාහය සම්බන්ධ කටයුතුවලදී ඉක්මන් කලබලකාරී තීරණ නිසා රැවටීමට හසුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය.

 


වෘශ්චික 
නිදන්ගත රෝග අවදානමක් 
ජය වර්ණය - රතු
ජය අංකය 08
වෘශ්චික ලග්න හිමියන්ට මෙම වසර ජයග්‍රාහී වසරකි. දිගු කාලයකට පසුව තමන්ගේ සිතුවිලිවල සහ ගෘහස්ථ ස්ථානයේ ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවෙන සුබ කාලයකි. එය ඉදිරි වසර පහක කාලයටම සුබ වේ. ඉදිකිරීම් කටයුතු සහ ඉඩකඩම් මිලට ගැනීම් සහ දේපළ සම්බන්ධ කටයුතුවලට යහපත් වසරකි. ඒ වගේම ව්‍යාපාරික සහ අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ඵල නෙළා ගැනීමේ හැකියාව ඇත. රාහු ග්‍රහයා තව දුරටත් වෘශ්චික ලග්න හිමියාගේ ලග්නයේ හය වැන්නේ බලවත් වන නිසා බාධක මැඩගෙන ඉදිරියට යෑමට හැකියාව ලැබෙන අතර විදේශ රැකියා සඳහා බලාපොරොත්තු වන අයට සුබ කාලයකි. ඕනෑම බාධාවක් මැඬගෙන ඉදිරියට යා හැකිය. කායික සහ මානසික යහපතද උදා වේ. එහෙත් අමතක නොකළ යුතු තරමක් අවදානම් කාලයක් අප්‍රේල් මාසයෙන් පසුව උදා වේ. ඒ ගුරු ග්‍රහයාගේ ගමන නිසයි. විශේෂයෙන් මෙම ලග්නයෙන් උපන් ස්ත්‍රියක් නම් තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විශේෂ අවධානයක් ඇති කරගත යුතුය. ඒ ඔසප් සහ ගර්භාශගත රෝග සම්බන්ධයෙන්ය. ආහාරපාන ගැනීමේදී මේද සහ සීනී ආහාර පාලනය කරගත යුතුය. මේ මොහොතේ අවිචාරවත් කෑම රටාවකට යොමුවුවහොත් එය දිගුකාලීන නිදන්ගත රෝග ඇතිකිරීමට බලපානු ඇත. තමන්ගේ ප්‍රධානීන් සමග ගැටීමට යාමෙන් අවාසිවන්නේ තමන්ට නිසා ඒ සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතු වේ.

 

 

ධනු 
රට යන්න හොඳ කාලයක් 

ජය වර්ණය - නිල්
ජය අංකය 02
ධනු ලග්න හිමියාගේ කේන්දරයේ 2023 වසර ආරම්භ වන්නේම මෙම ලග්න හිමියාට තිබූ දිගු කාලීන පීඩාකාරී තත්ත්වයක් ඉවත් කරමිනි. එයට හේතුව වන්නේ සෙනසුරු ග්‍රහයා පසුගිය කාලය පුරාම පීඩාකාරී තත්වයක් ඇති කළ නිසයි. එනම් ධනය ඉපයීම, ධනය රැස්කිරීම ඉතා දුබල මට්ටමක පැවැති කාලයකි. මේ වසරේ ජනවාරි මස 17 වැනිදායින් පසුව දිගටම ධනු ලග්න හිමියාගේ කේන්දරයේ සෙනසුරු තුන්වැන්නේ බලවත් වෙයි. එවිට ධනය සම්බන්ධව තිබූ ගැටලු කළමනාකරණය කරගැනීමට හැකියාව උදා වේ. වෘත්තීමය වශයෙන් මෙන්ම අධ්‍යාපනය අතින් සහජ හැකියාවන් කුසලතා එළිදැක්වීමට කාලය උදා වේ. සුවිශේෂී කාරණය වන්නේ අවුරුදු 116කට පසුව සියලු ධනු ලග්න හිමියන්ගේ ලග්නයේ නෙප්චූන් ග්‍රහයා තමන්ගේ උරුම ස්ථානය වූ හතරවැන්නට පැමිණේ. ආධ්‍යාත්මික පැත්තෙන්, හෝ පර්යේෂණවල නියැළෙන්නන්ගේ වැඩ කටයුතු සාර්ථක වේ. මානසිත සහනය ආරක්ෂා කර ගනී. වචනයෙන් හෝ තව කෙනකුගේ සිත නිවයි. ත්‍රිකෝණස්ථානයේ සිටින ගුරු ග්‍රහයා නිසා අධ්‍යාපනයේ, රැකියාවේ නව වෙනසක් ඇතිකර ගනී. විදේශගතවීම්වලට සුබ කාලයක් වගේම මේ වසර සියලු කටයුතු සඳහා ධනු ලග්න හිමියාට ජයග්‍රාහී වසරක් ලෙස හැඳින්විය හැකිය.

 


මකර 
නව ආදායම් මාර්ග
ජය වර්ණය සුදු
ජය අංකය 07
මේ වසරේ තවත් ජයග්‍රාහී ලග්නයක් ලෙස මකර ලග්නය හැඳින්විය හැකිය. එයට හේතුව වන්නේ දැනට රාහු ග්‍රහයා ක්‍රියාත්මක වන්නේ මෙම කේන්දරයේ හතරවැන්නේවීම නිසයි. එය රැකියාව, ව්‍යාපාර කටයුතු සහ පදිංචි ස්ථානයේ තිබූ ගැටලු නිරාකරණය කරයි. තමන්ට ඉතා වාසිදායක ලෙස බාධා ඉවත් වේ. අලුත් නිවාස ලාබ, රැකියා සහ නව ආදායම් මාර්ග ඇති වේ. මානසික වශයෙන් නිදහස් පරිසරයක කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. අප්‍රේල් මාසයෙන් පසුව ගුරු ග්‍රහයාගේ වෙනස්වීමෙන් ඒ තත්ත්වය තවත් යහපත් වේ. එහෙත් දේපළ ඉඩකඩම් සම්බන්ධයෙන් මේ කාල වකවානුවේ සොර සතුරු බිය ඇතිවිය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. පෙණහලුවල සෙම පිරීම සහ හුස්ම ගැනීමේ යම් යම් අපහසුතා ඇතිවිය හැකි කාලයකි. ස්ත්‍රී පාර්ශ්වය නම් තමන්ගේ පියයුරු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු වේ. එහෙත් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැත. තැන්පත් ධනය ඇති වේ. නීතිමය වශයෙන්, සාමාජීය සහ යුග ජීවිතයට සුබ කාලයකි. සියලු මකර ලග්න හිමියන්ට සුබ වසරකි. හොඳට උපයා ගැනීමට සහ ඉගෙන ගැනීමට සුබ කාලයක් බැවින් ඒ සඳහා උනන්දුවීමෙන් ඉදිරිය වඩාත් යහපත් කරගත හැකිය. 

 

 

කුම්භ 
සියලු කරදර අවසන් වෙයි 

ජය වර්ණය - නිල්
ජය අංකය 09
ලග්න දොළහ අතරින් මේ වසරේ විජයග්‍රාහී ලග්නය ලෙස කුම්භ ලග්නය හැඳින්විය හැකිය. එයට හේතුව වන්නේ කුම්භ ලග්න හිමියන් වසර දහයකට කිට්ටු කාලයක් කායික සහ මානසික වශයෙන් සහ වෘත්තීය වශයෙන් විඳින්නට හැකි සෑම දුක් ගැහැටක්ම විඳ අවසන්වීමයි. නැතිවීමට ඇති බොහෝ දේවල් නැති වී අවසන්ය. එහෙත් මේ වසරේ ජනවාරී 17න් පසුව කුම්භ ලග්න හිමියන් තමන් මෙතෙක් සිටී අගාදයෙන් උඩට පැමිණේ. පරිහානිය නැතිනම් අපායෙන් මිදී පිටතට පැමිණේ. ලග්නය මත සෙනසුරු ක්‍රියාත්මක වේ. එයම ජයග්‍රහණය වේ. සෙනසුරු ලග්නයේ සිටියාට කිසිදු ඒරාෂ්ඨක අපල තත්ත්වයක් ඇතිවන්නේ නැත. ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත. එය ජීවිතයට වඩාත් යහපත් තත්ත්වයක් ඇති කරයි. මානසික ශක්තිය සහ දරාගැනීමේ හැකියාව වැඩි වේ. එතැන් සිට කුම්භ ලග්න හිමියා තමන්ගේ ජීවිතයේ නැවත යථා තත්ත්වයට පත්කර ගනී. තමන්ට අවශ්‍ය තීන්දු ගෙන එය ක්‍රියාත්මක කරයි. තමන්ගේ ඇවතුම් පැවතුම් ඉරියව් නිසියාකාරව සිදු නොවීමෙන් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි නිසා තරමක් කල්පනාකාරී විය යුතුය. අභිසම්භිධාන සහ සූරිය පිරිත සජ්ජායනා කිරීමෙන් අවාසිදායක තත්ත්වය මඟහරවා ගත හැකිය. තමාගේ උත්සාහයෙන්, අධ්‍යාපනයෙන් සහ වෘත්තීය ජීවිතයේ නිසැක ජය ලබයි. නෙප්චූන් ග්‍රහයාගේ ස්ථානගතවීම සමග රැවටීම්වලට හසුවිය හැකි නිසා ධනය වියදම් කිරීම සහ දේපළ හුවමාරු කරගැනීම් වලදී ප්‍රවේසම්විය යුතු වේ. සමස්තයක් ලෙස බොහෝ කලකට පසු කුම්භ ලග්නයට හිමිවෙන යහපත් කාලයක් ලෙස මේ කාලය හැඳින්විය හැකිය.

 


මීන 
අභියෝග වැඩිවෙන වසරක් 

ජය වර්ණය - කහ
ජය අංකය 07
වසර 2023 උදාවත් සමගම මීන ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතයේ මුහුණ දීමට සිදුවන දැවැන්තම සහ තිව්‍රම අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. එයට හේතුව වන්නේ රාහු සහ යුරේනස් ග්‍රහයන්ගේ ගමනයි. එය එතරම් හොඳ පිහිටීමක් නොවේ. ඒ නිසා තමන්ගේ වචන වැරදි ලෙස භාවිතා විය හැකි බැවින් කට ප්‍රවේසම් කරගෙන වැඩ කළ යුතු වේ. මීන ලග්න හිමියෝ අනුන් සමග ගිවිසුම්වලට එළඹෙද්දී ඉතා ප්‍රවේසම් විය යුතුය. තමන්ගේ අදහස් පළකිරීමේදී මෙන්ම, වාචිකව හෝ ලිඛිතව ගිවිසුම්පත් අත්සන් කරද්දී කල්පනාකාරී වන්න. ආහාරපාන ගැනීමේදීත් වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුය. නුහුරු නුපුරුදු ආහාරපාන භාවිතා කිරීමෙන් භයානක රෝග පීඩා ඇතිවිය හැකිය. එම නිසා ගැටලුව ඇත්තේ මීන ලග්න හිමියාගේ කටේ නිසා සෑම අතින්ම ඔහු කට ප්‍රවේසම් කරගෙන වැඩ කටයුතු කළ යුතුය. වචන ආහාරපාන සහ ධනය පාවිච්චි කිරීමේදී මේ කල්පනාකාරීබව ඇති කරගත යුතුය. එසේ නොකළොත් එය තමන්ට එරෙහි බලවේග ලෙස ක්‍රියා කළ හැකිය. කේන්දරයේ දොළොස් වැන්න බලවත්වන නිසා යම් ප්‍රමාණයකට විසකුරු ගතිය අඩු වේ. එම නිසා තමන්ට හැකියාව සහ ශක්තිය ඇත. එහෙත් එය නිවැරදිව භාවිතා කළ යුතු වේ. සූරිය පිරිත, අභිසම්භිධාන පිරිත සමග අටවිසි පිරිත සජ්ජායනා කරනවා නම් යහපත් වේ. ගුරු ග්‍රහයාගේ ප්‍රවේශය නිසා යහපත් අවස්ථාද ඇති වේ. එම නිසා මීන ලග්න හිමියා කල්පනාකාරීව කටයුතු කළහොත් තව දුරටත් තමන්ගේ ජයග්‍රහණ කරා පහසුවෙන් ගමන් කළ හැකි වේ.

නයනා උදයංගනී   


 

හැම තැනම පෑඩ්ස් දාන්න එපා.... Read Previous

හැම තැනම පෑඩ්ස් දාන්න එපා....

කැරම් ලෝක කුසලානයට යන ලංකාවෙ ජාතික කැරම් කණ්ඩායම Read Next

කැරම් ලෝක කුසලානයට යන ලංකාවෙ ජාතික කැරම් කණ්ඩායම

Realted Post

Leave a comment