සොරුන්ගේ දෑතටත් ගිය පියුම් මිට

 

මලක් කියන්නේ හරි අපූරු තෑග්ගක්. මලකට පු`ඵවන් කෙනෙකුගේ හිතට සතුටක් ගේන්න. ඒ නිසාම ආදරය, සෙනෙහස, ගෞරවය දක්වන සංකේතයක් විදියට මල් පොකුරක් හෝ මලක් තවත් කෙනෙකුට ආදරයෙන් පිරිනමනවා. මනුස්ස ජීවිතයේ ඉපදීම, විවාහය සහ මරණය දක්වා යන අවස්ථා තුනේදීම වගේම සතුට සහ දුක යෙදෙන බොහෝ තැන්වලදී ජීවිතයට සම්බන්ධවෙන මල් බුද්ධාසනයට යනතෙක්ම ගෞරවනීය සංකේතයක් බවට පත්වෙලා තිබෙන්නේ ඒ නිසයි. ඒ හේතුව නිසාම කෙනෙක් තවත් කෙනෙකුට දෙන මල් කලඹක තිබෙන්නේ මිල කළ නොහැකි වටිනාකමක්. එහෙත් අද දකින සමාජ වටපිටාව තුළ මල් කලඹක් පිරිනැමීමේ සැබෑ අරුත බොහෝදෙනෙකුට අමතක වී ඇත්දැයි සිතෙයි. උපන් රටටත් වංචා කරන ඇතැම් හොර තක්කඩි දේශපාලනඥයින්, අපරාධකාරයින්, ඇප පිට නිදහස්වන රටේ ඉහළ පෙළේ වංචාකාරයින් නැවත මල් කලඹකින් සමාජයට පිළිගැනීම දක්වාම පුදසුනට යන මල් කලඹ බාල්දු වී ඇත්තේ ඇයි?

  
අපි අපේ හිතවතුන් මුණ ගැසෙන්නට යන විට හුඟක් අවස්ථාවල අරන් යන්නේ විවිධ තෑගි බෝග වුවත් බටහිර සංස්කෘතියේ ඔවුන් තමන්ගේ ආදරණීයයන් මුණ ගැසෙන්න යන බොහෝ අවස්ථාවල රැගෙන යන්නේ ස්වාභාවික මල් කලඹකි. ඒ තුළින් ඔවුන් ලබන්නේ අපරිමිත ආස්වාදයක් සහ සතුටකි. ඒ නිසා ඔවුන්ගේ සංස්කෘතිය තුළ මල් කලඹට විශේෂ වටිනාකමක් හිමි වේ. වටිනා තෑගි බෝගවලට වඩා සමහර වෙලාවට මලක් යනු ඔවුන්ට මිල කළ නොහැකි වස්තුවකි.


සංස්කෘතියත් සමග අපේ රටේත් මලකට ලැබෙන්නේ වෙනස්ම වටිනාකමකි. පවුලකට කුලුඳුළේ දරුවෙක් ලැබුණාම ඒ අලුත උපන් දරුවා සහ මව පිළිගැනීමට සමහර උදවිය මල්කලඹක් රැගෙන යයි. ඉන්පසු විවාහය දවසට මනමාලියගේ මල් කලඹේ සිට සියලුම සැරසිලි සඳහා මල්වලට ලැබෙන්නේ ඉහළ තැනකි. එය මරණයේදී ද වෙනසක් නැත. වෙනස් වන්නේ අර්ථය පමණි. මල් යනු අවස්ථාවට අනුව විවිධ අර්ථ එකතු කරන ආදරණීය සංකේතයක් සහ මතකයකි.

 


මල් දෙන්නේ අරුත දැනගෙනද? 
කෙනෙක් තවත් කෙනකුට ලබාදෙන මල්වලට විවිධ අර්ථකථන දිය හැකිය. උදාහරණයක් ලෙස බොහෝ විට රතු පැහැති රෝස මල් හෝ රතු වර්ණයේ මල් පිළිගැන්වීමෙන් අදහස් කරන්නේ ආදරයයි. ඒ ආදරය යනු ආලයම නොව අවංක සෙනෙහස බෙදා ගැනීමටත් රතු වර්ණයේ මල් තෝරාගැනේ. ඒ වගේම කහ වර්ණයෙන් මිත්‍රත්වය අදහස් වේ. මේ විදියට වර්ණවලින් මල් කලඹකින් විවිධ අදහස් ප්‍රකාශවෙන නිසා මලක් හෝ මල් කලඹක් තවත් කෙනකුට දිය යුත්තේ එහි සැබෑම හැඟීම අවබෝධ කරගෙන ය. සැබෑ ආදරය, මිත්‍රත්වය, අවංකකම සිත තුළ නැතිනම් මතුපිටින් පමණක් ඒ හැඟීම මලකින් ප්‍රකාශ කිරීමේ වටිනාකමක් නැත. 

 

 
මල් කලඹක් දරන්න ඒ දෑත් සුදුසුද? 
මේ වන විටත් අපේ රට හතර අතින් කාබාසිනියා වී අහවරය. රටේ මිනිසුන් අන්ත අගාදයට වැටී අවසන්ය. එක ධජයක එක සෙවණක දියුණු රටක් ලෙස සැපවත් ජීවිත ගතකරන්න පු`ඵවන් පුංචි දූපතක් වුණු මේ රට අද පත්ව ඇති විනාශයට වගකිවයුතුව ඇත්තේ රටේ පාලකයින් සහ ඔවුන්ට උඩ ගෙඩි දෙන ඇතැම් දේශද්‍රෝහී මිනිසුන් ය. රටේ ජනතාව එක වේලක ඩයට් ප්ලෑන් එකකට බස්සවා ඔවුන් හොඳ හැටි කා බී සැප විඳිමින් සිටින සතුට වෙනුවෙන් ඔවුන්ට මල් පොකුරු දී පිළිගන්නා මිනිසුන් දකින විට ඇතිවෙන්නේ කලකිරීමකි. 


පසුගිය කාලය තුළ විවිධ අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් නීතියේ රැහැනට අසුවූ පිරිස් මාධ්‍ය මගින් හෙළි කෙරුණි. අපේ රටේ වගේම, ලෝකයේ බොහෝ අපරාධවලට සම්බන්ධ වන වැඩි දෙනෙක් පිරිමි පාර්ශ්වය වුවද මේ අතර සියයට හයක් පමණ කාන්තාවෝද සිටිති. ගැහැනුන්ගේ නුවණ හැඳිමිටේ දිගට පමණැයි කීවත් සමහරු සිදු කර ඇති දූෂණ වංචා දුටු විට ඒ මොළවලට ගහන්න මොළ ලෝකේ කොහේවත් නැතැයි සිතෙන තරම් ය. ඒ කෙසේ වුවත් අවසානයේ මේ වැරදිකරුවන්  සිරගතව සිට හෝ නැවත සමාජයට පැමිණෙන විට මෙවැනි මල් කලඹක් දී නැවතත් පිළිගැනීමට සමාජයේ ඇතැම් පුද්ගලයින් ඉදිරිපත්වීම කෙතරම් අවාසනාවක්ද? 

 


මලක ඇත්තේ ආදරය සහ ගෞරවයයි
තවත් කෙනෙක් පිළිගැනීම සඳහා පිරිනමන මල් කලඹකින් සංකේතවත් කරන්නේ සතුට සහ ගරුත්වයයි. එසේ නම් පිවිතුරුබව, නැවුම්බව අර්ථවත් කරමින් බුද්ධාසනය වෙන තෙක් යන මල් කලඹ මෙවැනි අවස්ථා සඳහා එක්කර ගැනීමෙන් හැඟවෙන්නේ රටට වංචා කිරීමට නැවතත් නුඹලා සාදරයෙන් පිළිගන්නෙමු කියන අර්ථයද? එසේ නැතිනම් වැරදිකරුවන් නිවැරදි සුදු චරිත ලෙස පෙන්වීමට ද? 
ජාත්‍යන්තරය ජයගෙන හෝ එවැනි වෙනත් අවස්ථා සඳහා සහභාගී ගී රටට කීර්තියක් අත්කර දුන් මිනිසුන් නැවත මවුබිමට පැමිණෙන විට ඔවුන්ගේ ගෙලට මල් මාලා දමා අතට මල් පොකුරු දී උණුසුම් ආදර ගෞරවයකින් පිළිගන්නවා ඔබ දැක ඇති. ඒ විතරක් නොවේ කීර්තිමත් සහ රටට වැඩදායී උසස් පුද්ගලයින් පිළිගැනීමටත් එලෙස සිදුකරයි. එවැනි වටිනා අවස්ථාවක වටිනා පුද්ගලයෙකු වෙනුවෙන් පිදෙන මල් මිටම සමහර වෙලාවට ඇප ලබා හිරෙන් එළියට පැමිණෙන වංචනිකයින් පිළිගැනීමටත් යොදා ගන්නවා  නම් එහි ඇති වටිනාකම කුමක්ද? රටට ඉමහත් කීර්තියක් අත්කරදුන් සැබෑ වීරවරයෙක් සහ හිරෙන් නිදහස් වී පිටතට පැමිණෙන අපරාධකරුවන් හෝ වංචනිකයින් යන දෙගොල්ලම පිළිගන්නේ මල් කලඹකින් නම් ඒ ගැන සිතන්නට මේ සමාජයේ බොහෝ දේ ඉතිරිව ඇත. එසේ නම් දැන් මේ රටට සිදුවී ඇති ව්‍යසනයටද වගකිව යුත්තෝ ද ඇත්තේ අප අතරමය. කෙසේ නමුත් අනාගත දරු පරම්පරාවට හෝ යහපත් නිවැරදි සිතුම් පැතුම් ඇති කළ යුතුව ඇත. විශේෂයෙන් උඩ බලාගෙන ගසන කෙළ පිඩ ඉලක්ක කරගන්නේ තමන්ගේම මුහුණ බව අප අමතක නොකළ යුතුය.  


ඉතින් මල් කලඹක් ලබා දිය යුත්තේ එය ලැබීමට සුදුසුම පුද්ගලයින්ටයි. ඒ මල් මිටේ වටිනාකම වැඩි වන්නේ එවිටයි. එසේ නැතිව සෑම තැනකදීම පුරුද්දක් ලෙස මල් කලඹක් පිළිගැන්වීමෙන් සිදුවන්නේ සුදුසු තැනදී පිරිනමන මල්කලඹේ වටිනාකමද හීනවීමයි.

නයනා උදයංගනී 


 

මුල්ලේරියා හටන ඇරඹේ. Read Previous

මුල්ලේරියා හටන ඇරඹේ.

නවකයින් අතර දක්ෂයින් අඩුයි  Nirosha Thalagala Read Next

නවකයින් අතර දක්ෂයින් අඩුයි Nirosha Thalagala

Realted Post

Leave a comment