School Bag එකක් ගෙදරදිම මහගන්න

නිවසේම සිටින කාන්තාවන්ට තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමටත්, මානසික වශයෙන් සුවදායීව ඒකාකාරී ජීවිතයෙන් මිදීමටත් ස්වයං රැකියාවක නිරතවීම ඉතාම වැදගත් වේ. තමාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නිවසට ගෙනවිත් ඉතා පහසුවෙන් කළ හැකි ස්වයං රැකියා බොහොමයක් සමාජයේ තිබේ. ඒ අතර පාසල් බෑග්වලට වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතී. ප්‍රමිතියකින් සහ හොඳ නිමාවකින් කල් පවත්නා බෑගයක් නිර්මාණය කරගැනීමෙන් ඒ සඳහා පවතින ඉල්ලුම දිගටම පවත්වා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය
ඔක්ස්පර්ඩ් කැමති රෙදි වර්ගයක් 
වෑන්ස් ලයිනින් සඳහා රෙදි
ගුචී (කැමරැල්ලා/මැපටා)
පිලා මල් බකල්/හෙල්මට් ලෙට්
කොලරයිඩ් වෙබින් අගල
පැඩින්
එයා මැක්ස්
ෂිපර්/හෙඩ්
ඉලාස්ටික්

  • 1 පියවර 

ඔබ කැමැති රෙදි වර්ගය බෑග් එක අවශ්‍ය ප්‍රමාණවලින් මැනලා, කපලා සියලුම කොටස්වලට ලයිනින් අල්ලගන්නවා. ඇඳුමකට ලයිනින් අල්ලනවා වගේ බෑග් එකටත් සම්පූර්ණ ලයිනින් කරනවා. 
බෑග් එකේ සම්පූර්ණ බර දරන්නේ හැඬල් දෙක, ඒ කියන්නේ බෑග් එකේ අත් දෙක. උරහිස් රිදෙන්නේ නැතිවෙන්න සුවපහසුවට, සෞඛ්‍ය ආරක්ෂිතව, ශක්තිමත්ව හැඬල් මහගන්න ඕනෑ. හැඬල් එකේ පළල වැඩිවෙන තරමට උරහිසට දැනෙන බර දරාගන්න පහසු වෙන නිසා අඟල් 2 1/2 ක් 3කට හැඬල් එකක් කපාගන්න ඕනෑ. හැඬල්වලට අල්ලන කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. බෑග් එක පිටුපස්සේ ත්‍රිකෝණ හැඩයට තියෙන කොටස් දෙක, ඒවට කියනවා වෙබින්, මල්බකල් කියලා. 
ලන්ච් බොක්ස් එකේ අවශ්‍යතාව අනුව බෑග් එකේ ඉදිරිපස පොකට් මහගන්නවා. ඊළඟට මූලිකත්වය දෙන්නේ වතුර බෝතලයට. ඒකට ගන්නවා අඟල ඉලාස්ටික් එකක්. ඉන්පසු එයාමැක්ස් දාගන්නවා. ඒ කියන්නේ දැලක්. 
ඊළඟට අපිට ෂිපර් අවශ්‍යයි. පාසල් බෑග් නිතරම අරින වහන නිසා ලොකු ෂිපර් එකක් අවශ්‍යයි. එක බෑග් එකකට අවශ්‍ය ප්‍රමාණය මැනලා අරගෙන ඒකට අපි හෙඩ් එකක් දානවා. හෙඩ් එකෙන් තමයි අරින්නේ වහන්නේ. ෂිපර් එක ළඟ උඩ තියෙන පොඩි කොටසට තමයි හෙඩ් එක කියන්නේ. සාමාන්‍යයෙන් පාසල් බෑග්වල දෙපැත්තෙන්ම වැහෙන්න හෙඩ් දෙකක් දානවා. ඒ විදියට Zip Band ටික, Case Band ටිකත් මහලා ඉවර කරගන්නවා. 

  • 2 පියවර 

හොඳ සුවපහසුව සඳහා පැඩින් (Padding) එකක් දාලා පිටට පන්ච් එක මහගන්න ඕනෑ. ඊළඟට පිටුපස පළුවට හැඬල් දෙක තබා උඩින්ම අල්ලනවා. යට කොටසින් ත්‍රිකෝණ කොටස් දෙකක් වගේ අපි හදාගත් කොටස් දෙක බෑග් එකේ හැඬල් දෙකට දාලා එකතු කරගන්න ඕනෑ. ඒ විදියට පිටුපස පළුව හදලා ඉවර කරගන්නවා.

  • 3 පියවර 

පිටුපස පළුවෙන් හැඬල් දෙක වගේ ඉදිරිපස පළුවෙන් පොකට් දෙකට අවධානය දෙනවා. බෑග් එකට පාසලක ලාංඡනයක්, නමක් අවශ්‍ය නම් පාසලෙන් ලබාගෙන ඒවා කරන තැනකට දීල පොකට් ටික හදාගන්නවා. නැතිනම් ළමයි ආස කරන පින්තූරයක් ප්‍රින්ට් කරගන්නත් පුළුවන්. ඒ ආකාරයට බෑග් එකේ ඉස්සරහ පළුව සකස් කරගන්නවා. අපිට කැමති විදියට බෑග් එකට වයර් කෝඩ් එකක් දාලා හෝ නොදා මහගන්න පුළුවන්.

  • 4 පියවර 

Zip Band එකයි, Case Band එකයි සම්බන්ධ කර ඉදිරිපස පළුවෙත් පොකට් ටික හදාගෙන ඒවා රැලි නොවන ආකාරයට හරි මැද සෙන්ටර් මාර්ක් දාගෙන, ඉදිරිපස සහ පිටුපස සම්බන්ධ කරන්න ඕනෑ. මේ සියලු දේවල් මැහෙන්නේ කණපිටින්. පැඩින් කෑලිවල ඉතුරු කොටස් වැහෙන්න පටියක් කණපිටින්ම ගහගෙන යනවා. ඊට පස්සේ හොඳ පිට හරවලා ෂිපර් එකේ හෙඩ් දෙකෙන් බෑග් එක අරිනවා.

  • 5 පියවර - 

බෑග් ගොඩක් මහනවා නම් එකපාරටම අතින් හොඳපිට හරවන්නේ නෑ. ඒක කරන්න අමාරුයි ගනකම වැඩි නිසා. කණපිටින්ම අව්වට දාලා පැය භාගෙකට විතර පස්සේ බෑග් එකේ ඉටි ගතියත් එක්ක අව්වට රත් වෙනකොට බෑග් එක පහසුවෙන්ම හොඳ පිට හරවා ගන්න පුඵවන්. ඊට පස්සේ නූල් ටික කපලා ගන්නවා. මේ විදියට අපිට පාසල් බෑගයක් මහලා නිම කරගන්න පුළුවන්.

 

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක් Read Previous

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Next

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

Realted Post

Leave a comment