කොස් වාරේ රස ආහාරේ

මේ කොස් වාරයයි. කොස් වාරේ සාදාගත හැකි රසවත් ආහාර රැසකි මේ.

ක්‍රිස්පි කොස් බැදුම

  • අවශ්‍ය ද්‍රව්‍ය 

ඇට ඉවත් කර ලොකු කැබලිවලට කපාගත් කොස් මදුළු 10 ක් 
කෝන් පිටි ග්‍රෑම් 200 ක් 
මිරිස් කුඩු මේස හැඳි 1ක්
බිත්තර  2 ක් 
ලුණු කුඩු තේ හැඳි  2ක් 
කහකුඩු තේ හැඳි 1 ක් 

  • සාදාගන්නා ආකාරය 

මුළුමනින්ම කොස් ටික ලුණු මිශ්‍ර වතුරින් පැය බාගයක් පමණ පොඟවාගන්න. දැන් වතුර හොඳින් තෙත මාත්තු කර ගසාගත් බිත්තර ​ෙහාඳින් දවටා ගන්න. ඉන්පසු කෝන්පිටිවලට කහකුඩු, ලුණුකුඩු, මිරිස් කුඩු දමා බිත්තර දවටාගත් කොස් මදුළු එම කෝන්පිටි වල හොඳින් දවටාගන්න. දැන් එය මඳගින්නේ ගැඹුරු තෙලේ මිනිත්තු තුනක් බැදගන්න. තෙල් බේරෙන්න හැර තෙල් වල රස්නය වැඩි කර නැවත මිනිත්තු දෙකක් බැදගන්න.

පොලොස් ඩෙවල් 

  • අවශ්‍ය ද්‍රව්‍ය 

කොටු කපා තම්බාගත් පොලොස් ග්‍රෑම් 300ක් 
කොටු කපාගත් බීලූනු ගෙඩි 2 ක්  
මාළු මිරිස් කරල් 2 ක් 
දෙකට පළාගත් අමු මිරිස් කරල් 4 – 5 ක් 
කොටු කපාගත් තක්කාලි ගෙඩියක් 
ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1 ක් 
තක්කාලි සෝස් මේස හැඳි 2 ක් 
සෝයා සෝස් මේස හැඳි 1 ක් 
ලුණුකුඩු තේ හැ‍ඳි 1 ක් 
කෑලි මිරිස් මේස හැඳි 1 ක් 
ගම්මිරිස් ස්වල්පයක් 

  • සාදාගන්නා ආකාරය 

පොලොස් කැබලි ටික ගැඹුරු තෙලේ බැදගන්න. දැන් පෑන් එකකට තෙල් ටිකක් දමා ඉඟුරු සුදුලූනු පේස්ට් එකතු කර හැඳිගාගන්න. දැන් එයට බීලූනු, මාළු මිරිස් ,අමුමිරිස් එකතු කර හොඳින් කවලම් කරන්න.  දැන් එයට පොලොස්, ලුණු ගම්මිරිස් සෝයා සෝස්, තක්කාලි සෝස් එකතු කර හොඳින් කවලම් කරන්න . අවසානයේ තක්කාලි ටික එකතු කරන්න.


කොස් කට්ලට් 

  • අවශ්‍ය ද්‍රව්‍ය 

මදුළ වෙන් නොවන සේ ඇට ඉවත් කරගත් කොස් මදුළු 10 ක් 
හොඳින් තම්බා සුද්ධ කරගත් කොස් ඇට  කිහිපයක් 
අල ග්‍රෑම් 100 ක්  
චොප් කරගත් අමුමිරිස් කරල්  2 ක්  
කුඩාවට කපාගත් බීලූනු ගෙඩි 1 ක් 
ලුණුකුඩු තේ හැඳි 2 ක්
ගම්මිරිස් තේ හැඳි 2 ක් 
ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1ක් 
බිත්තර  2 ක් 
බිස්කට් කුඩු ග්‍රෑම් 200ක්
පාන්පිටි ග්‍රෑම් 100 ක්

  • සාදා ගන්නා ආකාරය 

කොස් ඇට ටික හොඳින් පොඩි කරගන්න. අල ටික තම්බා පොඩි කරගන්න. දැන් පෑන් එකක් ගෙන තෙල් ස්වල්පයක් රත් කර එයට ඉඟුරු  සුදුලූනු පේස්ට්,  බීලූනු දමා තෙම්පරාදු කරන්න. දැන් එයට කොස් ඇට සහ අල එකතු කර ලුණු, ගම්මිරිස් සහ අමුමිරිස් එකතු කර හොඳින් කවලම් කරන්න. දැන් එම මිශ්‍රණය සමානව ගෙන කොස් මදුළු මැදට පුරවාගන්න. දැන් විවෘත කොටස ඉරටු කැබැල්ලක් ගසා සීල් කරගන්න. ඉන්පසු පාන්පිටිවලට බිත්තර සහ වතුර ටිකක් දමා බැටර් එකක් සාදාගෙන පුරවාගත් කොස් මදුළු දමා බිස්කට් කුඩුවල හොඳින් දවටාගෙන ගැඹුරු තෙලේ රන්වන් පැහැය එනතුරු බැදගන්න.  පිළිගැන්වීමට පෙර ඉරටු කැබලි ඉවත් කරන්න. 

පොලොස් ස්ටූ

  • අවශ්‍ය ද්‍රව්‍ය  

කොටු කපා තම්බාගත් පොලොස් ග්‍රෑම් 300ක් 
රවුම් කපාගත් බීලූනු ගෙඩි 2  ක්
රවුම් කපාගත් මාළු මිරිස් කරල් 2 ක් 
මැදින් පළාගත් අමුමිරිස් කරල් 4 – 5 ක් 
රවුම් කපාගත් තක්කාලි ගෙඩි 1 ක් 
ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1 ක් 
අබ ක්‍රීම් මේස හැඳි 1 ක් 
ගම්මිරිස් තේ හැඳි 2 ක් 
ලුණුකුඩු තේ හැඳි 1 ක් 
කහකුඩු තේ හැඳි 1 ක්  
විනාකිරි මේස හැඳි 2 ක් 
අවශ්‍ය නම් පොල් කිරි අඬු කෝප්ප 1/2 ක් 

  • සාදාගන්නා ආකාරය 

පෑන් එක රත් කර එයට තෙල් ස්වල්පයක් දමා ඉඟුරු සුදුලූනු පේස්ට් එකතු කරගන්න. ලුණුකුඩු, ගම්මිරිස්, අබ ක්‍රීම් ගෙන පොලොස් කැබලිවල හොඳින් දවටා පෑන් එකට දමා කවලම් කරගන්න. දැන් වතුර ස්වල්පයක් එකතු කර එයට විනාකිරි  දමන්න. දැන් හොඳින් තැම්බී වතුර නටන විට එයට බීලූනු, මාළුමිරිස්, අමුමිරිස් එකතු කර සෙමෙන් පොඩි නොවන සේ කවලම් කරන්න .අවසානයේ තක්කාලි එකතු කරන්න. අවශ්‍ය නම් පොල් කිරි එකතු කරන්න. 

 

 

 

ARTRA’s Art Experiential Festival Read Previous

ARTRA’s Art Experiential Festival

Launch of the Times School of Higher Education Read Next

Launch of the Times School of Higher Education

Realted Post

Leave a comment