මඤ්ඤොක්කා වෙනස් පදමකට

මඤ්ඤොක්කා නිතරම වෙඳෙපොළේ දැකිය හැකි අල වර්ගයකි. බොහෝ නිවෙස්වල වගා කර ගැනීමටද බොහෝදෙනා පෙලඹෙති. මෙහි දැක්වෙන්නේ මඤ්ඤොක්කාවලින්  සාදාගත හැකි රසවත් ආහාර පෙළකි.


මඤ්ඤොක්කා පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය

  • මඤ්ඤොක්කා  කිලෝග්‍රෑම් 01 ක්
  • පොල් ගෙඩි 01 ක්
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය
මඤ්ඤොක්කාවල මැද නාරටිය ඉවත් කර ග්‍රේට් කරගන්න. මෙයට ගාගත් පොල් සහ ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න. අවශ්‍ය නම් පෝෂණය වැඩිකර ගැනීම සඳහා කැරට්, ලීක්ස්, මුකුණුවැන්න එකතු කරන්න. ඉන්පසු පිට්ටු බම්බුවක හෝ ස්ටීමර් එකක දමා තම්බා ගන්න.


මඤ්ඤොක්කා චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මඤ්ඤොක්කා අල ගෙඩි 2ක්
  • මිරිස් කුඩු මේස හැඳි  2ක්
  • ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
  • පොල් තෙල්

සාදන ක්‍රමය
මඤ්ඤොක්කා අල පොතු හැර රවුමට කපා පෙති වතුරට දමන්න. ඉන්පසු එම පෙති තුනී පිරිසුදු රෙදි කැබැල්ලක් මත දමන්න. තෙත තුනී පිරිසිදු රෙදි කැබැල්ලක් මත දමන්න. තෙල් තාච්චියක් ලිප තබා රත්කර මඳ ගින්දරේ තබා මඤ්ඤොක්කා පෙති දමා බැද ගන්න. ළා දුඹුරු පැහැයක් එනවිට ලිපෙන් ඉවත් කර ලුණු කුඩු, මිරිස් කුඩු කලවම් කරන්න.


මඤ්ඤොක්කා  සීනි මුරුක්කු 

අවශ්‍ය ද්‍රව්‍ය

  • මඤ්ඤොක්කා අල ග්‍රෑම් 500 ක්
  • සීනි ග්‍රෑම් 150 ක්
  • වතුර අඬුකෝප්ප 01 ක්
  • බැදීමට තෙල්

සාදන අයුරු
මඤ්ඤොක්කා පොතු ඉවත් කර තීරු ආකාරයට කපන්න. එය බාගෙට තම්බා අව්වේ වේළන්න. ඉන්පසු ගැඹුරු තෙලේ දුඹුරුපාට වනතුරු බැදගන්න. තෙල් බේරෙන්න හැර සීනි සහ වතුර එකතු කර සීනි කැටි පදම් වනවිට ඊට මඤ්ඤොක්කා එකතු කරන්න.


මඤ්ඤොක්කා දෝසි/ ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය

  • මඤ්ඤොක්කා අල ග්‍රෑම් 500 ක්
  • ලුණු තේ හැඳි  1/4 ක්
  • සීනි ග්‍රෑම් 200
  • තළාගත් කරාබු නැටි, එනසාල්.
  • බටර් හෝ පොල්තෙල්

සාදන ක්‍රමය
මඤ්ඤොක්කා පොතු හැර  කෑලි කපා මැටි හට්ටියක තම්බා ගන්න. තම්බාගත් අල ටික පොඩි කරන්න. තසිමකට දමා එයට පොල්,සීනි තළාගත් කරාබු නැටි /එනසාල් එකතු කර ලිප තබා හොඳින් හැඳිගාමින් මඳගින්නේ පිසගන්න. එකට ගුළියක් ආකාරයෙන් බටර් හෝ පොල්තෙල් ගා ගත් තැටියකට දමා කැලි කපාගන්න.


මඤ්ඤොක්කා වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගාගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 200 ක්
  • සිහින්ව ලියාගත් රටලූනු ග්‍රෑම් 50 ක්
  • සිහින්ව ලියාගත් අමු මිරිස් ග්‍රෑම් 10 ක්
  • සිහින්ව ලියාගත් කොච්චි ග්‍රෑම් 20 ක්
  • කරපිංචා ඉති 02 ක්
  • සිහින්ව ලියාගත් සුදුලූනු ග්‍රෑම් 10 ක්
  • කෑලි මිරිස් මේස හැඳි 02 ක්
  • ගම්මිරිස් මේස හැඳි 02 ක්
  • කහ කුඩු මේස හැඳි 02 ක්
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු
  • අවශ්‍ය ප්‍රමාණයට තෙල්
  • පාන්පිටි හෝ කඩල පිටි

සාදන ක්‍රමය
භාජනයක් ගෙන එයට ගාගත් මඤ්ඤොක්කා සහ රටලූනු හෝ රතුලූනු, අමු මිරිස්, කොච්චි, කරපිංචා, සුදු ලූනු, කෑලි මිරිස්, ගම්මිරිස් හා රස හෝ පාන්පිටි දමා කවලම් කර එයට කඩල පිටි හෝ පාන්පිටි එකතුකර වතුර ස්වල්පයක් දමා වඩේ මිශ්‍රණය සාදන්න. වඩේ බැදීමට පෙර තාච්චිය ලිප මත තබා තෙල් දමා කලින් සාදාගත් මිශ්‍රණය කුඩා බෝල සාදා එහි සිදුරක් සාදා රත්වූ තෙලට දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න.


මඤ්ඤොක්කා කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මඤ්ඤොක්කා ග්‍රෑම් 500
  • මඤ්ඤොක්කා දලු ග්‍රෑම් 500
  • අමු මිරිස් ග්‍රෑම් 100
  • රතුලූනු ග්‍රෑම් 10
  • එනසාල්, කුරුඳු, කරබු නැටි කුඩු තේ හැඳි 01 බැගින්
  • කෑලි මිරිස් මේස හැඳි 2
  • පොල් තෙල්
  • පාන් පිටි / කඩල පිටි
  • කහ කුඩු
  • ලුණු කුඩු
  • බිත්තරයක්
  • පාන්පිටි

සාදන ක්‍රමය
මඤ්ඤොක්කා පොතු හැර සෝදා කුඩාවට කපා තම්බා ගන්න. එයට කුඩාවට කපාගත් සුදු ලූනු, සිහින්ව කපාගත් රතුලූනු, අමු මිරිස්, ගම්මිරිස්, කෑලි මිරිස්, කහ කුඩු, ලුණු කුඩු එනසාල්, කුරුදු, කරාබු නැටි දමා මිශ්‍රණය තෙම්පරාදු කරගන්න. කුඩා බෝල සාදා පාන් පිටි මිශ්‍රණයෙහි තවරා ගැඹුරු තෙලේ බැදගන්න.


මඤ්ඤොක්කා රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

  • ළපටි මඤ්ඤොක්කා අල  2 ක්
  • රතුලූනු ගෙඩි 8 - 10 ක්
  • කොච්චි හෝ අමු මිරිස් අවශ්‍ය ප්‍රමාණයට
  • ලුණු අවශ්‍ය ලෙස

සාදන අයුරු
මඤ්ඤොක්කා අල පොතු හැර සෝදා ග්‍රේටරයකින් ගාන්න. රතුලූනු සිහින්ව ලියාගන්න. අමු මිරිස් කුඩාවට කපා ගන්න. බඳුනකට දමාගත් මඤ්ඤොක්කා, අමුමිරිස් , ලුණු එක්කර හොඳින් මිශ්‍ර කරන්න. වතුර නොදමා හොඳින් කලවම් කරන්න. මෙම මිශ්‍රණය කෙසෙල් කොළයක දමා රොටියක් ආකාරයට තුනි කරන්න. සාමාන්‍ය රොටි පුච්චන ආකාරයට තැටියකට දමා පුලුස්සා ගන්න.

මඤ්ඤොක්කා කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය 

  • නොමේරු මඤ්ඤොක්කා අල කිහිපයක්
  • ලික්ස් හෝ රතුලූනු කොළ
  • කැරට්
  • ගෝවා
  • පොල්තෙල් හෝ එළවළු තෙල් මේස හැඳි 4 ක්
  • ගම්මිරිස් තේ හැඳි 1ක්
  • කෑලි මිරිස් තේ හැඳි 1 ක්
  • රස අනුව ලුණු
  • අමු මිරිස් කරල් 4 ක්
  • රතු ලූණු ගෙඩි 4 ක්
  • කරපිංචා ඉති 2 ක්
  • සේර කැබැල්ලක්
  • රම්පේ කැබලි 1 ක්  
  • එනසාල් කරල් 3 ක්
  • බිත්තර 2 ක්
  • කුකුළු මස් ග්‍රෑම් 100 ක්
  • මාළු ග්‍රෑම් 100 ක්
  • මිරිස් හොදි හෝ මස් හොදි මේස හැඳි 04 ක්

සාදන ක්‍රමය
මඤ්ඤොක්කා අල පොතු හැර සෝදා හතරැස් කොටු හැඩයට කපා ගන්න. එයට ලුණු කුඩු ස්වල්පයක් හා කහ කුඩු  ස්වල්පයක් කලවම්කර තම්බා ගන්න.
කැරට් දිග අතට සිහින්ව ලියා ගන්න. ග්‍රේට් නොකළ යුතුයි. ලික්ස් හෝ ලූනුකොළ දික් අතට කපා විනාඩියක් තම්බා ගන්න. ගෝවා කොටු හැඩයට  කපා ගන්න. අමු මිරිස්, රතුලුනු, කරපිංචා වෙන් වෙන්ව සිහින්ව ලියා ගන්න. සුදුලූනු, එනසාල් සේර එකට තළාගන්න. ඉන්පසු තාච්චියක තබා රත්කර එයට පළමුව තළාගත් සුදුලූනු එනසාල්, සේර මිශ්‍රණය දමන්න.
බැදීගෙන එනවිට ලියාගත් රතුලූනු, කරපිංචා, අමු මිරිස් දමන්න. ගෝවා එකතු කරන්න. වාෂ්පයෙන් තම්බා ගත් කැරට්, රතු ලුණු කොළ හෝ ලික්ස් එකතු කරන්න. පසුව මඤ්ඤොක්කා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මඳ ගින්නේ බිත්තර එකතු කරන්නේ නම් තාච්චියේ මැදින් දමා කූරු ගාන්න. ඔබ කැමති නම් මස්/මාළු එක්කර ගන්න. ලිප නිවා ගම්මිරිස් කුඩු ලුණු කුඩු කෑලි මිරිස් එකතු කරන්න. ඉන්පසු මස් හෝ මිරිස් හොදි එක්කර ලිපෙන් බාන්න.

 

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Previous

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Next

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

Realted Post

Leave a comment