ආදරණීයයි ඇය
ප්‍රභූ පවුල් පසුබිම හා උගත් බුද්ධිමත් භාවයෙන් උදම් අනන්නියක් නොවූ ඇය සිනාවකින් වුව තවකෙකුගේ ගෞරවනීයත්වයට හානිවන දෙයක් නොකළාය. කලාවට පිවිසි දින සිට බාල මහලු ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ විශේෂත්වයකින් තොරව මාධ්‍ය සුමිතුරන් සමග කුලුපග මිතුදමින් ගත කළාය. කිසිදු දිනක තමා හමුවීමට අපේක්ෂා කළ කිසිදු අයෙකු හරවා යැවුයේ නැත. සුන්දර සිනාවතින් ඔවුන් පිළිගත්තා පමණක් නොව සිය වටිනා කාලය ඔවුන් වෙනුවෙන් වෙන් කොට තැබුවාය. අවස්ථා කිහිපයකදීම සිරිකත වෙනුවෙන් ඇය සමග සුහද සල්ලාපයේ යෙදීමට අපටද හැකිවූ අතර මේ කතාබහ 2024 ජුනි මස 9 වන දාට 97 වියට පාතැබූ ඇයගේ සොඳුරු සුන්දර මතක ගැනත් අතීත මතක අවස්ථා පිළිබඳවත්ය.
- ළමා කාලය
මගේ ගම රුවන්වැල්ලේ කෑගල්ල කිට්ටුව මදුගමුව. මදුගමුවේ මීදෙණිය වලව්වේ මී දෙණිය රටේ මහත්තයා මගේ තාත්තා. මගේ මුල් නම අයිරාංගනී රොක්සානා මීදෙණිය.
විවාහයෙන් පසුව තමයි අයිරාංගනී සේරසිංහ වුණේ. මට සහෝදර සහෝදරියෝ තුන්දෙනයි. අක්කයි, මල්ලියි, නංගියි.
මගේ නැන්දා ඇඩ්ලින් මොලමුරේ. මම පාසල් ගියේ නැන්දාගේ ගෙදර ඉඳන් ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට.
එතැන අවුරුද්දක් විතර ඉගෙනගෙන බිෂොප් විද්‍යාලයට ඇතුළත් වුණා. පස්සේ නුවර හයිස්කූල් එකට ගියා. විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණත් තාත්තා කැමැති වුණේ නෑ. ඒත් මම යන්නම ඕන කියල පෙරැත්ත කරද්දී අපේ ළඟම හිතවතෙක් වුණු ඩී.එස්. සේනානායක අගමැතිතුමා තමයි තාත්තට කීවේ මාව විශ්විද්‍යාලයට යවන්න, මොකද අදට වගේ නොවෙයි ගෑනු ළමයින්ගෙ අනාගතයට හොඳට උගන්වන්න ඕන කියලා.
- කලාවට පිවිසීම
මම ඉස්කෝලේදිත් වේදිකා නාට්‍යවල රඟපෑවා. මට ඒ කාලේ ඉඳන්ම ඒ ආශාව තිබුණා.
විශ්ව විද්‍යාලයේදිත් ඉංග්‍රීසි නාට්‍යවල රඟපැවා. එහිදී මගේ පළමුවෙනි නාට්‍යය වුණේ ‘ද සෙකන්ඩ් මිසිස්ටර් ඇන්කරී’ ඒක පිටරට නාට්‍යයක්. ඊට පස්සේ ‘ඇන්ටිගනී”
සුමිත්‍රා පීරිස්ගේ මල්ලී මගේ මිතුරෙක්. ඒ වගේම අපේ පවුලේ හිතවතෙක්. ඒ කාලේ ලෙස්ටර් එංගලන්තයෙන් ලංකාවට ඇවිත් සිනමාවට එකතු වෙලා තිබුණා. මම පළමුවෙන්ම රඟපෑවේ ලෙස්ටර්ගේ ඉංග්‍රීසි වාර්තා විත්‍රපටියක. එයින් පස්සේ තමයි රේඛාව චිත්‍රපටයට එකතු වුණේ.
එතකොට මගේ වයස අවුරුදු විසි දෙකක් විතර ඇති. එහි මම රඟපෑවේ අම්ම කෙනකුගේ චරිතයක්. එදා ඉඳන් මේ වනතුරු හැමදාමත් විවාහක කාන්තාවකගේ චරිත විතරයි මට ලැබුණේ. ලෙස්ටර් මැරෙනතුරුම මාව හමුවන සෑම අවස්ථාවකදීම ඔය කතාව කියනව අනේ අයිරාංගනී මම ඔයාව කලාවට හඳුන්වල දුන්නේ අම්මාගේ චරිතයෙන්නේ, ඒ නිසා ඔයාට කවදාවත් පෙම්වතියගේ චරිතයක් ලැබුණේ නෑ නේද කියලා.
නිහතමානීව ලෙස්ටර් එහෙම කියන කොට මම හිනා වෙනවා. මොකද ඔහු තමයි මාව සිනමාවට ගෙනාවේ. රේඛාවේ මගේ චරිතය හොඳින් කළ නිසයි හැමදාමත් මට විවාහක කතකගේ චරිත ලැබුණේ.
එයින් පස්සේ සංදේශය, දෙලොවක් අතර, රන්සළු, ගෝඩ් කින්, වෑකන්ද වලව්ව යන සිනමාපටවලට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. බක්මහ දීගේ, සුදු සෙවණැළි, පෝරිසාදයා, ලොකු දුව, පොරොන්දුව, දෙවැනි ගමන වගේ චිත්‍රපට හතළිහකට වැඩියෙන් මම රඟපෑමෙන් එකතු වුණා. තව හුඟාක් තියෙනවා ඒවායේ නම් මතක නැහැ.
ටෙලිනාට්‍ය නම් යශෝරාවය, දූ දරුවෝ වගේ නාට්‍ය මතකයේ තියෙනවා.
- සංදේශයේදි තව පොඩ්ඩෙන් වෙන දේ
හප්පේ..... ඒක මතක් වෙද්දීත් තාම බයයි. මට රඟපාන්න තිබුණු එදා දර්ශනයේ අනුව තිබුණේ පෘතුගීසින්ට අහුවෙලා වදකයෙක් ලවා මාව දියේ ගිල්වා මරණ අවස්ථාවක්. එතැනදි ලෙස්ටර් කිව්වා, අයිරාංගනී අපි ඔයාගේ අත් දෙක ලණුවලින් බැඳලා වතුරට තල්ලු කරන්නේ ඔයාට ලණුව වතුර යටදී ගලවගන්න හැකි විදියට ගැට ගහලා තියෙන්නේ කියලා. ඔයා දිය යටට ගිහිං බුබුළු එවන්න ඕන කියලා.
මෙතැනදි මම වදකයට කිව්වා මගේ කකුල් දෙක පහළට හිටින විදියට තල්ලු කරන්න කියලා නැත්නම් වතුරට පපුව වැදෙන නිසා. ඒ වෙලාවේ හා කියලා ඒ මනුස්සයා කලබලයට වතුරට තල්ලු කරපු විදියට මට හුස්ම හිරවුණා, ඒ විතරක් නොවෙයි. බුරුලට තිබුණු කඹෙත් දිය යටදි තද වෙලා මට හුස්ම ගන්න බැරි වුණා.
අමාරුවෙන් දඟලලා කොහොම හරි ගොඩට ආවා. එතකොටම ලෙස්ටර් අහනවා කෝ ඔයා බුබුළු යැව්වේ නෑනේ කියලා.
මෙතෙක් කළ කැමතිම චරිතය
මම හුඟක්ම කැමති වේදිකා නාට්‍යවල රඟපාන්න. මට මතකයි මම රඟපාපු ශේක්ෂ්පියර්ගේ ලේඩි මැක්බර්ත් චරිතය මම ඒකට හුඟාක් කැමතියි.
- ලැබූ කැමතිම සම්මානය
දැනට අවුරුදු හැටකට වඩා ඉස්සර මම එංගලන්තයේ සිටියදී වැස්සට තෙමි තෙමී යන කුඩා දැරියකට කුඩේ ඇල්ලුවා. ඇය එයට ස්තූති කිරීමක් ලෙස මට දුන්නේ එම ස්ථානයට ගහකින් වැටී තිබුණු ලස්සන කොළ තුනක්. ඒක මගේ ළඟ අදටත් සුරැකිව තියෙනවා. ඒක මගේ ජීවිතයට ලබපු ලොකු තෑග්ගක් ඒ වගේම ඒක මට ලොකු පාඩමක්. ඒක පුරුද්දක් කරගෙන මම කටයුතු කළ නිසා මට හොඳම පරිසරවේදිනිය හැටියටත් පසුගිය කාලේ සම්මාන හමුවුණා. දැන් ඉතින් වයස නිසා ඒ කටයුතුවලට යන්න අමාරුයි.
අපි මේ පරිසරයට ආදරය වෙන්න ඕනෑ. අපට ජීවත් වෙන්න හුස්ම ටික දෙන්නේ මේ පරිසරය... බුදු හාමුදුරුවො හැමදාම හැමදෙනාටම දේශනා කළේ පරිසරය රකින්න අවශ්‍ය බව. උන්වහන්සේ ජීවිතයේ තෙමඟුලම ගත කළේ ගස් ළඟ. මේ ලෝකේ අපි මිනිස්සු හැටියට සොබාදහම රකිනවා නම් සොබාදහමත් අපිව රකිනවා. මේ සතා සිව්පාවා ගහ කොළ අපි ආරක්ෂා කළ යුතුයි.
- වැඩියෙන්ම බය දැනුණු දිනය
ජීවිතයට අමතක කරන්නම බැරි කාලේ තමයි දඟකාර ළමා කාලය. යාළුවො එක්ක මම ඒ ළමා කාලය හොඳින් වින්දා. අපේ මවුපියන් කවදාවත් අපේ නිදහසට බාධා කළේ නැහැ. එහෙම කියලා අපි ගැන හොයා නොබලා හිටියත් නොවෙයි. කොයිතරම් වැඩ රාජකාරී තිබුණත් අප්පච්චි විශේෂයෙන් මා ගැන හොයනවා බලනවා.
හොස්ටල් ඉන්න බෑ කියලා ආවාට ගෙදර ටික දවසක් ඉන්නකොට කම්මැලියි .ඒත් මට වැඩිදුර ඉගෙනගන්න ආසා හිතුණා. ඒත් තාත්තා කිව්වා තව මොනවා ඉගෙන ගන්නද? දැන් කසාදයක් බන්දලා දෙනවා කියලා,
මම හිතන්නෙ මම බය වුණම දවස එදා. නින්ද ගියෙත් නෑ. මොකද මම ඒ වෙන විටත් හිටියේ පුංචි ළමයෙක් වගේ. ඇඟපත වැඩුනට මම ආස කළේ ගස් කොළන් අතරේ සතා සිව්පාවා අතරේ ඒවායේ සිසිල වින්දනය කරගෙන ඉන්න. මට අප්පච්චි එහෙම කිව්වාම ද්‍ැනුණ දේ හිතාගන්න බැරි වුණා.
මේ කාලේ දවසක තමයි අපේ පේරාදෙණියේ නැන්දා එයාගේ ගෙදර එන්න කියලා ලියුමක් එවලා තිබුණේ. ඔයාට මෙහේ ඉඳන් ඕනෙනම් නුවර හයි ස්කූල් එකට යන්න පුළුවන් කියලා.
ඒ අනුව තමයි මම නුවර උසස් බාලිකා විද්‍යාලයට ගියේ. වෙලාවට ඉස්කෝලෙනුත් මාව භාර ගත්තා.
- පළමු කැමරා දර්ශනයට පෙනී සිටීම
වසර 1955 දී ලෙස්ටර්ගේ ආරාධනාවට (Be Safe or Be Sorry) වාර්තා චිත්‍රපටයේ දර්ශන අනුව මට තිබුණේ ගාලු පාරේ ඔස්ටින් කාර් එකක් පැදගෙන යන වයසක කාන්තාවකගේ චරිතයක්. වාහනේ පාර පුරාම යනවා, ඒක තමයි කැමරාවක් ඉදිරියේ පළමු අවස්ථාවට රඟපෑවේ. ඊට පස්සේ තමයි මට රේඛාවට අඬ ගැහුවේ.
එදා රේඛාව, චිත්‍රපටයේ කතිරිනාහාමිගේ චරිතයට 1956 වසරේ හොඳම නිළිය ලෙස දීපශිඛා සම්මානයත් ලැබුණා.
- ගිනි ගත් සිත නිවුණු හැටි
මගේ ලොකු පුතා, මෙයට වසර ගණනාවකට ඉහතදී හදිසි අනතුරකින් මිය ගියා ඔහු සතුන්ට හරිම ආදරෙයි කරුණාවන්තයි. හරක් හංවඩු ගහනවාට පවා ඔහු ඉතා විරුද්ධයි. පුතාව අනතුරට පත් වෙලා තිබුණේ හරියටම මම දූ දරුවො නාට්‍යයේ දීප්තිගේ මහත්තයා නිහාල් මැරුණු දර්ශනයේ රූගත කරද්දී. මම එදා අඬන චරිතය රඟපාලා ඉවර වෙද්දී තමයි මට මගේ පුතා මැරිලා කියලා ආරංචි වුණේ. ඒ ඇතිවුණු කම්පනය මගේ ජීවිතය හුඟක් ආපස්සට වැටුණා.
මම කවදාවත් හිතුවේ නැහැ මට මේ ඉන්න තත්ත්වයට මගේ මනස සුවපත් කර ගන්න හැකි වේවි කියලා. ඒ වෙනුවෙන් මම නොගිය පන්සලක් පල්ලියක් කෝවිලක් නැතිව ඇති. මේ කාලේ මගේ මිතුරියක් මාර්ගයෙන් මට බුදු දහම ගැන ලියවුණු පොතක් ලැබුණා. ඇත්තටම මගේ ගිනි අරගෙන තිබුණු හිත නිවෙන දර්ශනය ඒ තුළ තිබුණා. නමුත් මට හරි දුකක් ඇති වුණා, ඇයි මට මේ තරම් නිර්මල දර්ශනයක් හමුවෙන්න පරක්කු වුණේ කියලා. ඒ තුළ හැමදේම ද්‍ැනුණා. සොබාදහමට මම තව තවත් ළං වුණා. මම පරිසරයට සතා සිව්පාවන්ට ආදරය කරද්දී මගේ පුතා මගේ ළඟ ඉන්නවා වගේ දැනෙනවා.මම දැන් අවුරුදු පනහකට එහා පැත්තේ ඉඳන් නිර්මාංසිකයි. මම ඒක කරන්නේ ප්‍රතිපත්තියක් හැටියට. කෙනෙක් හිතාවි සතුන් මරන්නේ අපි නොවෙයි ඉතින් අපි කෑවම මොකද කියලා නමුත් අපි එක් එක්කෙනා හරි සතුන්ගේ මාංස ආහාරයෙන් වැළකීම සිදු කරද්දී එක් සතෙකුගේ හෝ ජීවිතය එතැනින් බේරෙනවා. මම කාලයක් පරිසරය සුරැකීමේ සංවිධාන සමග එක්වී විවිධ වැඩසටහන් පවා ක්‍රියාත්මක කළා. දැන්නම් ඉතින් ඒව කරන්න අමාරුයි. මම මගේ ජීවිතයේ මුල් කාලේ පුවත්පත්වලත් ගුවන් විදුලියේත් සේවය කළා. ඒ වගේම වතුපාලන සහ සංචාරක ක්ෂේත්‍රවලත් සේවය කළා. මේ හැම අවස්ථාවකම මම පරිසරය වෙනුවෙන් යමක් කරන්න දැඩි උත්සහයක් ගත්තා.
- මේ තමයි මගේ ජීවිතයේ සතුටුම කාලය
මම දැක්ක දෙයක් තියෙනවා, අපේ හැම කෙනෙක් තුළම අපි ආශා කරන කාලයක් තියෙනවා. මම මගේ තරුණ කාලේට ආශා කළාට වඩා මගේ ජීවිතයේ වැඩිහිටි වියට ආදරය කරනවා. මොකද අපිට තරුණ කාලේදි නැති අවබෝධයක් ජීවිතය ගැන වැඩිහිටිවියේදී දැනෙනවා. අපි බොහෝ නොවිසිලිමත්කමින් කළ බොහෝ දේ වැඩිහිටිවියේදී දෙවතාවක් සිතන්න පෙලඹෙනවා.
අපේ බාහිර පෙනුම අපිව දකින කෙනෙකුට පළමුවෙන්ම පෙනෙන දේ ඒ නිසා අපි ඉතා පිළිවෙළට පිරිසුදුවට ඉන්න සෑමවිටම සිතිය යුතු දෙයක් .දෙවනුව අප සමග කතා බහ කරද්දී අපේ සිතිවිලි අනෙක් අය දකිනවා. ඒ නිසා අපි සිතත් පිරිසිදුවෙන් තියා ගත යුතුම තැනක්. ගත සිත සුවෙන් තබා ගැනීම තරම් සැහැල්ලුවක් වෙන කොහෙද?
මගේ නිවසේ ඉතාම නිදහසින් උදෑසනම අවදි වෙලා හැකි පමණින් ඖෂධ වර්ගවලින් වැළකිලා, සොබාදහම සමගම මම අදටත් සතුටින් ජීවිතය ගත කරනවා.
- අද මම ඉන්න තැන සිට හැරී බලද්දී
මම ළමා කාලය, තරුණ කාලය ගත කරපු හැටි තවම මතකයි. ජීවිතේ හැම සන්ධිස්ථානයක්ම දැන් හරියටම මතක නැති වුණාට මම හිතන්නේ මම ගත කරපු ඒ හැම අවස්ථාවක්ම කොතැනක හෝ කෙනෙකුට උපකාරයක් උදව්වක් වගේම කෙනෙකුගේ සතුට වෙනුවෙන් කටයුතු කළා. මම අද ඉන්න තැන ඉඳන් ආපසු හැරී බලමින් කරන්නේ සතුටු වෙන එක. මම අද ඒ සතුට මෙනෙහි කරමින් ජීවත් වෙනවා. ලොකු බලාපොරොත්තුවක් සමග ඒ තමයි ඉක්මනට මරණය මගේ ළඟට එන බලාපොරොත්තුවෙන්. කෝ...... අපි ළග තිබුණු ළමා කාලයේ ළපටිබව කෝ...... අර තරුණ පෙනුම එදා වගේ තිබුණු ශක්තිය, අද ඒ හැම දෙයක්ම ඈත් වෙලා . දැන් මේ ලෙඩ වෙන ශරීරයට තවත් සත්කාර කරනවාට වඩා මරණය වැලඳ ගැනීම තමයි හොඳ.
- ඡායාරූප - රුසිරු කොළඹතන්ත්‍රිගෙ
Leave a comment